එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් ඉහළට

එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් ඉහළට


එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් ඉහළට

(14.05.2023 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයට සාපේක්ෂව එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඊට හේතුව ලෙස වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ලෙස එළවලු තොග වෙළෙඳ පොලට නොලැබීමයි.

මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පවසනවා.

පසුගිය අප්‍රේල් මාසයේදි වෙළෙඳ පොල තුළ එළවලු මිල ගණන් වල සීඝ්‍ර පහළ යෑමක් දක්නට ලැබුණා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත අධික ලෙස එළවලු තොගද ලැබුණු අතර, නිසි මිලකට එළවලු අලෙවි කරගැනීමට නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවකට ද ලක්වුණා.

කෙසේ වෙතත් පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට අධික ලෙස එළවලු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාසයට සාපේක්ෂව එළවලු මිල ගණන් තුන් (3) ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

අද (14) වන විට පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ගෝවා කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 150 ත් 160 ත් අතර මිලකටයි.

වම්බටු කිලෝවක් රුපියල් 350 ත්, 400 ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 500 ත් 600 ත් අතර මිලකටත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400 කටත් අලෙවි කෙරෙන අතර, කරවිල කිලෝවක් රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වනවා.

අමු මිරිස් කිලෝවක මිල රුපියල් 300 ක් ලෙස දැක්වුණා.

ප්‍රමාණවත් ලෙස එළවලු තොග වෙළෙඳ පොළට නොලැබීම මෙම මිල ඉහළ යෑමට හේතු වි ඇති බවට වෙළෙදුන් පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ එළවලු තොග ලැබීම 40% පමණ පහළ ගොස් ඇති බවයි.

එළවලු වගාවන් බහුල වශයෙන් සිදුවන මධ්‍යම කඳුකරයේ එළවලු මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

හැටන් නගරයේ වෙළෙඳසැල් තුළ අද (14) තක්කාලි කිලෝවක් රුපියල් 400 කටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 250 කටත්, බෝංචි කිලෝවක් රුපියල් 480 කටත් අලෙවි කෙරුණා.

+


බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පුදුමයට පත් වේ

(14.05.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදලේ කොන්දේසි අනුව යමින්, බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පුදුමයට පත් වූ බව, වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේ දී බදු ප්‍රතිපත්තිය සහ තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් සාකච්ඡාවක නිරත වුණා.

එහිදී බදු ප්‍රතිපත්තිය සහ තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

+


රේගුවේ ප්‍රමාදයන් වැළැක්වීමට සියලු පියවර ගත් බව මුදල් රාජ්‍ය ඇමති පවසයි

(14.05.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

රේගුවේ සිදුවන ප්‍රමාද වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව රේගුව තුල තදබදයක් ඇති කිරීමට කටයුතු කළ බවයි.

වාප්පු නිලධාරින් සේවයට වාර්තා කිරීමේදී ඇති ප්‍රමාදයක් හේතුවෙන් රේගුවේ නිශ්කාශන කටයුතු වලට බලපෑම් එල්ල වී තිබුණා.

පසුගිය සතිය වන විට නිශ්කාෂනයට නියමිත බහාලුම් රැසක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ සහ ඉන් පිටත ගොඩගැසී තිබූ බවටයි වාර්තා වුණේ ෴


වාරියපොලදී තරුණයින් දෙදෙනා (2) මියයාමට හේතුව හෙළිවෙයි

(14.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

වාරියපොල – මිනුවන්ගැටේ – වල්පාළුව ප්‍රදේශයේ වතුර වලක තිබී පසුගියදා සොයා ගත් තරුණයන් දෙදෙනා (2) ජිවිතක්ෂයට පත්ව ඇත්තේ විදුලිසැර වැදීමෙන් බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ (13) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මේ බව අනාවරණය වී තිබුණා.

මෙම තරුණයින් දෙදෙනා (2) දින කිහිපයක සිට අතුරුදන්ව සිටි අතර පසුව ඔවුන්ගේ සිරුරු මෙලෙස වතුර වලක තිබූ බවටයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් මියයාමට හේතුව පැහැදිලි වී නොතිබුණ අතර පොලීසිය සඳහන් කළේ ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට ද හෙළි වී ඇති බවයි.

ඒ අනුව, එක් (1) සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴


TNA සාකච්ඡාවක් අතරතුර පහරදීමක්

(14.05.2023 – 15:35 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානයේ (TNA) දේශපාලනඥයින් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර ඊයේ (13) දෙපිරිසක් අතර ඇති වූ පහර දී ගැනීමකින් එක් (1) අයෙකු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පක්ෂ නායකයින් කීප දෙනෙකු ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවේ තොරතුරු සම්බන්ධයෙන් හා තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම රැස්වීම යාපනයේ මාර්ටින් පාරේ පිහිටි දෙමළ ජාතික සන්ධාන මුලස්ථානයේදී සංවිධානය කොට තිබුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ.

මෙහිදී සාකච්ඡාව අතරවාරයේ පැන නැගුණු ප්‍රශ්නයක් නිසා දෙපිරිසක් අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ආනෝල්ඩ් විසින් දෙමළ ජාතික සන්ධානයේම ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වූ ශිව සේනා සංවිධානයේ නායක එස්. චෙයමාරන් නැමැත්තාට පහර දී තිබෙනවා.

පහර කෑමෙන් පසුව තුවාල ලැබු ඔහු රෝහල් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බවයි සඳහන් ෴


රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ ණය

(14.05.2023 – 16:40 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එම ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දී ලබාදී ඇති බව සඳහන්.

එහි මුල් අදියර තුළ සියයට 6.5 ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් (1) හා මිලියන දෙකක් (2) බැගින් ණය මුදල් ප්‍රදානය කර තිබෙනවා.

කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා ෴


ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් තුනෙන් එකකට (1/3) උදෑසන ආහාරය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි

(14.05.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක (1/3) ප්‍රමාණයක් එනම් දා හතර ලක්ෂයකට (14,00,000) උදෑසන ආහාරය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

එම දරුවන් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කර සිටිනවා.

උදෑසන ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය මෙන් ම ශරීරයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක් (1/5) මන්දපෝෂණයෙන් පෙළෙන බවත් රටේ පවතින නරක ආර්ථික තත්වය දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමටද ප්‍රධාන හේතුවක්වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

පවතින ආර්ථිකය අභිමුව දෙමාපියන්ට දරුවන් සඳහා පෝෂණ ගුණයෙන් පිරි ආහාර වට්ටෝරුවක් ලබා දීමට ප්‍රමාණවත් තරනේ ආර්ථික ශක්තියක් නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴


‍යාපනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් හසු වේ

(14.05.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් අට (8) දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් ඊයේ(13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කල්ලි සාමාජිකයින් විසින්ම තනාගත් කඩු, කිණිසි වැනි තියුණු ආයුධ තොගයක් සමගම මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය මීට දින කීපයකට ඉහතදී වයස අවුරුදු 56 ක පුද්ගලයෙකුගෙන් කප්පම් ඉල්ලා එය ලබා නොදුන් අවස්ථාවේදී ඔහුට කඩුවකින් කොටා තුවාල සිදු කොට ඔහුව බිය ගන්වා තිබෙන බවත් විමර්ශනවලදී හෙලි වී ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඊයේ (13) ඉදිරිපත්කළ බවයි පොලිසිය පැවසුවේ ෴


බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කෙරේ

(14.05.2023 – 17:41 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර තිබෙන බව සඳහන්.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අවශ්‍ය පරිදි බදුල්ල රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


බලපත්‍ර නොමැතිව වැලි කැනීම් හා ප්‍රවාහනය කළ දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(14.05.2023 – 18:11 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේ දී ඊයේ (13) උදෑසන නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකරුවෙකු ඔහු ධාවනයකළ ටිපර් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍ය බලකා කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු වයස අවුරුදු 23 ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු හා ටිපර් රථය වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

එමෙන්ම ඊයේ (13) දිනයේදී ම ආලංකුලම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව වැලි කැණීම් කර ටිපර් රථයකට පටවමින් සිටි සැකකරුවෙකු ද එම ටිපර් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍ය බලකා වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට සැකකරු වයස අවුරුදු 26 ක් වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිසිය වෙත භාර දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *