සුවසැරිය ගිලන් රථ රියදුරාට පහරදුන් දෙදෙනා (2) අත්අඩංගුවට

සුවසැරිය ගිලන් රථ රියදුරාට පහරදුන් දෙදෙනා (2) අත්අඩංගුවට


සුවසැරිය ගිලන් රථ රියදුරාට පහරදුන් දෙදෙනා (2) අත්අඩංගුවට

(19.05.2023 – 12:00 +0530 – hirunews.lk/sinhala)

සුවසැරිය ගිලන් රථ රියදුරෙකුට සහ එහි හෙද නිලධාරිනියකට පහරදුන් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම – වත්තේගෙදර මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගෙදර ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් (2).

මහරගම පොලිසියට අනුයුක්ත කර ඇති මෙම සුවසැරිය ගිලන් රථය ඊයේ (18) රාත්‍රියේ වත්තේගෙදර මංසන්දියට ගොස් තිබුණේ අසනීප තත්වයෙන් පසුවන දෙදෙනෙකු (2) සිටින බවට 1990 අංකයට ලද ඇමතුමකට අනුවයි.

එහිදී අසනීප තත්ත්වයෙන් පසුවූ බවට ප්‍රකාශ කෙරුණු මෙම තරුණයින් බීමත්ව සිට තිබෙනවා.

ඒ අනුව, අදාළ හෙදිය ඔවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම අවස්ථාවේදීයි අදාළ පහරදීම සිදුකර ඇත්තේ ෴


මාලයක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(19.05.2023 – 12:10 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරයෙකු මහවස්කඩුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා කළුතර උතුර පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස පොලිසියට භාර දී ඇත්තේ බදුරලිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරකු බවයි කළුතර පොලිසිය සඳහන් කළේ.

අසනීප නිවාඩු වාර්තා කර මහවස්කඩුව ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති මෙම කොස්තාපල්වරයා තවත් යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවකගේ රන් මාලයක් මෙලෙස කොල්ලකා ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය ඇත්තේ ෴


මෙරට රිලව් චීනයට අපනයට එරෙහිව ගොනුකල පෙත්සම විහාගයට දින නියම වේ

(19.05.2023 – 12:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම මැයි මේ මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (19) නියෝග කළා.

මෙම පෙත්සම අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක ඛන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවට අදාළව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

එම නිසා පෙත්සම නැවත ලබන 26 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කර සිටියා.

පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටියේ සිටින්නේ මෙරට රිලව් ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට පැතිර යන කරුණු තුළින් බරපතළ සත්ව හිංසනයක් සිදුවන බව‍යි.

එබැවින් මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ අපනයන කිරිම සඳහා බලපසු නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴


අද (19) ඩොලරය සුළු වශයෙන් ඉහළට

(19.05.2023 – 12:28 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද (19) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.65 ක් වන අතර විකුණුම් මිල රු. 314.08 ක් ලෙස දැක්වුනා.

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ (මැයි 18) රු. 300 න් පහළ අගයක් දක්වා අඩු වී තිබුණා.

ඒ අනුව එය මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු. 300 සීමාවට වඩා පහළ අගයක් ගනු ලැබුවා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59 ක් වන අතර විකුණුම් මිල රු. 313.52 ක් ලෙස දැක්වුනා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92 ක් වන අතර විකුණුම් මිල රු. 310 ක් ලෙසයි දැක්වුනේ.

සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300 ක් ලෙසත් විකුණුම් මිල රු. 312 ක් ලෙසත් දක්වා තිබුණා.

කෙසේ වෙතත් මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අප්‍රෙල් මස සිට ඉහළ ගිය ඩොළරය මෙලෙස පහත වැටී ඇත්තේ මාස 13 කට ආසන්න කාලයකට පසුවයි ෴


අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්

(19.05.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

‘ඔන්ලයින්’ හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි.

භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය සඳහා අන්තර්ජාල වෙළඳ වේදිකාවේ දර්ශනය කර ඇති මිලම බවට සහතික කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එසේම, ඇණවුම් තහවුරු කිරීම, ප්‍රවාහනය සහ සැපයුම් සංවිධානය කිරීම මෙන්ම, ඇණවුම් අවලංගු කිරීමේ අයිතිය ද මෙම ගැසට් නිවේදනය හරහා නියාමනය කර තිබීම විශේෂත්වයක් ෴


ලොව අඩුම ගුරුත්වාකර්ශනය ශ්‍රී ලංකාවේ

(19.05.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය පවසනවා.

භූ විද්‍යාත්මකව පෘථිවි අභ්‍යන්තරය බෙහෙවින් වෙනස් වන සුළු බැවින් පෘථිවිය මතුපිට වස්තූන්ගේ බරට ගුරුත්වාකර්ශනය බලපාන බව චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකරන ලද නාසා ආයතනයේ ‘ග්‍රේස් මෙහෙයුම’ට අනුව සොයාගනු ලැබුවා.

1960 වර්ෂයේදි කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරන ලද පර්යේෂණයකදී හදුනා ගැණුනේ පානදුර, ගාල්ල, මාතර, හම්බන්තොට ආදි ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීර බර යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතුව සම්බන්ධයෙන් විද්‍යාඥයින් මෑතකදී පර්යේෂණයක් සිදුකර තිබුණා.

එම සංචාරකයන් තුර්කිය වැනි රටකට ගිය පසු ඔහුගේ බරෙහි යම් වැඩිවීමක් සිදුවන බවටයි සොයාගෙන තිබුණේ ෴


කැලණි ගඟට වැටුණු තරුණයෙකු සොයා පොලිස් පරීක්ෂණ

(19.05.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැටලීමක් සිදු කිරීමේ දී කැලණි ගඟට පැන්න තරුණයෙකුගේ සිරුර සොයා පොලිසිය විමර්ශන සිදුකරන බව සඳහන්.

පසුගිය දාහත් වැනිදා (17) වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදුකළ වැටලීමක දී පලාගිය මෙම තරුණයා කළුපාලම මතින් දිව යාමේදි කැලණි ගඟට පැනීමක් හෝ වැටීමක් සිදුව ඇති බව පොලිසිය පවසන්නේ.

මෙම තරුණයා ලක්විරු සෙවණ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර වයස අවුරුදු 27 ක පසු වූ තරුණයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු (3) අත්අඩංගුවට

(19.05.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කරමින් පසුගිය 11 වැනිදා බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය සිදු කළ ලොරි රථයේ සහ කාර් රථයේ රියැදුරු ඇතුළු තිදෙනකු (3) ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාත්‍රි මුර සංචාරයක යෙදී සිටින නිලධාරියකු මෙලෙස අනතුරට ලක්කර පලාගිය ලොරි රථය සහ කාර් රථය පොලිසිය විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර එයින් සැකකරුවන් කිහිප දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත්තා.

ඊයේ (18) අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි ෴


කුකුළු ගොවිපළකින් කුකුල් කෑම සොරකම් කළ පුද්ගලයින් අත්අඩංගුවට

(19.05.2023 – 15:00 +0530 – hirunews.lk/sinhala)

කුකුළු ගොවිපළකින් කුකුල් කෑම සොරකම් කළ එම ගොවිපල කළමනාකාරු ඇතුළු හය දෙනෙකු (6) හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ආරච්චිකට්ටුව, බිංගිරිය ,කුමාර කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් විසින් සත්ව ආහාර මිටි 50 ක් සොරාගෙන ඇති බවට ගොවිපළ හිමිකරු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර හලාවත පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


කළුතර රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව කාන්තාවක් මියය‍යි

(19.05.2023 – 15:31 +0530 – hirunews.lk/sinhala)

කළුතර ශික්ෂණ රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව කාන්තාවක් මියගිය පුවතක් කළුතර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියක් වන අතර ඇගේ උදරයේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්, කළුතර ශික්ෂණ රෝහලේදී උන්ඩකපුච්චය ආශ්‍රිතව සැත්කමක් සිදු කර තිබෙනවා.

මියගිය මෙම කාන්තාවගේ ඥාතීන් ප්‍රකාශ කරන ආකාරයට සැත්කමේදී මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය උන්ඩකපුච්චයේ සැත්කමක් නොව මහ බඩවැල ආශ්‍රිතව සිදුකල සැත්කමක් බවයි.

සැත්කම සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයා රෝහලට දක්වා ඇත්තේ මෙම රෝගියාට දියරමය ආහාර ලබා දෙන ලෙසයි.

එහිදී දියරමය ආහාර පමණක් මෙම රෝගියාට ලබා දී ඇති අතර එම ආහාර උදරයෙන් පිටතට ගලා එන බවත් ඒවා ඉතා දුර්ගන්ධයකින් යුක්ත බවටත් ඥාතීන් විසින් එම වාට්ටුවේ හෙද නිලධාරීන්ට දැන් වුව ද රෝහල් කාර්‍යමන්ඩලය විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙය සාමාන්‍ය තත්වයක් බවයි.

එහිදී ද මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයා හමුවීමට රෝගියාගේ ඥාතීන් ඉල්ලීම් කළ ද එම වෛද්‍යවරයා මෙම රෝගියා බැලීම සඳහා වාට්ටුවට නොපැමිණි බවයි ඔවුන් පවසන්නේ.

එවැනි තත්ත්වයක් මත මෙම කාන්තාවට අසාධ්‍ය වූ බැවින් ඇයව කළුතර ශික්ෂණ රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

පසුව ඥාතීන්ගේ බලකිරීම මත අදාල රෝගී කාන්තාව ගිලන් රථයකින් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.

මෙම කාන්තාවට සැත්කම කළ ස්ථානයෙන් අධික ලෙස ආහාර පිටවීම නිසා එම ප්‍රදේශය ආශ්‍රිතව විෂබීජ ආසාධනයක් ඇති වී ඇති බවයි රාගම රෝහලේ ප්‍රකාශකයෙකු ‘හිරු නිවුස්’ අප වෙත සඳහන් කළේ ෴


දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

(19.05.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනයවන සංචාරක උදාව ප්‍රදර්ශනය අද (19) දින කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබුණා.

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් මෙය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක උදාව ප්‍රදර්ශනය ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකරුවන්ට මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ අවස්ථාවන් සොයා ගැනීම සඳහා ඉවහල්වනවා.

වෙළඳ කුටි 250 කින් සමන්විත මෙම ප්‍රදර්ශනය අද (19) සහ හෙට(20) දිනයේදී පෙ.ව. 10 සිට ප.ව. 8 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙන අතර, හෝටල්, සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම්, සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන මේ සඳහා සහභාගී වනවා.

මෙම අවස්ථාවට SLAITO හි සභාපති නිශාද් විජේතුංග, සංචාරක උදාව ප්‍රදර්ශනයේ කමිටු සභාපති චරිත් ද අල්විස් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිසක් එක්ව තිබෙනවා ෴


උපදෙස් දුන් පොලිස් නිලධාරීන් හට බැන වදී

(19.05.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

පාපැදිට ඩයිනමෝවක් සවිකරගෙන රාත්‍රියේ ගමන් කරන ලෙස උපදෙස් දුන් පොලිස් නිලධාරීන් හට බැන තර්ජනය කළ පුද්ගලයින් තිදෙනෙකු (3) ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ කළුතර නගරයේ දී ජංගම මුර සේවයේ යෙදී සිටී නිලධාරීන් දෙදෙනෙකු (2) පාපැදියක් නවත්වා මෙලෙස උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකුට (2) ඇමතුමක් ලබා දී එම ස්ථානයට ගෙන්වාගෙන තර්ජනාත්මකව බලපෑම් කර රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *