ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමට අල්ලස් ගත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමට අල්ලස් ගත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට


ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමට අල්ලස් ගත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(19.05.2023 – 22:10 +0530 – hirunews.lk/sinhala)

ගුවන් ගමන් බලපත්‍ර ලබා දීමේදී සිදුවන අකටයුතුකම් ගැන ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු එලෙස අල්ලස් ලබාගත් තැරැව්කරුවන් 09 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පිරිස ඉලක්ක කරගෙන සිදුවන මෙම ජාවාරම පිළිබඳව ‘හිරු CIA’ අනාවරණය කළේ මීට දින දෙකකට (2) පෙරයි.

පෝලිම්වල දිගු කාලයක් රැඳී නොසිට ගුවන් ගමන් බලපත්‍රය ලබා ගත හැකි බව පවසමින් රුපියල් 25,000 ක මුදලක් අල්ලස ලෙස ලබා ගන්නා බව අප අනාවරණය කළේ සාක්ෂි සහිතවයි.

මෙම කූට ජාවාරම සිදු කරන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වන අතර ඊට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සම්බන්ධ බවයි ‘හිරු CIA’ හෙළි කළේ.

මෙම අනාවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වූ අතර ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළවෙලද වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට පියවර ගැණුනා.

මීට අමතරව ජාවාරම්කරුවන් සොයා එම ස්ථානයට බුද්ධි අංශ නිලධාරීන් ද යොමු කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් පරිදියි.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලබාගත් තැරුව්කරුවන් 09 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර එම වංචනිකයන් සමඟ කටයුතු කරන නිළධාරීන් පිළිබඳවද සොයා බලන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (19) දින තලංගම පොලිසියට භාරදී ඇති අතර ඔවුන්ව හෙට (20) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි තලංගම පොලිසිය සඳහන් කළේ.

‘හිරු CIA’ සිදුකල දැනුවත් කිරීම හරහා මෙම ජාවාරම නීතියේ රැහැනට කොටුකර ගෙන ඇති බැවින් තවදුරටත් ජාවාරම් කරුවන්ට හසු නොවන ලෙසයි ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

+

+


රත්තරන් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

(19.05.2023 – 21:06 +0530 – hirunews.lk/sinhala)

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000) පමණ වටිනා රත්තරන් නොගයක් සිය ගමන් මලු තුළ සඟවාගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වෙන්නේ.

මෙම ව්‍යාපාරිකයා ඊයේ (18) උදෑසන 08:30 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු බවත්, ඔහු රැගෙන ආ ගමන් මලු තුනක (3) කිලෝ 02 ක් බරැති මෙම රත්තරන් තොගය කම්බි වශයෙන් සකස් කර එම ගමන් මලු තුළ ඔතා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා හිරු නිවුස් වෙත ප්‍රකාශ කළේ ෴


ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවෙක්

(19.05.2023 – 21:54 +0530 – hirunews.lk/sinhala)

වැලිගම පැලෑන මහ ගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමනාගමනයේදී සිදුවන අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවෙකු යෙදීමට පියවරගෙන තිබෙනවා.

දුම්රිය හරස් මාර්ග හරහා ගමනාගමනයේදී සිදුවන අනතුරු නිසා වටිනා ජීවිත අහිමිවීම් මෙන්ම බරපතළ තුවාල සිදුවීම් ගණනාවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුනා.

ඒ සඳහා විසඳුමක් ලෙස එවකට බලධාරීන් විසින් දුම්රිය ගේට්ටු මුරකරුවන් යෙදීමට කටයුතු කළා.

එම සේවකයන්ද ඉතාමත් අඩු වැටුපක් යටතේ කටයුතු කලද ඔවුන් එය රැකියාවක් ලෙස නොව අමිල මහජන සේවයක් ලෙස තම කාලය ඒ සඳහා වැය කර තිබෙනවා.

කෙසේ නමුත් දුම්රිය ගේට්ටු මුරකරුවන් ඉවත් කොට ‘බෙල් ඇන්ඩ් ලයිට් සිස්ටම්’ පද්ධතියක් යෙදිමට පියවර ගත්තා.

එහෙත් එම පද්ධතියේ නිරන්තරයෙන් සිදුවන කාර්මික දෝෂ නිසා දුම්රිය හරස් මාර්ග වල සිදුවන අනතුරු පිළිබඳ නැවතත් අසන්නට දකින්නට ලැබෙනවා.

‘බෙල් ඇන්ඩ් ලයිට් සිස්ටම්’ පද්ධතියේ කාර්මික දෝෂ පිළිබඳ ජනතාව මෙන්ම මාධ්‍ය මගින්ද බලධාරීන් දැනුවත් කලත් ස්ථිර විසඳුමක් මෙතෙක් ලැබී නැති බවද ජනතාව පෙන්වා දෙනවා.

එවන් පසුබිමක් තුළ වැලිගම පැලෑන මහගෙදර වත්ත දුම්රිය හරස් මාර්ගය හරහා දෙස් විදෙස් විශාල පිරිසක් දෛනිකව ගමන් කරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දුම්රිය ගේට්ටු මුරකරුවෙකු යෙදීමට ප්‍රදේශවාසීන් විසින් පියවර ගෙන ඇති බවයි අප වාර්තා කරු සඳහන් කළේ ෴


ගෘහ සේවයට ගිය කාන්තාවට බලහත්කාරයෙන් ගබ්සාවක්

(19.05.2023 – 22:42 +0530 – hirunews.lk/sinhala)

ගෘහ සේවය සඳහා ඕමානයට ගිය තලවාකැලේ පදිංචි කාන්තාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කළ පුවතක් වාර්තා වී තිබෙනවා.

ඇය තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර ගෘහ සේවය සඳහා ඕමානයට ගොස් විවිධ කරදර පීඩාවලට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටින කාන්තාවන් දින කිහිපයක සිට විරෝධතාවල නිරත වන බවයි වාර්තා වන්නේ ෴


ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න විශේෂ දිනයක්

(19.05.2023 – 23:23 +0530 – hirunews.lk/sinhala)

සෑම සතියකම සිකුරාදා දිනයේ පැය 02 ක කාලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම නිවෙස්වලත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා වෙන්කරගන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණද සතිපතා 2,000 කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් තවමත් වාර්තා වීම හේතුවෙන්.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අද (19) දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 35,823 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

රෝගීන්ගෙන් 50% ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එමෙන්ම මැයි මාසයේ ගෙවුණු දින 19 ක කාලය තුළ පමණක් රෝගීන් 5,575 දෙනෙකුම වාර්තා වී තිබෙනවා.

ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීම තවදුරටත් පෙන්නුම් කරන සාධකයක් වී ඇත්තේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය 300 ත් 400 ත් අතර අගයක පැවතීමයි.

මීට අමතරව මේ වසරේ අද (19) දිනය දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 23 ක් සිදුව තිබෙන අතර පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මරණ ගණන 72 ක් ෴


සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර කළැයි විහාරාධිපති වල්සාදු අත්අඩංගුවට

(19.05.2023 – gossiplankanews.com ඇසුරෙන්)

විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමි නමකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සූරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති වල්සාදු ඊයේ (18) සවස සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිව සිටි 40 හැවිරිදි වල්සාදුවෙකි.

සැකකාර වල්සාදු විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමි නමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් එම සිද්ධියෙන් පසුව අදාල සාමණේර හිමිනම ප්‍රතිකාර සඳහා හඳපානාගල දෙහිගස්හන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සාමණේර හිමිනම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට දුන් කටඋත්තරයකට අනුව වැල්ලවාය පොලිසිය සූරියවැව පොලිසියට සිද්ධිය පිළිබඳව දැනුම් දී තිබේ. ඒ අනුව සූරියවැව පොලිසිය විසින් මෙම වල්සාදු ඊයේ (18) සවස විහාරස්ථානයේ සිටියදි අත්අඩංගුවට පත්වී ඇත.

අත්අඩංගුවට පත් වල්සාදුට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවත් මේ වන විටත් හම්බන්තොට මහාධිකරණය හමුවේ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් (2) විභාග වෙමින් පවතින බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම හිමිනම තණමල්විල ප්‍රදේශයේ නිදන් හෑරිමක් සම්බන්ධ සිද්ධියකටද මීට පෙර අත්අඩංගුවට පත්ව තිබේ.

දිලීප් ජයසේකර

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *