නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම්වලින් 70 ක් පූර්ණ අන්ධභාවයට…

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම්වලින් 70 ක් පූර්ණ අන්ධභාවයට…


නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම්වලින් 70 ක් පූර්ණ අන්ධභාවයට…

(19.05.2023 – 08:02 +0530 – lankacnews.com)

“නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදුකර අක්ෂි ශල්‍යකර්ම වලින් මුලුමනින්ම අන්ධභාවයට පත් වූවන් 10 ක් නෙවෙයි 70 කට ආසන්නයි; රෝහල් අධ්‍යක්ෂකවරයා කියන්නේ බොරු කතාවක්” බව නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකවරුන්ගේ එකමුතුව වන අන්තර් ආගමික කවයේ සර්ව ආගමික ප්‍රධානින් පැවසිය.

සර්ව ආගමික නායකයින් ඒ බැව් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදි මාධ්‍යට අදහස් දක්වමිණි.

ශාස්ත්‍රපති ගුරු උපදේශක පූජ්‍ය බෝගොඩ සුමේදාලංකාර හිමි , ආචාර්ය බ්‍රම්ම ශ්‍රී නන්දකුමාර් ගුරුක්කල් තුමන් , මොහොමඩ් අන්වර් අස්ලම් ඉර්ෂාදි මවුලවි තුමන්, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන පූජක දේවගැති හසිත කුමාර පූජක තුමන් සහ අන්තර් ආගමික කවයේ සාමාජික එම්.අයි.එම්. ඉම්තියාස් මෞලවි තුමන් මෙම අවස්ථාවට සහභාගි වීය.

වැඩිදුර අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික නායකවරුන්ගේ ප්‍රධානීන් :

“අප්‍රේල් මාසය තුළ සැත්කම්වලින් පසු බෙහෙත් වැරදි සංකූලතා ඇති වූවන්ගේ ගනන 10-11 වශයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියද එය මුළුමනින්ම බොරුවක්. අපට ලැබුණු තොරතුරු අනුව එම ප්‍රමාණය හැටක් හැත්තෑවක් (60-70) වෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා තොරතුරු සඟවා මාධ්‍යයට ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක්.

ඇතැම් රෝගීන් නැවත රෝහලට එන්න බය වෙලා තමන්ගේ නිවෙස් වලම දුක දරාගෙන සිටිනවා. තවත් ඇතැම් රෝගීන් රෝහල වෙත පැමිණිය ද ඔවුන්ට මාස තුනකින්-හයකින් (3-6) වගේ කාලයකින් රෝහලට පැමිණෙන්න කියා උපදෙස් ලබා දී රෝහලින් පිටත් කර යවා තිබෙනවා.

එම රෝගීන් හිතාගෙන ඇති මාස දෙකකින්-තුනකින් (2-3) අපිට හරියයි කියලා. ඒත් ඇත්තටම ඔවුන්ගේ ඇස් අන්ධ වෙලා කියලා ඔවුන්වත් දන්නෙ නැතුව ඇති.

රෝහලෙන් ලබා දුන් තොරතුරු අනුව ගරු ජනාධිපතිතුමන් විශේෂ කමිටුවක් පිහිටුවලා ඒ දහ දෙනාට (10) වන්දි මුදල් ලබා දෙන්න සූදානම් කරනවා.

එයට කලින් අපි මුලින්ම කළ යුත්තේ මේ සංකූලතාවලින් අගතියට ලක් වූ මුළු ප්‍රමාණය සොයා ගැනීම. ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් හෝ හඳුන්වා දී ඒ අයව සම්බන්ධ කරගත යුතු වනවා.

ඉන් අනතුරුව නුවරඑළියෙ ප්‍රධාන නිලධාරීන් යටතේ මෙහෙයවන කමිටුවක් පත්කර මෙම සිද්ධියේ අග-මුල සොයා බලා ඉන් අනතුරුව ඔවුන්ට සාධාරණයක් ඉටුකල යුතුයි.

මේ අන්ධ භාවයට පත්වෙලා තියෙන්නේ නුවරඑළියේ අහිංසක ගොවි ජනතාවගෙන් සහ වතු කම්කරුවන්ගෙන් විශාල ප්‍රමාණයක්.

ඒ වගේම තමයි කිසිවක් කර කියා ගත කියාගත නොහැකි මව්වරුන් විශාල ප්‍රමාණයක් ද මේ අතර සිටිනවා.

ඕනෑම ජීවියෙකුට ජීවත්වීමට අවශ්‍ය වටිනාම අවයව තමයි ඇස් දෙක. මේ ඇස් දෙක අන්ධ වන තරමට රජයේ නොසැලකිලිමත් භාවය සර්ව ආගමික නායකයන් හැටියට අප තරයේ හෙලා දකිනවා.

මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බලධාරීන් කිසිවෙකු නෑ. දේශපාලකයන් කිසිවෙකු නෑ. ඒ නිසයි අපි තීරණය කළේ සර්ව ආගමික නායකයන් හැටියට අපගේ ආගමිකයන් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වෙන්න.

අප රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය මීට වඩා සක්‍රීයව මැදිහත් විය යුතුයි කියලා. ඒත් එක්කම ඉදිරියට නොසැලකිලිමත් බවෙන් මෙවන් අකටයුතු සිදුවීමට කිසිසේත් ඉඩ නොතැබීමට රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වග බලාගත යුතුයි”

ආගමික නායකවරුන් ගෙන් එල්ල වූ චෝදනාව පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා ගෙන් අප කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ, ආගමික නායකයන් සිදු කරන චෝදනාව පිළිගත නොහැකි අතර අප්‍රේල් පස්වන (05) දින සැත්කම් 34 ක් පමණක් සිදුකල කල බවත් එදින සැත්කම් සිදුකළ අයට පමණක් දැනට විසබීජ අඩංගු යැයි අනාවරණය වූ බෙහෙත අක්ෂි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබුනු බවත් ය.

රංජිත් රාජපක්ෂ


කල්දෙමුල්ල, පුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරකම් කළ දෙදෙනා දැලේ

(19.05.2023 – 08:14 +0530 – sinhala.adaderana.lk)

කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධියට සැකකරුවෙකු සහ සැකකාරියක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිමි පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 52 හැවිරිදි වියේ පසුවෙයි.

සැකකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය 38 හැවිරිදි වියේ පසුවෙයි.

මෙම වසරේ ජනවාරි මස 18 වනදා කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ කරඬුව සොරකම් කර ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව ගල්කිස්ස පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊයේ (18) ලද තොරතුරකට අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලීසිය සිදුකළ ප්‍රශ්න ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ ‘රන් නෙළුම් මල’ උණුකර ඇති බවය.

ඒ අනුව අනාවරණය කරගත් තොරතුරුවලට අනුව උණු කර තිබූ ග්‍රෑම් 61 යි මිලිග්‍රෑම් 170 ක් බරැති රන් ගුලියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු සහ සැකකාරිය අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


කඩවත වෙඩිතැබීමක්

(19.05.2023 – 07:05 +0530 – sinhala.adaderana.lk)

කඩවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

පොලීසිය පවසන්නේ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයෙකු, සහෝදරයාගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇත බවය.

ඊයේ (18) රාත්‍රියේ තුවාල ලැබූ පුද්ගලයා සිය නිවස අසළ මාර්ගයේ රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි සැකකරුවන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත.

පසුව එම ගිනි අවියෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳට ද පහරදී එම ස්ථානයෙන් පළාගොස් ඇත.

සැකකරුවන් සමඟ වෙඩිතැබීමට භාවිත කර ඇති රයිෆල් වර්ගයේ ගිනි අවිය. සැකකරුවන් එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථය පොලිස්භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56, 20 සහ 25 හැවිරිදි වියේ පසුවන ගනේමුල්ල සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි (3).

සැකකරුවන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ ව්‍යාජ පුනරුත්ථාපන මධ්‍යස්ථානය

(18.05.2023 – 19:23 +0530 – sinhala.adaderana.lk)

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මුවාවෙන් නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ව්‍යාජ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නීතියේ රැහැනට හසුකර ගැනුණි.

‘අද දෙරණ උකුස්සා’ගේ අද (18) අනාවරණය ඒ පිළිබඳවය.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මෙම පෞද්ගලික මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ මොරටුමුල්ල ප්‍රදේශයේදීය.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන බව පවසමින් මෙහි හිමිකරුවන් විසින් ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ද පළකර තිබේ.

එම දැන්වීම්වලට අනුව, මෙහි පුනරුත්ථාපනයවීම සඳහා රුපියල් 37,550.50 ක මුදලක් ගෙවිය යුතු අතර ආහාර පාන සඳහා ද වෙනමම මුදල් ගෙවිය යුතු බව ‘උකුස්සා’ට අනාවරණ වුණි.

ෆේස්බුක් ඔස්සේ පළකර තිබූ දැන්වීමේ මෙම ස්ථානය සුඛෝපභෝගී ස්ථානයක් ලෙස පෙන්වාදී තිබුණද, මෙහි පවතින සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය.

සිරකුටි ආකාරයෙන් දිස්වන කාමර කිහිපයක්ද මෙහි ඇති ආකාරය අපට දැකගත හැකිවිය.

ඒ අනුව, මෙම ස්ථානය පිළිබඳව ඇතිවූ බරපතළ සැකය මත, බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිබඳව මොරටුමුල්ල පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමිණ ස්ථානය වටලනු ලැබීය.

එහිදී අනාවරණ වුයේ මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා සමාජ සේවා බලපත්‍රයක් සහ අන්තරාදායක ඖෂධ පාලක අධිකාරියේ බලපත්‍රයක් තිබිය යුතු වූවත් එවැනි කිසිදු බලපත්‍රයක් මෙම ස්ථානයට නොමැති බවය.

එමෙන්ම මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ සහ සමාජසේවා දෙපාර්තමේන්තුවේ අවසර ගතයුතු නමුත්, එවැනි කිසිඳු අවසරයක් ලබාගෙන නොමැති බවද පොලීසිය අනාවරණ කරගනු ලැබීය.

වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වුයේ පුනරුත්ථාපනය සඳහා යොමුවන පුද්ගලයන්ට වැසිකිලි, කැසිකිලි පහසුකම් සපුරා ගැනීම සඳහා බේසම් සහ බුලි පමණක් ලබාදී ඇති බවය.

අනතුරුව මෙම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහි පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිස ඔවුන්ගේ භාරකරුවන් වෙත භාරදීමට පොලීසිය කටයුතු කළේය.

අධික ලාභ ලැබීම පමණක් අරමුණු කරගත්, කිසිඳු ප්‍රමිතියකින් තොර මෙවැනි වංචනික ස්ථාන පිළිබඳව ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි.

+


කොළඹ සහ කොළඹට ආසන්න ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(19.05.2023 – 08:50 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) රාත්‍රී 10 සිට සෙනසුරාදා (20) උදෑසන 08:00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 4, 5, 7, 8 ප්‍රදේශ වලට මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (19) රාත්‍රියේ සිට පැය 10 ක කාලයක් මෙම ජල සැපයුම අත් හිටුවන බව සඳහන්.

මේ නිසා ජනතාවට ඇතිවන අපහසුතාවය පිළිබඳ පාරිභෝගිකයන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන අතර ම අවශ්‍ය ජලය ගබඩා කර ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *