දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට

දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට


දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි : තරුණිය මරුට තරුණයා රෝහලට

(12.05.2023 – lankadeepa.lk)

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද (12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල පදිංචි කේ.ඒ. ධනුෂ්ක (22) තරුණයෙකි.

මොවුහු කොස්ලන්ද උඩ දියලුම සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු බැඳගෙන සිටී බව පොලීසිය කියයි.

තරුණියට පහර දුන් වන අලියා එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය කියයි.

පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ. කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.

++++++++++

පෙම් යුවළක් මරණය සොයා දියලුමට ගිය ගමන

(12.05.2023 – lankadeepa.lk)

“අපි කුඩාරමක් ගහගෙන හිටියා. රෑ 10:30 ට විතර අලියා ආවා. අපි ලඟට අලියා එන එකක් නැතිවෙයි කියලා අපි කූඩාරම ඇතුලේ ගුලිවෙලා හිටියේ. එතකොටම වගේ අලියා ඇවිත් අපි හිටපු කූඩාරම පෑගුවා” යැයි මියගිය එච්.තරුෂි කවීෂා තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් කලුආරච්චි කියා සිටියේය.

දියලුම දිය ඇල්ල අසල කූඩාරමක් ගසාගෙන සිටියදි වල් අලි ප්‍රහාරයකින් මියගි තරුෂි කවීෂාගේ මරණය සම්න්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී පෙම්වත වන ධනුෂ්ක එසේ පැවැසීය.

කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩ දියලුමේ ඊයේ (11) මෙම සිද්ධියට මුහුණ දුන් පෙම්වතා අලි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි. හල්දුම්මුල්ල හදිසි මරණ පරික්ෂක ඒ.ආර්. රත්නවීර මහතා ඉදිරියේ හදිසි මරණ පරික්ෂණ පැවැත්විණි.

එහිදි සාක්කි දුන් ධනුෂ්ක මධුෂාන් මෙසේ ද කීය.

“අපි හිටපු තැන ෆෝන්වලට හරියට සිග්නල් නෑ . මම ගොඩාක්වෙලා උත්සහ කළා යාලුවකුට ඇමැතුමක් ගන්න. ඒ අයගෙන් ප්‍රතිචාරයක් තිබුනේ නෑ. මම බඩගාගෙන බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 05:30 ට විතර 1990 ට යි යාලුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අපිව හොයාගෙන ආවේ.

අපි බැඳලා නෑ. යාලුවෙලා හිටියේ. එයා මාතර. කුරුණෑගල නර්සින් හෝම් එකේ ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉඳලා ඊයේ (11) පාන්දර ආවේ. ඒ ආවේ හපුතලේට. ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාලුවෙකුගේ ගෙදර ගියා. ඊට පස්සේ එයත් එක්ක උඩ දියලුම යන්න ආවා. හපුතලෙන් පිටත්වුණේ හවස තුනට (3) විතර. උඩ දියලුමට එනකොට හවස 05:30 ට විතර ඇති. මගදි මඟ පෙන්වන්න තරුණයකු සම්බන්ධකර ගත්තා. එයා අපිව උඩ දියලුමට එක්කගෙන ආවා. ගාස්තුව විදිහට රුපියල් 1000 ක් මම දුන්නා. ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමිටර් දෙක හමාරක් (2½) විතර ආවා. අපි උඩ දියලුමේ එළි පෙහෙලි කරලා තිබුණ තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා එයාලට යන්න කිව්වා.

10:30 ට විතර අලියා ආවා. අපි සද්ද නැතුව කූඩාරම ඇතුලට වෙලා ගුලිවෙලා හිටියා. අපි හිතුවේ නෑ අලියා එයි කියලා. එක පාරම ඇවිත් කූඩාරම පෑගුවා. එහෙම පාගලා අලියා ගියා. අරයාගෙ බඩයි පපුවයි පාගලා තිබුණා. මගේ වම් අත පැත්ත පොඩිවෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුවා අමාරුවෙන් කතාකරකර හිටියා. වම්කකුල කැඩිලා තිබුණේ ඒක සනීප කරගන්න පුලුවන් වෙයි නේද කියලත් ඇහුවා. මම යාලුවන්ට කතාකරන්න සෑහෙන්න උත්සහ කළා. නමුත් බැරිවුනා. 11:59 ට විතර අලි එනවා කියන කොටම කට්වුනා. ඒ ඇවිල්ලා බලනකොට එයා නැතිවෙලා. ඒ වොලවේ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකට බඩගාගෙන ගිහින් කොල් ගත්තා කවුරුවත් සම්බන්ධ කරගන්න බැරිවුනා. පාන්දර තමයි අයෙත් කතාකරගන්න පුලුවන් වුණේ. උදේ හයයි තිහට (06:30) විතර ගමේ අයයි 1990 අයයි ඇවිල්ලා මාව රෝහලට අරගෙන ගියා.

මෙම මරණයට අදාල පශ්චාත් මරණ පරික්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතා විසින් සිදුකරන ලදි. වන අලි ප්‍රහාරය හේතුවෙන් පපුවට හා උදරයට සිදුවු බහුවිද තුවාල හේතවෙන් සිදුවූ හදිසි මරණයක් බවට ඒ මහතා නිගමනය කළේය. සාක්ෂි සටහන් කර ගැනිම කොස්ලන්ද පොලිස්ථානයේ සැරයන් කේ.එස්. විපුලසිරි (51428) මහතා සිදු කළේය ෴


දෙදරු පියාගේ අත පය වෙන් වෙන් කපයි

(12.05.2023 – lankadeepa.lk)

හංවැල්ල කහහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් විසිපස් හැවිරිදි දෙදරු පියකුට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දෑත් සහ පාදයක් සිරුරෙන් වෙන් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ හංවැල්ල කහහේන අජිත් පෙරේරා මාවතේ පදිංචි 25 හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා අද සවස නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී තියුණු ආයුධයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඔහුගේ සිරුරේ ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් බේරීම සදහා උත්සාහ කිරීමේදී ඔහුගේ දෙයක් සහ දෙපාවලට වැදී ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් ඔහුගේ දකුණු පාදය සිරුරෙන් වෙන් වී ඇති අතර දෑත් ද වෙන් වී හමෙන් එල්ලී තිබූ බවත් සිරුරේ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට තිබූ බව පැවසේ.

සිද්ධිය තුවාලකරුගේ නිවසට යාබදව මාර්ගයේ සිදුව තිබූ අතර පහර දීම ආරම්භයත් සමඟ ඒ බව දැනගත් තුවාලකරුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

ඒ සමග සිරුරෙන් වෙන්ව තිබූ පාදයෙ කොටසද රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග පවසයි ෴


යන්නැයි කිව්වත් නොයන ආණ්ඩුකාරවරුන්ට එරෙහිව ‘කෙවිට’ ගනී

(12.05.2023 – lankadeepa.lk)

ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි.

ඊට අමතරව මෙම ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට ඉවත් කිරීම, වෙනත් පුද්ගලයින් ආණ්ඩුකාර ධූරයන්ට පත් කිරීම සහ ඉවත්වන්නැයි දැනුම් දෙන ලද ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

ඉවත්වන ලෙස දැනුම් දෙන ලද අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වීමට සූදානමක් නැතැයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාලව ගත යුතු පියවර මෙසේ සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර, උතුර, සබරගමුව හා වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබිණි ෴


කළුතර දැරියට අන්තිම කෝල් එක 19 හැවිරිදි යෙහෙළියගෙන්

(13.05.2023 – divaina.lk)

කළුතරදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අවසන්වරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ ඇය එම හෝටලය වෙත කැඳවාගෙන ගිය 19 හැවිරිදි යෙහෙළිය විසින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කෝපයටත් කලබලයටත් පත්වූ ශිෂ්‍යාව හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසයි.

19 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඇය නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ තැනැත්තියක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

19 හැවිරිදි තරුණිය ඇගේ පෙම්වතා සමග එක්ව විහාරා නමැති මෙම 16 හැවිරිදි දැරිය හෝටලය වෙත කැඳවාගෙන ගොස් තිබිණි.

එහිදී මොවුන් දෙදෙනා දැරිය 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වෙත භාරදී පසුව හෝටලයෙන් පිටව ගොස් තිබූ බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

පොලිසිය සැක පහල කරන්නේ විහාරා දැරිය අමාරුවේ දමා ඇත්තේ මෙම යුවළ විසින් බවයි.

විහාරාගේ ජංගම දුරකථනයට අවසන්වරට ඇමතුම ලබාදුන් අවස්ථාවේ ඇය “තෝ මාව කෑවා මාව මරාගත්තානම් මීට වැඩිය හොඳයි, මාව ‘බ්ලැක් මේල්’ කරන්න එපා” යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ 19 හැවිරිදි සිය යෙහෙළියට බවට පොලිසිය විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින 19 හැවිරිදි තරුණියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර සිටියි.

මෙහිදී මියගිය දැරියත් 19 හැවිරිදි යෙහෙළියත් අතර සිදුවූ දුරකථන සංවාදය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් මෙම ඇමතුම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසයි ෴

+++++++++

සිසුවිය රැඳීසිටි කළුතර ලැගුම්හල පිළිබඳ වාර්තාවක්

(12.05.2023 – 17:50 +0530 – sinhala.adaderana.lk)

පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියට සම්බන්ධ කළුතර නගර මධ්‍යයේ පිහිටා ඇති 5-මහල් ලැගුම්හල පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබේ.

ඒ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසිනි.

අදාළ පරීක්ෂණ වාර්තාව අනුව හෙළිවී ඇත්තේ මෙම ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් වශයෙන් හඳුනාගත හැකි බවත් එහි රෙගුලාසි කිහිපයක්ම උල්ලංගනය කර තිබෙන අයුරු නිරීක්ෂණය වූ බවත්ය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *