කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට

කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට


කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට

(15.05.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තාවූ සුළු ගං වතුර තත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ගිං ගගේ ජල මට්ටමද බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර, තවලම ප්‍රදේශයේ ඇතිවී තිබු සුළු ජල ගැලීම් තත්වය අඩුවෙමින් පවතිනවා.

කළු ගඟේ ජල මට්ටමද මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ ෴

+++++++++

ප්‍රදේශ කිහිපයකට නාවික හමුදාවේ මුදා ගැනීම් ඒකක යොදවයි

(15.05.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

හදිස්සි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් නාවික හමුදාවේ මුදා ගැණීමේ එක් ඒකකය බැගින් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශ සඳහා මෙහෙයුම් කණ්ඩායම් දියත් කිරීමට නියමිතයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් සහන සැලසීමට සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව එක් ඒකකය බැගින් යෙදවීමටයි තීරණය කර අත්තේ.

එමෙන් ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය තව දුරටත් බල පැවැත්වෙන බැවින් ඒ පිළිබඳ තව දුරටත් විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+++++++++

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 1,872 ක් පීඩාවට

(15.05.2023 – 11:33 +0530 – hirunews.lk/sinhala)

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය දින පහ තුළ පවුල් 428 ක පුද්ගලයන් 1,872 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසනවා.

පුද්ගලයින් හත්දෙනෙකු (7) තුවාල ලබා ඇති අතර, එක් (1) අයෙකු අතුරුදන්ව ඇති බවට වාර්තාවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නිවාසවලට සිදුවූ හානි සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත්, ජල ගැලීම් සහ නායයෑම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

+++++++++++

අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපයේ දී පහව යන ලකුණු

(15.05.2023 – 20:20 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, නිල්වලා සහ ගිං ගග පිටාර ගැලිම හේතුවෙන් යට වූ මාතර දිස්ත්‍රික්කයේ පහත් බිම්වල ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය, දෙනියාය සහ අතුරලිය යන ප්‍රදේශවල පහත්බිම් තවමත් ජලයෙන් යටව ඇති අතර විපතට පත්වූවන් මුදාගැනීම සදහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබනවා.

මේ අතර මාතර දිස්ත්‍රික්කයට බලපෑ ඇති අයහපත් කාලගුණය හමුවේ දෙනියායය කොට්ඨසායේ සියලු පාසල් සහ මුලටියන කොට්ඨාසයට අයත් පාසල් 10 ක් වසා දැමුණු අතර එම පාසල් යළි හෙට (16) විවෘත කරන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා කියා සිටියේ ෴

+++++++++++

ගංවතුරට වැටී පුද්ගලයෙකු අතුරුදන්

(15.05.2023 – 21:20 +0530 – hirunews.lk/sinhala)

මාතර – අතුරලිය ප්‍රදේශයේ දී ගංවතුරට වැටී 35 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මද්‍යස්ථානය පවසනවා ෴


“සමලිංගික චර්යා සම්බන්ධයෙන් ගෙනෙන පනත ළමා අපයෝජකයන්ට ඉණිමඟක්” – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(15.05.2023 – 12:13 +0530 – hirunews.lk/sinhala)

සමලිංගික චර්යාව සම්බන්ධයෙන් ගෙනෙන පනත මඟින් ළමා අපයෝජකයන්ට නීතියෙන් ගැලවී යා හැකි වපසරියක් නිර්මාණය කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

එමෙන් ම ඔහු ප්‍රකාශ කරන්නේ ජනතාව අර්බුදයට පත් වී සිටින අවස්ථාවක ආණ්ඩුව නොයෙක් පනත් ගෙනවිත් සම්මත කර ගැනීමේ උත්සහයක නිරතව සිටින බවයි.

සමලිංගික චර්යවන් මෙරට නීතියේ අපරාධයක් ලෙස සඳහන් වූවත් පසුගිය කාලයේ දුන් අධිකරණ තීන්දුවක් අනුව දඬුවම් දීමෙන් වැළකී සිටි බවයි ඔහු පෙන්වා දුන්නේ.

සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල තිබෙන අමානුෂික දඬුවම් මේ රටතුළ ක්‍රියාත්මක නොවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 365 වන වගන්තියට සුළු සංශෝශනයක් කිරීමෙන් එය වෙනස් කර ගැනීමට හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කර සිටියා.

නමුදු මෙම පනත ඔස්සේ 365(ආ) වගන්තිය සම්පූර්ණයෙන් ම ඉවත් කරන අතර එය ලෝකයේ අපචාර ප්‍රවර්ධනය කරන එකම රට ලංකාව බවට පත් කර ගැනීමක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන් ම මෙම පනත හරහා ළමා අපචාර කරන ඕනෑම කෙනෙකුට නීතියෙන් ගැලවී යා හැකි තත්ත්වයක් උදා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ෴


ඉපැරණි දාගැබක් තුළ නිධන් හෑරූ පිරිසක් රිමාන්ඩ්

(15.05.2023 – 12:22 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – ඔට්ටිසුඩාන්, කනගරාත්තිනම් ප්‍රදේශයේ පිහිටි ඉපැරණි දාගැබක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයින් හය (6) දෙනෙකු ඔට්ටිසුඩාන් පොලීසිය විසින් ඊයේ (14) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් එම ස්ථානය වටලන අවස්ථාව වන විටත් සැකකරුවන් පිරිස නිධානය ගොඩගැනීමට විශාල වළක් හාරමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එහිදී මෙම පිරිස සමඟ ඔවුන් නිධානය හෑරීමට රැගෙන එන ලද උපකරණ කීපයක්ද සිය බාරයට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

නිධානය ගොඩගැනීමට පැමිණි හය (6) දෙනා ගෙන් කට්ටඩියා මාතලේ ප්‍රදේශයේ අයෙකු වන අතර ඉතිරි පස් (5) දෙනා මුලතිව් හා කිළිනොච්චි පළාත් වල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා ඉදිරියට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මැයි මස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා ෴


වව්නියාවේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ගිනි ගනී

(15.05.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව නගරයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ඊයේ (14) දහවල් කාලයේ හදිසියේ ම ගිණි ගෙන විනාශයට පත් වී තිබෙනවා.

එම කුඩා යතුරු පැදියේ ස්වාමියා බිරිද හා කුඩා දරුවන් දෙදෙනෙකු (2) ගමන් කොට ඇති අතර ගින්න හට ගැනීමත් සමඟම කාන්තාව දරුවන් දෙදෙනා (2) ද සමග බිමට පැන තිබෙනවා.

නගරයේ සිටි පිරිස වහාම ගින්න නිවා යතුරු පැදිය බේරා ගැනිමට උත්සහ කලත් එය අසාර්ථක වී යතුරු පැදිය මුළුමනින්ම ගිණිගෙන විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එදිනෙදා දර කපා මෙම යතුරු පැදියෙන් ප්‍රවාහනය කරණ පුද්ගලයෙකුගේ යතුරු පැදිය මේ අන්දමට ගින්නට හසු වී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ ෴


නටරාජා පිළිමයක් සොරකම් කළ හමුදා සෙබලා රිමාන්ඩ්

(15.05.2023 – 12:45 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව ගණදෙවි කෝවිලේ තිබූ ඉපැරණි නටරාජා පිළිමය සොරාගත් යුද හමුදා සෙබළකු වව්නියාව පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කළ පිළිමය බෑගයක දමා ගෙන යමින් සිටියදී මාර්ගය අසල කුලී රථ රියැදුරන් පිරිසකට සැකයක් ඇතිවී තිබෙන අතර මෙම හමුදා සෙබලා නවත්වා පරික්ෂා කිරීමේදී මෙම පිළිමය ඔවුන්ට හමුවී තිබෙනවා.

එහිදී මෙම සෙබලාව ඔවුන් භාරයේ තබාගෙන වවුනියාව පොලිසිය දැනුවත් කර තිබෙන බවත් පොලිස් නිලධාරීන් පැමිණ මෙම සැකකාර හමුදා සෙබලා සහ පිළිමය අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා ෴


බදු අඩු කිරීම ඇතුළුව රජයෙන් සහන පැකේජයක්

(15.05.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ඉදිරි මාස හයක (6) කාලය තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.

මෙම අදහස් පළ කළේ පසුගිය සෙනසුරාදා (13) ඇහැලියගොඩ ප්‍රදේශයේ බිම්මල් වගා ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැතී රැස්වීමකට සහභාගි වෙමින්.

මෙහි දී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ ගත වූ කාල පරිච්ඡේදය රටේ ජනතාව මෙතෙක් ගත කළ දුෂ්කරම කාල පරිච්ඡේදයක් බවයි.

මෙම වසරේ ඉදිරි මාස හයක (6) කාලය තුළ අපේ ජනතාවට ආර්ථික වාසි රැසක් ලබා දෙන බවද, විදුලි බිල ඉදිරි මාසය හෝ මාස දෙක (1-2) තුළ අඩු කරන බව හා ඒ ඉන්ධන මිලත් අවස්ථා දෙකක (2) දී ඉදිරියේ දී අවම කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙනවා. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන අතර එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

බදු සහන ලබා දෙන ඉල්ලා කෑ ගැසීමට අවශ්‍ය නොදන බවත් රජයක් ලෙස ඉදිරියේ දී එම සහන ලබා දීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම රාජ්‍ය සේවකයින් සඳහා වැටුපට අමතරව විශේෂ දීමනාවකුත් ලබා දීමට රජය තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා දන්වා සිටියා ෴


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමේ බඹර කැපිල්ල

(15.05.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉංජිනේරු පීඨය යා කරමින් මහවැලි ගඟ මතින් ඉදිකර ඇති අක්බාර් පාලමේ බැඳ තිබූ දැවැන්ත බඹර වද ආරක්ෂාකාරීව ඉවත් කර තිබෙනවා.

‘මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය’ විසින් මෙම පියවර ගනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කරන ලද ඉල්ලීමක් මතයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය තවත් කෙටි කලකින් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් සහ මව්පියන් 25,000 කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණෙනවා.

ඔවුන් අක්බාර් පාලම මතින් සිය ගමන් පහසුව සලසා ගන්නා අතර එහිදී පාලමේ ඇතිවන කම්පනය හේතුවෙන් පාලමේ යට බැඳ ඇති බඹර වදවල බඹරුන් ඇවිස්සීමේ අවදානමක් පවතිනවා.

පසුගිය කාලයේදී එවැනි සිදුවීම් කිහිපයක්ද වාර්තා වී තිබූ අතර ඒ හේතුවෙන් සිසුන් සහ මව්පියන් ඇතුළු පිරිස්වලට රෝහල් ගතවීමටද සිදුවුණා.

එම පසුබිම යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරී විසින් ‘මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානයෙන්’ සිදුකෙරුණු ඉල්ලීමකට අනුව මෙම බඹර වද ඉවත් කිරීමට පියවර ගැනුණා.

මෙලෙස ඉවත් කෙරුණේ මහවැලි ගං මට්ටමේ සිට අඩි 150 ක් පමණ ඉහළින් අක්බාර් පාලමේ යටකොටසේ බැඳ තිබූ දැවැන්ත බඹර වද 32 ක්.

ඒ, බඹරුන්ටද කිසිදු හානියක් සිදුනොවන ආකාරයෙන්.

මෙහිදී අදහස් පළකළ බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහින්ද විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් මී වද, බඹර වද කපා පැණි ලබාගන්නා අවස්ථාවේදී මෙම සතුන් පුළුස්සා එම කටයුත්ත සිදුකරන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *