ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක්

ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක්


ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60 ක්

(13.05.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී සඳහන් කළේ කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට, කුරුඳුවත්ත, කොටුව හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති නිසා එම තත්ත්වය පාලනට කණ්ඩායම් 60 ක් යොදවා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දින දෙකකට (2) වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන ලෙසයි.

කොළඹ නගරයේ පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් හමු වී ඇති අතර ඊට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන අප කළ විමසීමක දී සඳහන් කළා.

මේ වසරේ ගත වූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 32,600 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක් බවයි එහි විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි ප්‍රකාශ කළේ.

ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි වාර්තා වන්නේ ෴

++++++++++

සතිපතා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළට

(13.05.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 2,000 කට ආසන්න වී තිබෙනවා.

වසරේ ගතවූ මාස කිහිපය තුළ 15,000 කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද (13) ආරම්භ වුණා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසර ආරම්භයේ සිට අද (13) දිනය දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 32,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

සතිපතා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති අතර මේ වසරේ 12 වන සතියේ වාර්තා වූ රෝගීන් ගණන 1,661 ක්.

13 වන සතියේ 1,461 ක්, 14 වන සතියේ 1,801 ක්, 15 වන සතියේ 1,584 ක් සහ 16 වන සතියේ 1,909 ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබුණා.

17 වන සතියේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය 1,896 ක්.

18 වන සතිය වනවිට රෝගීන් ප්‍රමාණය 1,954 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 2,000 කට ආසන්න වී තිබෙනවා.

මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ඉතා දැඩි සෞඛ්‍ය පියවර අනුගමනය කිරීම අවශ්‍ය බව පැහැදිලියි.

වසරේ ගතවූ මාස කිහිපය තුළ 15,000 කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වීමත් සමඟ බස්නාහිර පළාතේ පොලිස් වසම් 124 ක ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බස්නාහිර පළාත් පාරිසරික කොට්ඨාසය ඒකාබද්ධවයි.

මිරිහාන පොලිස් වසමේ ඩෙංගු මර්දන වැඩසටහන අද (03) ක්‍රියාත්මක කෙරුණා.

ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සලසන අයුරින් ගෙවතු පවත්වාගෙන යන නිවෙස් පරීක්ෂා කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඊට සහාය ලබාදෙනවා.

මේ අතර ඩෙංගු උවදුරින් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴

++++++++++

පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගන්න – අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

(13.05.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

පාසල් නිවාඩු කාලය තුලදී පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට දෙමාපියන් සහ පාසල් සංවර්ධන සමිති එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේදී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එමගින් ඩෙංගු අවදානමෙන් දරුවන් බේරා ගත හැකි බවයි ෴


පොළොන්නරුව රෝහල අවට රථ වාහනවලින් මුදල් ගරන මාෆියාවක්

(13.05.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව රෝහල අවට ප්‍රදේශයේ ගාල් කරන රථවාහන වලින් අත්තනෝමතික ලෙස මුදල් ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මීට පෙර පොළොන්නරුව මහනගර සභාව විසින් එය සිදුකළත් මෑතක සිට පෞද්ගලික ආයතනයක් රථ ගාල් භාරව කටයුතු කරන බව සඳහන්.

රථගාලට බැහැර ප්‍රදේශවල ගාල් කරන වාහන වලින් ද මෙම පිරිස් මුදල් අය කරන බවටයි චෝදනා එල්ල වන්නේ.

ඊයේ (12) එවැනි අවස්ථාවක එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු මුදල් එකතු කරන අයෙකු අතර, උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ අනුව, එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු සහ පිරිස අතර ද උණුසුම් සංවාදයක් මතුවුණා.

ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු කියා සිටියේ අත්තනෝමතික ලෙස රථ ගාලෙන් බාහිර ප්‍රදේශයේදී ද ඔවුන් වාහන ගාල් කිරීමේදී මුදල් අය කරන බවයි.

මේ පිළිබඳව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ද දැඩි චෝදනා එල්ල කරනවා ෴


බෝලවත්ත දුම්රිය ස්ථානයට මැර ප්‍රහාරයක්

(13.05.2023 – 20:28 +0530 – hirunews.lk/sinhala)

බෝලවත්ත දුම්රිය ස්ථානයේ අද (13) දින රාත්‍රී 07:00 ට පමණ කිසියම් කණ්ඩායමක් දුම්රිය වේදිකාව මත මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.

එම කණ්ඩායමට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට කල දැනුවත් කිරීමට කෝප වූ පිරිස බෝලවත්ත දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලයට පහර දී තිබෙනවා.

දුම්රිය ස්ථානයට ජනේලවලට පහර දී අලභහානී කොට එම දුම්රිය ස්ථානයේ සේවයේ යෙදී සිටි දුම්රිය ස්ථානාධිපතිතුමා සහ කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට (3) මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා සිටි හා පහර කෑමට ලක්වු සිව් (4) දෙනා මේ වන විට 1990 සුවසැරිය හරහා රෝහල් ගත කොට ඇති අතර, දුම්රිය ස්ථානයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම මේ දක්වා සිදුව නොමැත ෴


සිමෙන්ති මිල සිමෙන්ති මිල පහළට

(13.05.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති මිල අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කර තිබෙනවා.

එහිදී කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රු. 2,750 සිට 2,600 දක්වා මිල රුපියල් 150 කින් අඩුවන බව අදාල සමාගම් පවසනවා ෴


කඳවුරු බඳින්නන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක්

(13.05.2023 – 23:07 +0530 – hirunews.lk/sinhala)

සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථාන වලට පමණක් යොමු වන ලෙසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරන්නේ සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය ද ලබාගත යුතු බවයි.

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කුඩාරමක රාත්‍රිය ගත කළ තරුණ යුවලකට එල්ල වූ වනඅලි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි.

එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි අතර ඉන් සංචාරකයින්ට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ෴


වනඅලි ප්‍රහාරය ගැන තරුණයා කතා කරයි

(13.05.2023 – 21:40 +0530 – sinhala.adaderana.lk)

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ සිද්ධියට මුහුණදුන් තරුණයා පවසන්නේ, තමන්ට කඳවුරු බැඳීම සඳහා මඟපෙන්වු පුද්ගලයා එම ස්ථානය අලිමංකඩක් බවට නොපැවසු බවය.

තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන 22 හැවිරිදි ධනුෂ්ක මධුෂාන් තමා මුහුණ සිද්ධිය සම්බන්ධයෙන් අද (13) මාධ්‍යයට අදහස් පළකළේය.

“බයික් දාපූ සැනින්.. කොල්ලෙක් ආවා දුවගෙන ගයිඩ් විදිහට. අපිව පහළට එක්කගෙන ගියා. ටිකක් පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එයාම සුද්ද කළේ කිව්වා. එතන ටෙන්ට් එක ගහන්න කිව්වා.”

” ‘උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න; ඔය හරහා එන්නේ නැහැ’ කිව්වා. අපි නූඩ්ලිස් උයලා කෑවා. කාලා එහෙම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට සද්ද ඇහුණා.. අපිත් එක්ක බල්ලෙක් හිටියා. බල්ලත් එක්ක ඔට්ටු වෙනවා ඇහුණා. මම හිතුවේ වල්ඌරෙක් කියලා.”

“අලි සද්දයක්වත් ඇහුණේ නැහැ මට. බල්ලා එක්ක ඔට්ටු වෙලා ටෙන්ට් එකේ වැදුණා. ටෙන්ට් එකේ වැදුණත් එක්කම අලියා විසිවුණා. ඊට පස්සේ ආයේ ටෙන්ට් එකට කඩාගෙන ආවා. ටෙන්ට් එක ඉරුනා. එහෙම්මම මම ටෙන්ට් එක ඈත් කළා. හරි ගියේ නැහැ.”

“අලියා වටේම කැරකෙන්න ගත්තා. මට මොනවා වුණත් කමක් නැහැ එයාට මුකුත් වෙන්න එපා කියලා, මම එයාව බදාගෙන එයාගේ ඇඟ උඩට ආවා. තේරුණා.. අලියා පාගනවා මාව. මම සද්ද නැතුව එහෙමම හිටියා. ‘බය වෙන්න එපා’ කියලා එයාට කිව්වා. කකුල අහුවෙලා තිබුණා එයාගේ. එයා පැය 4 ක් විතර මාත් එක්ක හොඳට හිටියා. මගෙන් වෙන මුකුත් ඇහුවේ නැහැ. ‘ඇවිදින්න කකුල හදාගන්න පුළුවන් වෙයි නේද’ කියලා ඇහුවා. ඇතුළෙන් ලේ ගිහින් මොනවා හරි වෙලා තිබිලා. පැය 4 ක් ඉඳලා එයාට කලන්තේ කිව්වා. මගෙන් වතුර ඉල්ලුවා. මටත් නැඟිටින්න බැහැ අමාරුයි. මම කොහොමහරි බෑග් එක ඇරලා එයාට වතුර දුන්නා. එයා එහෙමම ඇල වුණා. කලන්තෙ කිව්ව නිසා මම හිතුවා කලන්තෙට එයාට නින්ද යන්න ඇති කියලා. මටත් චුට්ටක් නින්ද ගියා. 1990 ට කෝල්කරන්න ඔලුවට ආවේ නැහැ. මම කෝල් කළා යාලුවට. කෝල් එක ගන්න යන්න කලින් ටිකක් එළිය තිබුණා. මම එයාව බැලුවා. එයා කතා කළේ නැහැ. මම නාඩි බැලුවා. නාඩි වැටෙන්නේ ‍නැහැ. එයාගේ ඇස් දෙක යට කළුවෙලා. එතකොට තමයි දැනගත්තේ එයා මගේ ළඟ නැහැ කියලා.”

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ තිබූ තරුණ යුවළක් වනඅලි ප්‍රහාරයකට ලක්වුණේ පෙරේදා (11) රාත්‍රියේදීය.

ඔවුන් අලිමංකඩ හරහා කූඩාරම සකසා තිබූ අතර ඒ හරහා ගමන් ගත් අලියෙකු ප්‍රහාරය එල්ල කර තිබුණි.

ප්‍රහාරයෙන් තරුණිය ජීවිතක්ෂයට පත්විය.

ඇය මාතර, කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නම් 23 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණියගේ දේහය අද (13) ඇයගේ නිවසට රැගෙනවිත් තිබුණි.

https://www.youtube.com/watch?v=ocLoS35cSJY

+


බදු ගැන හෙළිදරව්වක්

(13.05.2023 – 20:00 +0530 – sinhala.adaderana.lk)

හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීය.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා :

“මුළු හිඟ බදු හා දඩ ආදායම්, පොලී කියන මේ ඔක්කොගේම එකතුව 2022.12.31 රුපියල් බිලියන 904 ක්. දැන් අපි ඉන්නේ 2023 යි මාස 5 ක් ගතවෙලා. මේ අය කරගත හැකි ආදායමේ ප්‍රගතිය කරුණාකරලා වාර්තා කරන්න.”

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා,

“හිඟ බදු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවාද ? නැද්ද ?”

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා,

“ප්‍රශ්නයක් තියෙනවා. මේ නවසීය ගාණට අදාල ඔක්කොම බදු ගෙවන්නන් උසාවි අරගෙන යනන් බැහැ අපිට . අරගෙන යන්න වෙන්නේ ‘කන්ෆර්ම් ටැක්සස්’. ‘ඇපීල්’ තියෙන ටික අපිට අරගෙන යන්න බැහැ. අපේ නිලධාරී හිඟයක් තියෙනවා. එක නිලධාරියෙකුට වැඩ කරන්න විශාල ෆයිල් ප්‍රමාණයක් තියෙනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *