ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි

ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි


ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි

(18.05.2023 – 21:52 +0530 – lankaleadnews.com)

උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු නොකළ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ බෙදුම්වාදීන්ගේ බලපෑමට යටත් වීම නිසා බවට ජාතික සංවිධාන චෝදනා කරයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් බෙදුම්වාදීන්ට එරෙහිව ක්‍රියා කිරීම පිළිබඳව ඇයට එරෙහිව ප්‍රබල විරෝධයක් පළ වූ බව රහසක් නොවන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සෙන්දිල් තොණ්ඩමන් පත් කිරීම යනු ගෝපාල් බග්ලේ ආණ්ඩුකාර ධූරයට පත් කිරීම වැනි ක්‍රියාවක් බවය. හිටපු ආණ්ඩුකාරවරිය චීන රජයේ ආධාර ලබා ගනිමින් නැගෙනහිර සංවර්ධනයට නව සැලසුමක් සකස් කිරීම නිසා ඇය ඉන්දියාවේ උදහසට ලක් වූ බව ද ඔහු කියයි ෴


රණවිරු සැමරුම් උත්සවයට සමඟාමීව යුද හමුදා නිලධාරීන් 3712 කට උසස්වීම්

(19.05.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

විජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ තුන්දහස් හත්සිය පනහකට (3750) උසස්වීම් ලබාදී තිබෙනවා.

මෙම පිරිසට නිලධාරීන් 402 දෙනෙකු සහ සෙසු නිලයන් 3,348 අයත් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේජර් ජෙනරාල් නිලයට 7 දෙනෙකු, බ්‍රිගේඩියර් නිලයට 19 දෙනෙකු, කර්නල් නිලයට 29 දෙනෙකු, ලුතිනන් කර්නල් නිලයට 42 දෙනෙකු, මේජර් නිලයට 118 දෙනෙකු, කපිතාන් නිලයට 97 දෙනෙකු සහ ලුතිනන් නිලයට 90 දෙනෙකු මෙලෙස උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, රුද්‍ර කුමාරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් පාර්ලිමේන්තුවේ 9 වන රැස්වීම අද (19) සිට 21 වනදා දක්වා නිව්යෝක් නගරයේදී පැවැත්වීමට නියමිත බව එම සංවිධාන වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක රුද්‍ර කුමාරන්ගේ දෙමළ ඊලාම් පාර්ලිමේන්තුව විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන තවත් සංවිධාන 16 කින් සමන්විතයි.

මේ අතර, රුද්‍ර කුමාරන්ගේ මෙම ක්‍රියාදාමයට සහයෝගය පළ කරන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ පීඩාවට පත්වන මිනිසුන් වෙනුවෙන් අඛන්ඩව පෙනී සිටින බවයි ෴


හිටපු පෙම්වතියව පැහැර ගෙන ගොස් පහර දුන් පෙම්වතා රිමාන්ඩ්

(19.05.2023 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මහමග ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැර ගත් ස්ථානයටම ගෙනවිත් ඇරලු‍ සැකකරුවෙකු මැයි 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු නියම කළා.

දිවුලපිටිය – පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කෙරුණු ත්‍රීරෝද රථයේ රියැදුරු දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහැරුණා.

ඇය වසරක පමණ කාලයක් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයේදී සඳහන් වූ අතර සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත් වීමෙන් අනතුරුවයි එය නවතා ඇත්තේ.

ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග පැමිණ මරදගහමුල – නෙල්ලිගහමුල ප්‍රදේශයේදීයි පැමිණිලිකාර තරුණියව පැහැරගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහරදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා ධීවර සංවිධාන අධිකරණයට

(19.05.2023 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මුහුදු බත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලෙස රුපියල් බිලියන 372 කට අධික මුදලක් ගෙවන ලෙස ඉල්ලමින් ධීවර සංවිධාන ඇතුලු නියෝජිතයින් 18 දෙනෙකු කොළඹ වානිජ මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළා.

සමස්ත ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ඇතුලු පිරිසක් ඊයේ (18) ගොනුක්ළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නෞකාව සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු, එංගලන්තය ඇතුළු විදේශ සමාගම්, පරිසර, ධීවර, වරාය යන අමාත්‍යවරුන් ඇතුලු 17 දෙනෙකු නම් කර තිබෙනවා.

ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටීම, රැකියා අහිමි වීම, ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව මෙන්ම මත්ස්‍ය අභිජනනය පහත වැටීම ඇතුළු කරුණු යටතේ මෙම වන්දිය ගණනය කර තිබෙනවා ෴


රුපියල් කෝටි 250 ක මත්ද්‍රව්‍ය වැටලීමේ සිද්ධියේ ජාවාරම්කරු හෙළිවෙයි

(19.05.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ රුපියල් කෝටි 250 කට අධික ‘හෙරොයින් සහ හෂීස්’ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙරට ජාවාරම්කරු, මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔහුට ජාවාරම සිදුකිරීම සඳහා ආඩිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දැනට විදේශ රටකට පලාගොස් සිටින අතර, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 යි ග්‍රෑම් 606 සහ හෂීස් කිලෝ 11 යි ග්‍රෑම් 254 සමඟ සැකකරුවන් හයදෙනෙකු (6) නාවික හමුදා භාරයට ගනු ලැබුවේ පසුගිය 13 වනදායි ෴


විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීම සඳහා පැමිණි පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් පිරිසක් අත්අඩංගුවට

(19.05.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සඳහා ජනතාවගෙන් මුදල් අය කළ තැරැව්කරුවන් 9 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග මතයි.

පෝලිම්වල රැදී නොසිට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මොවුන් රුපියල් 25,000 බැගින් අය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

මෙම මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ඒවා කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් ලබා ගන්නා පුද්ගලයන් කණ්ඩායමක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ පෙරේදා විශේෂ අනාවරණයක් සිදුකළා.

මෙම කූඨ ජාවාරම සඳහා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ද සම්බන්ධ වී තිබුණා.

ඇතැම් අවස්ථාවල මෙම පුද්ගලයන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ද ආශිර්වාදය ලැබෙන බවටයි එහිදී හෙළි කළේ.

මෙම අනාවරණයෙන් පසු වගකිව යුතු අංශ මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකළ අතර, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය හිරු ප්‍රවෘත්ති වෙත ඊයේ (18) සඳහන් කළේ ජාවාරම් මැඩලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ නිලධාරින් පරිශ්‍රයට කැඳවූ බවයි.

එමෙන්ම, ලබන මස මුල සිට ජනතාව කිසි විටෙක තම විදේශ ගමන් බලපත්‍රය සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අවශ්‍ය නොවන බවයි ආගමන විගමන පාලකවරයා කියා සිටියේ.

ඊට අදාළ අයදුම්පත්‍රය ඔන්ලයින් ඔස්සේ යොමුකළ හැකි අතර, දෙපාර්තමේන්තුවේ ගිණුමට මුදල් බැර කළ හැකියි.

ඇගිලි සලකුණු ලබාදීමේ පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කෙරෙන අතර, දින 3 ක් ඇතුළත ලියාපදිංචි තැපෑල ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය නිවසට යොමුකරන බවයි ආගමන විගමන පාලකවරයා කියා සිටියේ ෴


අයියාගේ කිහිලිකරු පහරින් මල්ලී ජීවිතක්ෂයට

(19.05.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

අයියාගේ කිහිලිකරු පහරින් බරපතළ තුවාල ලැබූ බාල සොයුරා හේනේවල දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ (18) මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පහළ කඩුගන්නාව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

බීමත්ව පැමිණි ආබාධිත වැඩිමල් සොයුරා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇතිබව මාවනැල්ල පොලීසිය පවසන්නේ.

පහරදුන් 56 හැවිරිදි සැකකරු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නනේ ෴


ජාතික විදුලි බල පද්ධතියට නව ධාරිතාවක්

(19.05.2023 – 10:41 +0530 – hirunews.lk/sinhala)

උමාඔය බලාගාරයේ විදුලි ජනනය අගෝස්තු මාසයේ සිට.

උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමුවන (1) ඒකකය මේ වසරේ (2023) අගෝස්තු මාසයේ සිට ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේදී අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර සමාගමේ නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර ඊයේ (18) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සැප්තැම්බර් මාසය වනවිට දෙවන (2) ඒකකයේ විදුලි ජනනය ද ආරම්භ කළ හැකි බවට ඉදිකිරීම් සමාගමේ නියෝජිතයින් දැනුම් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම බලාගාරය මගින් මෙගවොට් 120 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතව තිබෙනවා ෴


කුරුණෑගල ළමා අපචාර සිදුවීම ව්‍යාජ ප්‍රකාශයක් මත වූ සිදුවීමක් බව හෙළි වෙයි

(19.05.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ ළමා අපචාර සිද්ධියක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර එය ව්‍යාජ ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ කුරුණෑගල – යන්තම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ලීසිං ආයතනයකදී මානසික ආබාධයකින් පෙළෙන 14 හැවිරිදි දරුවෙකු ලිංගික අතවර කළ බව පැවසීමත් සමඟ එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වූ බවයි.

14 හැවිරිදි දරුවා කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම කාලය තුළ දෙමාපියන් සහ භාරකරුවන් නොදන්නා කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තුබුණා.

මෙම තරුණයා යතුරුපැදියක් මිලදී ගන්නා මුවාවෙන් ලීසිං ආයතනයට පැමිණ අලෙවිය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු පිටතට ගොස් තමාට එම ආයතනය තුළ ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඉන් අනතුරුව ආයතනයට පිටතින් මහජනතාව රැස්ව සිටීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසියද යොදවා තිබූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ලිංගික අපයෝජනය පිළිබඳ ප්‍රකාශය ව්‍යාජ එකක් බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් එවැනි සිදුවීමක් සිදුවී නොමැති බවට සීසීටීවී දර්ශනවලින් අනාවරණය වී ඇති බවත්ය.

ලිංගික අපයෝජන චෝදනාව තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන අතර දරුවා රෝහල් ගත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්

(19.05.2023 – 11:43 +0530 – hirunews.lk/sinhala)

සතොස සේවකයින් සහ ඔවුන්ගේ සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය අභියස මූලික විරෝධතා මතුකළ බවටයි වාර්තා වූයේ.

මෙම මූලික විරෝධතාවය පිළිගත් විනිසුරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළුව සතොස ආයතනයේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මෙලෙස නිදහස් කිරීමටයි නියම කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *