ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරේ

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරේ


ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරේ

(15.05.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ අඩංගු කුප්පි ලක්ෂයක් (1,00,000) භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ ඉන්දියාවෙන් ගෙන්වූ අදාළ ඖෂධ භාවිතයේදී රෝගීන්ට ඇතිවූ සංකූලතා සැළකිල්ලට ගෙන ඒවා භාවිතයෙන් ඉවත් කළ බවයි.

කෙසේ වෙතත් මෙම ඖෂධය මෙරට ලියාපදිංචි ඖෂධයක් නොවන බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ වනවිට තහවුරු කර ඇති බවත්, එවැනි අනුමැතියකින් තොර ඖෂධයක් රෝගීන්ට ලබාදීමට කටයුතු කිරීම ප්‍රශ්න සහගත බවත්, ඔහු කියා සිටියා.

මෙම සිද්ධිය ඇතුලු ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් හෙට (16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළා ෴


රිය අනතුරු නිසා ජීවිත දෙකක් (2) මරුට

(15.05.2023 – 06:55 +0530 – hirunews.lk/sinhala)

වරකාපොල – නුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේ දී ඊයේ (14) උදෑසන කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් එක් (1) පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කිලෝමීටර් 63 කණුවේ ගැටී අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු සහ පසු පැදිකරු බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කිරීමේ දී එක් (1) පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වන මැල්ලගල, තුංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+

එමෙන්ම ඊයේ (14) උදෑසන මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගයේ වෑගොවුව ප්‍රදේශයේ දී කිලෝමීටර් 10 ත් 11 ත් කණු අතර දී මාර්ගයේ පයින් ගමන්කළ කාන්තාවක් අනතුරට ලක් වී තිබෙනවා.

මෙහිදී මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටී එම කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එහිදී මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කළ කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එහිදී මියගිය කාන්තාව වයස අවුරුදු 69 ක් වන වේයන්ගොඩ පාර, මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් අදාල මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


නව විදුලිබල පනත් කෙටුම්පතේ ප්‍රගති සමාලෝචනය

(15.05.2023 – 07:11 +0530 – hirunews.lk/sinhala)

නව විදුලිබල පනත් කෙටුම්පත හඳුන්වාදීමේ වැඩපිළිවෙල පිළිබඳ ප්‍රගති සමාලෝචනය කමිටු සාමාජිකයන් සමඟ ඊයේ (14) පස්වරුවේ සිදුකර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම කෙටුම්පත හඳුන්වාදීම සිදුකරන බවයි.

ඒ අනුව අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ කෙටුම්පත පරීක්ෂා කිරීම සිදු කෙරුණා.

එම කෙටුම්පතේ පිටපත් බලශක්ති විශේෂඥයන් වෙත බෙදාහැර ඔවුන්ගේ උපදෙස් සහ නිර්දේශ අනුව අවසන් කෙටුම්පත සකස් කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ෴


අතරමැදියන් නිසා එළවළු මිල අහස උසට

(15.05.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

එළවළු මිල ඉහළ ගොස් ඇත්තේ අතරමැදියන් විසින් කෘතිමව සිදුකරන ලද මිල ඉහළ දැමීම් හේතුවෙන් බවට තොරතුරු වාර්තා වනවා.

මධ්‍යම කඳුකරයට පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග උඩරට සහ පහතරට එළවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇති බවට ඊයේ (14) හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප කරුණු වාර්තා කළා.

කෙසේ වෙතත් එළවළුවල සිල්ලර මිල ගණන් පිළිබඳව නාරාහේන්පිට, තඹුත්තේගම, දඹුල්ල සහ නුවරඑළිය යන ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන් සමඟ සැසඳීමේදී අතරමැදියන් විසින් එළවළු මිල ඉහළ දමන බවටයි අනාවරණ වන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400 කට අලෙවි වනවිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 510 කටයි.

එම බෝංචි කිලෝවම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවිවන්නේ රුපියල් 600 කටයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 160 ත් 170 ත් අතර මිලකට අලෙවි වුවත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ලීක්ස්, රාබු ඇතුලු අනෙකුත් එළවලු මිල ගණන් ද විවිධ පරාසයන් යටතේ අලෙවි වන බවටයි අප සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වූයේ.

මෙම මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත්තේ අතරමැදි වෙළෙන්දන් විසින් සිදුකරන මිල ඉහළ දැමීම් හමුවේයි.

මේ හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ පාරිභෝගික ජනතාවයි.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වන බවයි.

එහෙත් අධික මිල කණන් යටතේ ඇතැම් වෙළඳුන් එළවළු අලෙවි කරන බවට තොරතුරු වාර්තාවී ඇති බවත්, සෑම වෙලෙන්දෙකුම එළවළු මිල ප්‍රදර්ශනය කළ යුතු බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළා ෴


කාබනික වගා මුවාවෙන් මුදල් වංචාකළ අයෙක් සොයා විමර්ශන

(15.05.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

කාබනික බෝග වගා කිරීමට බව කියමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු සම්බන්ධව විමර්ශනය සිදු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පොලිස්පතිවරයාට දැනුම් දීමක් කර තිබෙනවා.

දිවයින පුරා පුද්ගලයින් පන්සියයකට (500) අධික පිරිසකගෙන් රුපියල් කෝටි සියයකට (100,00,00,000) අධික මුදල් ප්‍රමාණයක් මෙලෙස ‘මෙත්සු ට්‍රෙඩින්ග්ස්’ යන නමින් පවත්වාගෙන යනු ලැබූ ආයතනයක් මගින් රැස්කර තිබෙනවා.

අධික ලාභයක් ලබා දෙන බව පවසමින් මෙලෙස මුදල් රැස් කර ඇති මෙම පුද්ගලයා මීට පෙරද මූල්‍ය වංචාවකට හසු වී ඇති අයෙක් බවයි වාර්තාවන්නේ.

ඔහු මේ වන විට සැඟව සිටින බවත් තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් මෙම වංචාවට හසු වූ පුද්ගලයින් ජනාධිපති කාර්යාලය දැනුවත් කර ඇති අතර ඉන් පසුවයි මෙලෙස පොලිස්පතිවරයාව දැනුවත් කර ඇත්තේ ෴


මැණික් ගල් 14 ක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(15.05.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

සිඩ්නි බලා ගුවන් ගතවීමට ගිය මගියෙකුගේ ගමන් මල්ලක තිබූ මැණික් ගල් 14 ක් සහිත පාර්සලයක් සොරාගත් ගුවන්තොටුපල සේවකයින් දෙදෙනෙකු (2) ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 26 වැනි දින සිඩ්නි බලා යාමට සූදානම්ව තිබූ ගුවන් යානයේ භාණ්ඩ අසුරන කොටසේ තිබු මගියෙකුගෙ ගමන් මල්ලක තිබූ මැණික් මල්ලක් මෙලෙස සොරාගෙන ඇති බවයි ගුවන්තොටුපල පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ගමන්මලු පැටවීමට හා බෑමට සේවයේ යොදවා සිටින දෙදෙනෙකු (2) බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සිමෙන්ති කම්හලේ යකඩ සොරාගත් අටක් (8) මාට්ටු

(15.05.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ සොරා ගත් එම ගත් එම කම්හලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු (3) ඇතුළු අට (8) දෙනෙකු කන්කසන්තුරය අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කම්හලෙන් සොරකම් කළ යකඩ ටොන් එකකට (1) ආසන්න ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනෙකු (5) ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වී ඇත්තේ කම්හලේ ආරක්ෂක නිලධාරීන් සමග එක්ව මෙම සොරකම සිදු කළ බවයි.

එහිදී කන්කසන්තුරය අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම ආරක්ෂක නිලධාරීන් තිදෙනා (3) ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සියළුම සැකකරුවන් අද (15) දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තාකරු පවසනවා ෴


තම සොයුරියගේ නිවස ගිනි තබා විනාශකළ අයෙක් අත්අඩංගුවට

(15.05.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

තම සොයුරියගේ නිවස ගිනි තබා විනාශ කළ බාල සොහොයුරෙකු නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වතුපිටිවල රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක අයෙක්.

එම නිවස ගිනි තැබීමෙන් පසු සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සොයුරියගේ දරුවාගේ සියලුම පාසල් පොත්, නිල ඇඳුම් සහ උපකරණ ද විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මහජන ආධාර කප්පාදු කරන්නේ නැහැ – රංජිත් සියඹලාපිටිය

(15.05.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන (2) උපලේඛනයේ ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය :

“විශේෂ අවශ්‍යතා තියෙන අයට එනම් ආබාධිත අයට, හඳුනානොගත් හේතුන් මත වකුගඩු රෝගීන් වූ අයට, වැඩිහිටි අයට ලබාදෙන ආධාර සඳහා කිසිම තැනකදී, දින වකවානු සහිත සීමාකිරීමක් මේ අලුත් නීතියෙන් කරලා නැහැ. පැහැදිලිවම ගැසට් පත්‍රයේ දින වකවානු සඳහන් කරලා නැහැ. මේ දෙන අකාරයටම අඛණ්ඩව රජය ඒ උදව්ව කරන්න බලාපොරොත්තු වෙනවා” ෴


කෘෂිකර්ම ඇමති පොලීසියෙන් කළ ඉල්ලීම

(15.05.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධානවල නියෝජිතයින් සිදුකරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අමාත්‍යවරයා අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි පරිදි දිනකට කිරි ලීටර් 20 ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බවත් එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35 ක් පමණ සොරකම් කරන බවටත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබෙන බවඳ සඳහන්.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව‍යි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


සිය සැමියාව ඝාතනය කිරීම වසර 33 කට පසු බිරිය පාපොච්චාරණය කරයි

(15.05.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

වසර 33 කට පෙර සිය මව සහ මවගේ අනියම් සැමියා එක්ව තම පියා ඝාතනය කර ඇති බවට පුතෙකු විසින් ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

දැනට ආබාධිතව සිටින මව විසින් “මම පව්කාර වැඩක් කලා” යනුවෙන් ඇයගේම නැගනියට පවසා එම ඝාතනය පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පුතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය පියා ඝාතනය කර දමා ඇති බව කියන වැසිකිලි වල පොලිස් නිලධාරීන්ට පෙන්වා දී ඇතැයි අප වාර්තාකරු සඳහන් කරනවා.

ඉන්පසුව ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති විසින් අධිකරණය දැනුවත් කර ඇති අතර අද (15) දින මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එම මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *