ජෙරම් ප‍්‍රනාන්දු CIA ඔත්තුකරුවෙක් .. කතෝලික සභාවටත් නැති ධනයක් ඔහු සතුව ..

ජෙරම් ප‍්‍රනාන්දු CIA ඔත්තුකරුවෙක් .. කතෝලික සභාවටත් නැති ධනයක් ඔහු සතුව ..


ජෙරම් ප‍්‍රනාන්දු CIA ඔත්තුකරුවෙක් .. කතෝලික සභාවටත් නැති ධනයක් ඔහු සතුව ..

(17.05.2023 – 22:02 +0530 – lankacnews.com)

බුද්ධාගමට අපහාස කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජෙරම් ප්‍රනාන්දු CIA ඔත්තු කරුවෙක් බව ‘ජාතික සංවිධාන එකමුතුවේ’ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘බෝර්න් අගේන්’ යනු රටවල් අවුල් කිරීම සඳහා CIA සංවිධානය විසින් භාවිතා කරන උපකරණයක් බවද පවසන ඔහු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව කියා සිටියි.

කතෝලික සභාවට වත් නැති තරම් මුදල් ජෙරම් ප්‍රනාන්දු සතුව ඇත්තේ කෙසේ දැයි ප්‍රශ්නකාරී බවද හෙතෙම කියා සිටියි.

මේ පසුපස රටේ ප්‍රබල පුද්ගලයන් සිටිනා බවත් එළියට පේන මුහුණ ජෙරම් ප්‍රනාන්දු පමණක් වුවත් පසුපස බලගතු පුද්ගලයන් රාශියක් සිටින බවද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

+++++++++++

ජෙරොම් ප්‍රනාන්දු සමග සජිත් ප්‍රේමදාස සබඳතාවක..?

(17.05.2023 – 22:22 +0530 – lankacnews.com)

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන බලවේගය කිසිදු මතයක් නොදැරීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් සඳහන් කරයි.

ජෙරොම් ප්‍රනාන්දු සමග සජිත් ප්‍රේමදාස ද සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් පවතින බවත් ඒනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ හෝ සමගි ජන බලවේගයේ ස්ථාවරය හෙළි කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජෙරොම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශවයන් තම මතය ප්‍රකාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා ඇති බව පැවසූ ඔහු එවන් පසුබිමක ප්‍රධාන විපක්ෂය මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුමයක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජෙරොම් ප්‍රනාන්දු සමග ඇති සම්බන්ධතා නිසා එසේ නිහඬව සිටිනවා දැයි සැක කළ හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි ෴

+++++++++

ජෙරම් ප‍්‍රනාන්දු මහජන කැළඹීමක් සූදානම් කරනවා..

(17.05.2023 – 19:10 +0530 – lankacnews.com)

ආගමික ශාස්තෘවරයකුට එරෙහිව කරන ප්‍රකාශ මගින් මුළුමහත් සමාජයකට ගිනි ඇවිලවිය හැකි බවත් ඒ බව හොඳින් දන්නා ඇතැම් බලවේග රට තුළ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීමට බුදුන් වහන්සේට දැනුවත්ව අපහාස කරන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යොදා ගෙන ඇති බවත් ඔහු එම බලවේගයන් සතුව ඇති භයානක හස්තයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද (17) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එනිසාම ජෙරොම් ප්‍රනාන්දු පිටුපස සිටින බව පෙනෙන ‘ටයි-කෝට් මහත්වරුන්ගේ පැටිකිරිය’ පිළිබඳවත් විශේෂයෙන් පසුගියදා අල් – ජසීරා නාලිකාව මඟින් අනාවරණය කළ ජාත්‍යන්තර මූල්‍ය විශුද්ධිකරණයට සම්බන්ධ සිම්බාබ්බේ ජාතිකයා සහ ඔහු අතර වන රහසිගත ගනුදෙනු පිළිබඳවත් රට හමුවේ අනාවරණය කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවට ඒ මහතා අවධාරණය කරයි.

දැනටමත් ආගමික සහජීවනයට බාධා පමුණුවමින්, මහජන කැළඹීමකට මග පාදමින් රටින් පිටව ගොස් ඇති මේ තැනැත්තා, ‘ඉරිදා මම ලංකාවට එනවා. ඒ අවස්ථාවට ඔබ පවුල් පිටින් ඒකරාශී වන්න’ යැයි තවදුරටත් ඉල්ලීම් කිරීමෙන් පෙනී යන්නේ ඔහු පිටුපස සිටින බලවේග තුළ තිබෙන මේ රටට ගිනි ඇවිලවීමේ බරපතළ වුවමනාව බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම රටින් පිටව ගිය පසු ජෙරොම් ප්‍රනාන්දු සාකච්ඡා කළේ කවුරුන් සමග ද, හමු වූයේ කුමන බලවේග ද, යන කරුණු ජාතික ආරක්ෂාව හා බැඳී ඇති බැවින් ඒ පිළිබඳව ද ආණ්ඩුව කඩිනම් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++

ඉරිදා ආගමික ගැටුමක් ඇතිවේවි.. ජෙරම් ICCPR යටතේ අත්අඩංගුවට ගන්න .. – උදය ගම්මන්පිල කියයි

(17.05.2023 – 15:00 +0530 – lankacnews.com)

බුදු දහමට, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පැවරිය යුතු අතර ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා ආගමික වෛරය පතුරවන විට ඊට අනුබල දුන් ඔහුගේ අනුගාමිකයින් ද එම පනත යටතේ වරදකරුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

“බුදු දහමට වගේම හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇත්තටම අපහාස කලේ ඔය මොනම ආගමටවත් වඩා කිතුනු දහමටයි. කුරුසයක් එල්ලා ගෙන කිතුනු දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටිමින් අනිත් ආගම් වලට අපහාස කිරීමෙන් ඒ අපහාසය වඩාත්ම සිදු වන්නේ කිතුනු දහමටයි. ඒ වගේම ඔහු දේශන පවත්වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඔහුගේ වචනවල අර්ථ නිරූපනයෙන් පෙනී යනවා ඉංහ්‍රීසි භාෂාව පිළිබඳ ‘මෙලෝ හසරක’ අවබෝධයක්ද නොමැති බව. ඒ නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බෞද්ධ – හින්දු – ඉස්ලාම් – කතෝලික බැතිමතුන් වගේම ආගමික සහජීවනය අගයන සමස්ත ජාතියට අපි ආයාචනා කරනවා.

ආගමික ගැටුම් ඇති කිරීමට උත්සහ දරණ අයට දඬුවම් කිරීමට 2007 දක්වා අපට තිබුණේ දණ්ඩ නීති සංග්‍රහය පමණයි. නමුත් ‘අයිසිසිපිආර් පනත’ ලෙස හැඳින්වෙන 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත අනුව මෙය මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි ඉතාම බරපතල වරදක්. මහාධිකරණ විනිසුරුවරයෙකු වුවත් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂි කරුණු මත පමණයි. ඒ වගේම මෙවැනි නඩුවක් උසාවියකට ඉදිරිපත් කළාම අනෙකුත් නඩු පසෙක තබා ප්‍රමුඛතා පදනමින් මේ නඩුව විභාග කළ යුතුයි කියා පනතේ තිබෙනවා.

පනතේ 3(1) වගන්තිය අනුව එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කෙරෙන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. අන්න ඒ බරපතල වරද තමයි ජෙරම් ප්‍රනාන්දු සිදුකර ඇත්තේ. ඒ සඳහා වසර 10 ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකියි. ආගමික සහජීවනය අගය කරන දේශපාලන පක්ෂයක් විධියට අපි මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කලා. ඒ නිසා නොපමාව ඔහුට එරෙහිව ‘අයිසිසිපිආර් පනත’ යටතේ නඩු පවරන්න කියා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

මැයි 21 පැවැත්වෙන ජෙරම්ගේ රැස්වීම තහනම් කළ යුතුයි

මේ වගන්තිය අනුව ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. ජෙරොම්ගේ ‘ඩෝම්’ එකේ සිටින පිරිසගේ ප්‍රතිචාරය බලන්න. අන් ආගම් වලට අපහාස කරන විට මහ හඬින් සිනාසෙනවා. නැගිටලා අත්පුඩි ගහනවා. ඒ කියන්නේ ජෙරොම්ගේ ආගමික වෛරය පතුරන්න මේ අය පොළොඹවනවා. එහෙම නම් ජෙරොම් අනුගාමිකයින් ආගමික වෛරයට පොළොඹවනවා. ඒ වගේම අනුගාමිකයින් ජෙරොම්ව දිරිමත් කරමින් පොළොඹවනවා. එහෙම නම් මේ අනුගාමිකයින් ද ‘අයිසිසිපිආර් පනත’ අනුව වරදක් කරලා තිබෙනවා. ඔය අතරේ ජොරොම් ප්‍රනාන්දු තමන්ගේ අනුගාමිකයින්ට ලබන 21 වන ‘ඉරිදා දේව මෙහෙය’ කියන රැස්වීම පවත්වන බවටත් පවුල් පිටින් ‘ඩෝම්’ එකට එන්න කියා සමාජ්‍ය මාධ්‍ය හරහා දැනුම් දීමක් කර තිබෙනවා. මේ ආගමික වෛරය පතුරන ජෙරොම්ට තව තවත් රැස්වීම් පවත්වන්න අවස්ථාව දුන්නොත් රටම ගිනි ගොඩක් – ලේ විලක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඉරිදාට ජෙරොම්ගේ රැස්වීමක් පැවැත්වෙනවා නම් ඊට එරෙහිව අපිට, මේ රටේ සාමය අගය කරණ ජනතාවට උද්ඝෝෂණ කරන්න සිදුවෙනවා. ඒ නිසා උසාවි නියෝගයක් ලබා ගෙන වහාම මේ රැස්වීම තහනම් කරන මෙන් අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා :

අපි බෞද්ධයින් වුවත් පුංචි කාලේ ඉඳන් නත්තල් සීයා තෑගි දෙනකම් බලන් හිටියා. අද බෞද්ධ පරිසරයේ හැදී වැඩෙන මගේ දරුවොත් එහෙමයි. අපි බෞද්ධ වුවත් නත්තලට ගෙදර නත්තල් ගහ හදනවා. අපි බෞද්ධ වුවත් ගව ලෙන හදනවා. කොච්චිකඩේ පල්ලියට නොගියපු බෞද්ධයෙක් මේ කොළඹ නැති තරම්. මේ තමයි අපේ රටේ සුන්දරත්වය. මේ තමයි සොඳුරු විවිධත්වය.

අපිත් ශුද්ධ වූ බයිබලය යම් තාක් දුරකට හදාරලා තියෙනවා. හදාරනවා. මා ශුද්ධ වූ බයිබලය පිළිබඳව විද්වතෙක් නොවන හෙයින් නිවැරදි කිරීමට යටත්ව ශුද්ධ වූ බයිබලයෙන් සොයා ගත් යමක් ඔබ වෙත තබන්නම්.

උපුටා ගැනීම:

Jeremiah 29

King James Version

  1. For thus saith the Lord of hosts, the God of Israel; Let not your prophets and your diviners, that be in the midst of you, deceive you, neither hearken to your dreams which ye cause to be dreamed.
  2. For they prophesy falsely unto you in my name: I have not sent them, saith the Lord.

ශුද්ධ වූ බයිබලයේ යෙරමියා 29 වැනි පරිච්ඡේදය

  1. නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.
  2. මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නො එවුවෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.

උපුටා ගැනීම අවසන්.

ආගම් ව්‍යාපාර කරගත්ත මිනිස්සුන්ට ඔබේ අසරණකම හේතුවක් කරගෙන රැවටෙන්න එපා. සිම්බාබ්වේ දේශයේ ‘ඌබට් ඒන්ජල්’ කියන දේවගැතිවරයා තමයි ජෙරම්ගේ ගුරා. ඔහු ජාත්‍යන්තර රන් ජාවාරම් වල යෙදෙමින් සහ මුදල් විශුද්ධිකරණයේ යෙදෙන අයුරු මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වල අනාවරණය වෙමින් පවතිනවා. ජෙරම්ගේ ආරාධනයෙන් ඔහු ලංකාවටත් පැමිණියා. මේ රටේ සමහර ප්‍රසිද්ධ නායකයන් පවා දෙන්නත් එක්ක ගිහිල්ල මුණ ගැහුනා. මේ නායකයෝ බබාලාද? මොවුන්ගේ පස්සෙන් යන ක්‍රිකට් තරු බබ්බුද?

අපි යෝජනා කරනවා සර්ව ආගමික සමුළුවක් කැඳවන්න කියලා. අපි 2017 මේ රටේ ආගමික පිපිරීමක් ගැන අනතුරු හඟවනු ලැබුවා. 2019 පාස්කු ප්‍රහාරය අපේ ඉතිහාසයේ අමිහිරි අත්දැකීමක්. එවැනි අත්දැකීම් නැවත මේ රටට අවශ්‍ය නැහැ. මේ වතාවේවත් සර්ව ආගමික සමුළුවක් කැඳවලා වරින් වර මතුවෙන මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව පියවර ගනා ලෙස අපි ජනාධිපතිවරයාට දැනුම් දෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා සඳහා පිවිතුරු හෙළ උරුමය නායකයා විසින් මෙසේ අදහස් දැක්වීය

ප්‍රශ්නය :
මෙම දේවගැතිවරයා මේ වන විට රටින් පිටවී තියෙනවා නේද ?

පිළිතුර :
ඔහු ප්‍රකාශ කර තියෙනවා ලබන ඉරිදා එන බව. ඒ වගේම පවුල් පිටින් ඔහුගේ රැස්වීම් ශාලාවට එන්න කියලා. ගුවන්තොටුපලේදීම ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඔහුගේ රැස්වීම තහනම් කළ යුතුයි. නැතිනම් ආගමික ගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ‘අයිසිසිපිආර් පනත’ යටතේ ඇප ගන්න බැහැ. ඔහු කියන විදියට ඔහු හාස්කම් කරන කෙනෙක් නිසා ඔහු බය නැතුව ලංකාවට ඇවිල්ලා ‘අයිසිසිපිආර් පනත’ යටතේ උසාවියට මුහුණ දීලා තමන්ගේ හාස්කම් පෙන්නාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය :
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද ?

පිළිතුර :
ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ඊට පෙර පැවැත්වීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධනය කර ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව කල් දමා ඇති පුංචි ඡන්ද පැවැත්වීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය :
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සහ පත්කිරීම සම්බන්ධයෙන් ඔබ තුමාගේ අදහස කුමක්ද ?

පිළිතුර :
ව්‍යවස්ථානුකූලව නම් ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කරන්න බලය තියෙනවා. පළාත් සභාවකින් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ආන්ඩුකාරවරයා ඉවත් කළ හැකියි. නමුත් එහෙම විශ්වාස භංග යෝජනා ගේනන පළාත් සභාව දැන් නැහැ. දැන් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට ඇති එකම ක්‍රමය ජනාධිපතිවරයා ගේ ප්‍රසාදය ඔවුන් කෙරෙහි නොමැති වීමයි. තෝරාගත් ආණ්ඩුකාරවරුන් තිදෙනකුට (3) විතරක් ජනාධිපතිතුමාගේ ප්‍රසාදය නොමැති වූයේ ඇයි. එය ජනාධිපති වරයා විසින් රටට කිව යුතුයි. ජනාධිපතිවරයා ජනවරමකින් පත්වී නැහැ. ඔහු පත්ව තිබෙන්නේ ගෝඨාභය ජනාධිපති වරයාගේ ජනවරම ඉදිරියට ගෙන යන්න. ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනවරම නියෝජනය කරන එම ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම නීතියට කෙසේ වෙතත් ජනවරමට පටහැනියි.

මෙම අවස්ථාව සදහා පිවිතුරු හෙළ උරුමය දෙහිවල සංවිධායක අජන්ත ද සිල්වා මහතා ද එක්විය.

+

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *