ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමට වැව් රක්ෂිතයෙන් ඉඩමක්

ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමට වැව් රක්ෂිතයෙන් ඉඩමක්


ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමට වැව් රක්ෂිතයෙන් ඉඩමක්

(20.05.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala)

උතුරු මැද පළාත් ආණ්ඩුකාරයා වැව් රක්ෂිතයට ආසන්නයෙන් වටිනා ඉඩමක් අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ‘මහීපාල හේරත්’ තම බලතල අවභාවිත කරමින් බිරිඳ වන ‘අජන්තා රූපසාරි හේරත්’ගේ නමට අදාළ ඉඩම පවරා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඒ අනුව එම ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පවරා දී ඇති බව ද වාර්තා වනවා.

අදාළ ඉඩම කටුකැලියාව මහිලා මාවත ප්‍රදේශයේ පර්චස් 80 ක ඉඩමක් වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එ‍ය පර්චස් 60 ක කෘෂිකාර්මික ඉඩමක් සහ පර්චස් 20 ක නේවාසික ඉඩමක් වන බවයි.

මෙය වැව් රක්ෂිතයට ආසන්නේ පිහිටි දැඩි වටිනාකමකින් යුත් ඉඩමක් බව ද සඳහන් වනවා ෴


ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක් වටලයි

(20.05.2023 – 06:57 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන්ගේ සම පැහැපත් කරන ආලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර කීම් වර්ග ඇසුරුම් කරන කොටහේන එල්.බි. පෙරේරා මාවතේ ස්ථානයක් වැටලූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය පවසනවා.

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග ඇසුරුම් කරන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙන අතර පාකිස්ථානයෙන් ආනයනය කරන ලද ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද කීම් වර්ග මෙම ස්ථානයේ ඇසුරුම් කරන බවට වැටලීමේදී අනාවරණය වී තිබෙනවා.

වැටලීම කරන අවස්ථාවේදී සේවිකාවන් පිරිසක් කීම් වර්ග ඇසුරුම් කරමින් සිට ඇති අතර එම ස්ථානයේ තිබූ ක්‍රීම් වර්ගවලට මුද්‍රා තබා හිමිකාරිය සහ තවත් පුද්ගලයකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සිදුකරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ ෴


බඩඉරිගු ආනයනයේදී පනවා තිබූ බද්ද පහළට

(20.05.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala)

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරුඟු ආනයනය වෙනුවෙන් මෙතෙක් බඩඉරිගු ආනයනයේදී පනවා තිබූ බද්ද අඩුකර තිබෙනවා.

ඒ අනුව 1 Kg එකක ආනයනය සඳහාවූ රු.75 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.25 දක්වා අඩුකළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

+


බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශවාසීන් පොලිස් මුරපොළක් ඉල්ලයි

(20.05.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදහන් වූ බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයට, පොලිස් මුරපොළක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කර තිබෙනවා.

පුද්ගලයින් අතුරුදහන්වීම සම්බන්ධයෙන් බලංගොඩ – සමනලවත්ත විද්‍යාලයේ ඊයේ (19) පැවති සාකච්ඡාවකදීයි ප්‍රදේශවාසීන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම සාකච්ඡාවට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, බලංගොඩ පොලිසිය ඇතුළු පාර්ශව කිහිපයක් සහභාගී වී ඇත.

මීට වසර 5 කට පෙර ‘ශාන් කුමාර’ නැමති සිසුවෙකු අතුරුදහන් වූ අතර ඔහු සම්බන්ධයෙන් තවමත් තොරතුරක් ලැබී නොමැති අතර තවත් පුද්ගලයෙකු පසුගිය 03 වනදා සිට ආගිය අතක් නොමැති අතර මෙම තත්ත්වය හමුවේ පාසල් සිසුන් පවා බියෙන් පසු වන බවයි ප්‍රදේශවාසීන් පවසා සිටියේ ෴


මැයි මාසයේදී මෙරටින් 2726 ක් දකුණු කොරියාවට

(20.05.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.

2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිහිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2694 දෙනෙකු සහ තරුණියන් 32 දෙදෙනෙකු එලෙස රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ඇත්තේ නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහායි.

2023 වසරේ ශ්‍රමිකයින් 8000 ක් පමණ කොරියානු රැකියාවලට බඳවා ගැනීමට එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

මේ වසරට අදාළව දැනට පැවැත්වෙමින් ඇති කොරියානු භාෂා පරීක්ෂණය සඳහා 84,886 ක අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙන බව සඳහන්.

ඉන් 8028 දෙනෙකු නිෂ්පාදන සහ ධිවර රැකියා ක්ෂේත්‍රවලට අදාලව බවයි කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා ඇත්තේ ෴


ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දී පුද්ගලයන් 16 ක් අත්අඩංගුවට

(20.05.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව සිදු කළ වැටලීමක දී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් අවුරුදු 20 හා 73 අතර වයස්වල පසුවන හෝකන්දර, කොටහේන, කිරුළපන, කුලියාපිටිය, මාලඹේ, බත්තරමුල්ල, තිස්සමහරාම, මස්කෙළිය, මොරටුව, පැලවත්ත, වත්තල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 ක්, කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම්320 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

සැකකරුවන් අද (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සඳහා ජනතාවගෙන් මුදල් අය කළ තැරැව්කරුවන් 9 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග මතයි.

පෝලිම්වල රැදී නොසිට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මොවුන් රුපියල් 25,000 බැගින් අය කර ඇති බව අනාවරණ වී තිබෙනවා ෴


උසස්පෙළ තවත් විෂයන් 11 ඇගයීම් කටයුතු ඇරඹේ

(20.05.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

උසස්පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් 11 ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32 කදී අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ විෂයන් 05 ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බවයි.

ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100 ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සියලු විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර ඇති අතර එහි ඇගයීම් කටයතු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන බව‍යි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ ෴


බිත්තර ආනයනය වැඩි කරන්න නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට

(20.05.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අන්දමින් එරට කුකුළු ගොවිපොල පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු (2) සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු (1) මෙම පිරිසට අයත් බවයි.

මොවුන් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි කුකුළු ගොවිපොල කිහිපයක් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව හෙට (21) දිවයිනට පැමිණීමට නියමිත අතර, මේ වනවිට ඉන්දියාවේ කුකුළු ගොවිපොල තුනකින් (3) මෙරටට බිත්තර ආනයනය සිදුකරන අතර, එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ගොවිපොල කිහිපයක් හඳුනා ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි.

ඒ අනුව, ඉදිරියේදී දෛනිකව බිත්තර මිලියනයක් පමණ මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ ෴


විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන සාකච්ඡාවක්

(20.05.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ බලශක්ති අංශ නීති විශ්ලේෂක ජෝන් ගලිවර් සහ USAID ආයතනය මඟින් ලබා දී ඇති බලශක්ති ප්‍රතිව්‍යුහගත කිරීම් උපදේශක හේමන්ත් සහයි සමඟ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔවුන් පසුගිය දා මෙරටට පැමිණියේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහය ලබාදීම වෙනුවෙන්.

පැවති හමුවේ දී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත සහ සංක්‍රාන්ති කාලරාමුව පිළිබඳව ඔවුන්ගේ අදහස් සාකච්ඡාවට ලක් වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරි දින කීපය තුළ විදුලිබල මණ්ඩල ප්‍රව්‍යුහගත කිරීමේ කමිටුවේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID සහ JICA සංවර්ධන නියෝජිත ආයතන මඟින් තාක්ෂණික සහය ලබාගැනීමට ලබා දී ඇති සියලුම උපදේශකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි ෴


රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගෙන් මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරුට මරණ තර්ජන

(20.05.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගෙන් මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරුට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

මාතලේ රත්තොට රිවස්ටර්න් හරහා ලග්ගල වැලිගම මහියංගනය දක්වා දිවෙන මාර්ගය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ බස් රථයක අඩුවක් පැවතුණු අතර ඊට විසඳුමක් ලෙස පසුගියදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙන් නව බස් රථයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

එමගින් උදැසන රාජකාරි සඳහා ගමන් කරන පුද්ගලයින් සහ පාසල් සිසුන්ට ඉමහත් පහසුවක් ලැබී තිබෙනවා.

නමුදු මෙයින් තමන්ට කිසිඳු දේශපාලන වාසියක් නොලැබෙන බව පවසමින් උරණ වූ රාජ්‍ය අමාත්‍යවරයා මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරුට තර්ජනය කරමින් බැන වැදුණු බවයි වාර්තා වන්නේ ෴


දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණයක්

(20.05.2023 – 10:18 +0530 – hirunews.lk/sinhala)

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සඳහා සහ හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණතවය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති උණුසුම් සහිත කාලගුණ තත්ත්වය, නිරිත දිග මෝසම ආරම්භ වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එළැඹෙන 20 වනදාත් 25 වනදාත් අතර කාලයේදී නිරිත දිග මෝසම සක්‍රීය වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම අධික උෂ්ණත්වය හමුවේ ජනතාවට හිරු එළියට නිරාවරණය වීමේ දී ප්‍රවේශම් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *