දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට

දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට


දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට

(14.05.2023 – 06:56 +0530 – hirunews.lk/sinhala)

බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) දින රාත්‍රී 7 ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තුන් (3) දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුද්ගලයින් තුන් (3) දෙනෙකු ඊයේ (13) රාත්‍රී බෝලවත්ත දුම්රිය ස්ථානය තුළ ඇති ආසන වල වාඩිවී මත්පැන් පානය කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කිරීමට නොහැකි බව පවසා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එම පුද්ගලයින් තිදෙනා (3) මන්නා පිහියක් සහ රීප්ප පටියක් ද රැගෙන පැමිණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී දුම්රිය ස්ථානයටද අලාභ හානි කර පිටව ගොස් තිඛෙනවා.

පහර කෑමට ලක්වූ පිරිස විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු සහ මිරිස්සන්න්තොටුව පදිංචි 45 හැවිරිදි පුද්ගලයක්.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා ෴


නාඳුනන මෘත දේහ දෙකක් (2) ප්‍රදේශ දෙකකින් (2) හමුවේ

(14.05.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

වීරගුල පොලිස් වසමේ මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (13) දින 119 දුරකථන මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වීරගුල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇයගේ වයස අවුරුදු 60 ක්.

මරණකාරිය උස අඩි 05 අඟල් 04 ක් පමණ කාන්තාවක් වන අතර රතු සහ කොළ මිශ්‍ර ගවුමක් හැඳ සිටි අයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+

එමෙන්ම හොරණ පොලිස් වසමේ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට අද (14) දින හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත හොරණ පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 70 ක් පමණ වු උස අඩි 05 අඟල් 04 ක් පමණ පුද්ගලයෙක්.

උඩුකය නිරුවත්ව හා යටි කයට දුර්වර්ණ වූ සරමක් හැඳ සිට ඇති අතර මෘත දේහය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) දින සිදුකිරිමට නියමිතයි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


විෂ පොල්තෙල් යළි දේශීය වෙළඳපොළේ?

(14.05.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

විෂ සහිත ආනයනික පොල්තෙල් මෙරට දේශීය පොල්තෙල් සන්නාමය යටතේ අලෙවි වන බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ඊයේ (13) කුරුණෑගල දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ පසුගියදා කැකිරාවේ දී හමුවූ ආනයනික විෂ සහිත පොල්තෙල් වරායෙන් පිට වූ ආකාරය ගැටලු සහගත බවයි.

+


පිටබැද්දර නගරයේ වෙළෙඳසැල් 02 ක් ගිනි ගනී

(14.05.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

පිටබැද්දර නගරයේ අද (14) අළුයම 01 ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අළුයම 03 පමණ වන විට ප්‍රදේශවාසීන් මාතර ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව සාර්ථකව මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ,

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර රුපියල් කෝටියකට (1,00,00,000) වැඩි පාඩුවක් ද සිදුව නොමැති බව වාර්තා වනවා.

ගින්නට හේතුව විදුලි කන්දුවක් බවයි පොලීසිය සැක පළ කරන්නේ ෴


බදුල්ලේ රිය අනතුරකින් 11 දෙනෙකුට තුවාල

(14.05.2023 – 08:34 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ නිල්බෝවිල – කළුපාලම අසළදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (14) අලුයම 03:40 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කාන්තාවන් අටදෙනෙකු (8) සහ පිරිමින් තුන්දෙනෙකු (3) තුවාල ලැබූ පිරිස අතර සිටින බව සඳහන්.

රියදුරුට නින්ද යෑමෙන් වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහරකට සහභාගිවී යළි පැමිණෙමින් සිටි නැටුම් කණ්ඩායමක්.

+


පුත්තලමේ මාරක රිය අනතුරක්

(14.05.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 116 කණුව ආසන්නයේ දී ඊයේ (13) දින පුත්තලම දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු මං තීරුවට ධාවනය වීමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක් වූ ද්විත්ව කාර් රථය ද මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු හා මෝටර් රථයේ රියදුරු ඇතුළුව එහි ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු (4) පුත්තලම රෝහලට ඇතුලත් කිරීමේ දී යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 33 ක් වූ උඩකඩවල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙක්.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


ප්‍රංශයේ දී පැනගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගැන ජාත්‍යන්තර පොලිසියට පැමිණිල්ලක්

(14.05.2023 – 09:54 +0530 – hirunews.lk/sinhala)

‘ප්‍රංශයේ ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලිය’ට ගොස් පලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත්දෙනා (7) සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළ බව යුද හමුදාව පවසනවා.

එමෙන්ම ප්‍රංශ බලධාරීන් විසින් ද ජාත්‍යන්තර පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තාවන්නේ.

24 වන ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකුයි (7) මෙලෙස තරගාවලිය අතරතුර පලාගොස් තිබුණේ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකු පිටත්ව ගොස් තිබුණේ පසුගිය හතරවනදායි.

එම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාවේ පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්, කාන්තාවන් 5 දෙනෙක් සහ නිලධාරීන් 3 දෙනෙක් ඇතුළත් වුණා ෴

ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලියට ගොස් පලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත්දෙනා (7) සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළ බව යුද හමුදාව පවසනවා.

එමෙන්ම ප්‍රංශ බලධාරීන් විසින් ද ජාත්‍යන්තර පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ ෴


පිස්තෝලයක් ඉනේ සඟවාගත් පුද්ගල‍යෙක් අත්අඩංගුවට

(14.05.2023 – 10:42 +0530 – hirunews.lk/sinhala)

පිස්තෝලයක් ඉනේ සඟවාගෙන බාබර් සාප්පුවක් ඇතුළත සිටී කුරුණෑගල පළාත් සභාවේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍ර නිලධාරියෙකු හෙට්ටිපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ජූනි මස වකුගඩු සහ මහජන ආධාර ලබා දීමේ වැඩසටහන අවසන්

(14.05.2023 – 10:58 +0530 – hirunews.lk/sinhala)

2026 වසරේ ජූනි මස 30 වනදා සිට සමෘද්ධි වකුගඩු සහ මහජන ආධාර ලබා දීමේ වැඩසටහන අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ලබන ජූලි මස 01 වන දින සිට ‘අස්වැසුම’ නමින් සමාජ සුභසාධක ප්‍රතිලාභ ගෙවිම වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඉන් පවුල් ලක්ෂ විස්සකට (20) ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් 2026 වසරේ ජූනි මස 30 වැනිදා දින සිට සමෘද්දි ඇතුළු මහජන ආධාර ලබා දීම අවසන් කිරීමට නියමිතයි.

මෙතෙක් සමෘද්ධි බැංකු මගින් ගෙවන ලද මුදල් ආධාර ඉදිරියේ දී ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ගෙවීමට නියමිතව තිබෙනවා ෴


බෙන්තොට – සිංහරූපාගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන්

(14.05.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට, සිංහරූපාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 යි මාස 2 ක් වන පාසල් සිසුවියක් අතුරුදන්ව තිබෙනවා.

ඇයගේ මව බෙන්තොට පොලිසියට ඊයේ (13) පැමිණිලි කර ඇත්තේ සිය දියණිය සංචාරක හෝටලයක රැකියාවක නිරත තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය 10 වනදා සිය දියණියට අවවාද කළ බවද ඇයගේ මව විසින් පොලීසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව තමන්ට අසනීප යැයි පවසා දින 2 ක් එම සිසුවිය පාසල්ද ගොස් නොතිබුණු බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) දින දහවල් තමන් සෙසු දරුවන් දෙදෙනා (2) පාසලෙන් රැගෙන ඒමට නිවසින් පිටව ගොස් යළි පැමිණිමේ දී සිය දියණිය නොසිටි බවයි මව විසින් පොලිසියට පවසා ඇත්තේ.

තමන් තරුණයෙකු සමඟ බසයකට නැග අතුරුවැල්ලෙන් බසයෙන් බැස ගිය බව එම සිසුවිය විසින් ඇගේ මිතුරියක් වෙත දුරකථන ඇමතුමක් ලබා දී දැනුම් දී ඇති බවද මව පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති එම පාසල් සිසුවිය සහ මීගමුව බටහිර ඇල ඉවුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා සොයා බෙන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


නෙළුව – දෙල්ලව- මියනවතුර ප්‍රදේශයේ ළමයින් සිවුදෙනෙකු (4) අතුරුදන්

(14.05.2023 – 12:01 +0530 – hirunews.lk/sinhala)

නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු (4) ඊයේ (13) රාත්‍රි සිට අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් (4) දෙනෙක්.

මෙම ළමයින්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටිය දී ඊයේ (13) රාත්‍රියේ සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබෙනවා.

අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර නෙළුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ ෴

නෙලුව – දෙල්ලව ප්‍රදේශයේ සහෝදරයන් 4 දෙනෙකු සිය මව සමග ඇති වූ අමනාපයක් හේතුවෙන් නිවසින් පිටවී ප්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් සිටීමේ පුවතක් වාර්තා වෙනවා.

අදාළ දරුවන්ගේ මව විසින් ඔවුන් නිවසේ සිට නොමැති බවට 119 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුවයි, නෙලුව පොලීසිය විසින් දරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ.

සිය මව සමග ඇති වූ අමනාපකමක් හේතුවෙන් එම ප්‍රදේශයේම අසල නිවසකට ගොස් රැදී සිටිය දී එම දරුවන් හතර (4) දෙනා පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර නැවත ඔවුන් මව්පියන් වෙත භාරදී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *