වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි

වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි


වාරියපොළින් තරුණයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවෙයි

(12.05.2023 – 15:48 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ තරුණ‍යින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමු වී තිබෙනවා.

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතලක තිබී මෙම සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා (2) පෙරේදා (10) සිට අතුරුදන්ව සිට ඇති බවයි.

වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ ෴

+


ගම්පොළ අතුරුදන් වූ මුස්ලිම් තරුණිය ඝාතනය කරයි?

(12.05.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල ප්‍රදේශයේ පසුගිය ඉරිදා (07) සිට අතුරුදහන් වී සිටි තරුණිය ඝාතනය කර තිබෙන බවට සැකකරු පාපොච්චාරනය කර තිබෙනවා.

අතුරුදන්ව සිටි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක මෙම මුස්ලිම් තරුණිය සේවා ස්ථානයට ගමන් කරමින් සිටිය දී එළුවන් බැලීමට යන පුද්ගලයෙකු ඇයට බලහත්කාරකමක් කිරීමට උත්සහ කිරීමේදී ඇය දිහින් දිහටම කල ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ඇය කැළෑ ප්‍රදේශයකට ඇදගෙන ගොස් ඝාතනය කර වළ දැමූ බවයි සැකකරු පාපොච්චාරණය කරන්නේ.

සිරුර වළ දැමූ බවට සැකකරු පාපොච්චාරණය කළ ද සිරුර මෙතෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඇය ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන අතර ස්ථානයට බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2 ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

නිවසේ සිට මීටර් 100 ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබුණ ද ඉන් තවත් මීටර් 50 ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ තරුණිය මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති බව සඳහන් ෴

+

+


කිරිපිටි මිළ පහළට

(12.05.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල ලබන සඳුදා (15) සිට රුපියල් 200 කින් අඩු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර, මහ බැංකුව අද (12) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.03 ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන් වුණේ 306.38 ක් ලෙසයි.

ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 322.70 ක් ලෙස සටහන් වුණා ෴


පාසල් නිවාඩුව නිවේදනය කෙරේ

(12.05.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

මැයි 27- ජුනි 12 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇත්තේ මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා ෴


මෙරට හෙද හෙදියන්ට සිංගප්පූරු රජයේ රොහල්වල දොරටු ඇරෙයි

(12.05.2023 – 17:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේ වන විට හිමි වී තිබෙනවා.

ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ටද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රැකියා ලැබූ පළමු (1) කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතු බවයි එහිදී සඳහන් කළේ.

ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක (2) ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුන හමාර (3½) සහ ලක්ෂ පහ (5) අතර ආසන්න වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් (1) වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000 ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් හිමිවන බවද බඳවා ගැනීම් සිදුකරන ආයතනය වැඩිදුරටත් සඳහන් කළා ෴


රත්‍රං මිල පහළට

(12.05.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

රත්‍රං මිල අද දිනයේදීත් (12) පහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ්‍රමනියම් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000 කින් සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 කින් අද (12) දිනයේ අඩු වී ඇති බවයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද (12) සටහන් වුණේ රුපියල් 1,57,125 ක් ලෙසින්. එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 1,72,500 ක් ලෙසයි ෴


කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(12.05.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව, කිලිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (11) සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අදාළ පුද්ගලයා යතුරු පැදිය භාවිතයෙන් එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ සැකකාර පුද්ගලයා වයස අවුරුදු 35 ක් වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවක්.

එම සැකකරු, කේරළ ගංජා සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත භාරදී තිබෙනවා ෴


පළාත් කිහිපයකට නායයෑම් අනතුරු අඟවයි

(12.05.2023 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණය අභිමුව දිවයිනේ පළාත් කිහිපයකට නාය යෑමේ අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනේ නාය යෑම් හමුවේ සිදුවෙන අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන් ම ‘මෝඛා’ සුළි කුණාටුවේ බලපෑම තව දුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ෴


රජය සමෘද්ධියේ ඉතුරුම්වලට අත නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි

(12.05.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala)

රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිදු විටෙක අත නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (12) ප්‍රකාශ කළා.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයේදී අමාත්‍යතුමන් මේ පිළිබඳ ප්‍රකාශ කළ අතර සමෘද්ධි බැංකු ඈවර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙම පනත හරහා සිදු කෙරෙණුයේ සමෘද්ධියේ විනිවිදභාවය ඇති කිරීම බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.

එමෙන් ම සමෘද්ධි ලයිස්තුව යාවත්කාලීන කිරීම මෙහි අරමුණ බවත් සමෘද්ධිය ප්‍රතිලාභ බෙදා හැරීමට පමණක් ඇති ආයතනයක් නොවන බවත් ජනතාව සවිබලගැන්වීම එහි ප්‍රධාන අරමුණ බවයි අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ ෴


අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ගැටලුවක්

(12.05.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

වාට්ටුව තුල තිබෙන ඇදන් ප්‍රමාණවත් නොවීම සහ ඖෂධ හිඟය හේතුවෙන් එය තවත් උග්‍ර වී ඇති බව සඳහන්.

එසේම, පිලිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වීමත් සමග රෝහලට පැමිණෙන රෝගීන්ගෙන් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් නොමිලේ සංවිධාන කර තිබූ වකුගඩු වෛද්‍ය සායනයකට ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යවරයා එරෙහි වීමත් සමග අද (12) එම සායනය එහි පවත්වා තිබුණේ නැහැ.

කෙසේ වෙතත් කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ සෞඛ්‍ය නිලධාරින්ගෙන් අවසර ලබා නොගැනීම හේතුවෙන් මෙම වැඩසටහන පැවැත්වීමට අවසර නොදුන් බවයි.

+


හැටන් නානුඔය අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතී

(12.05.2023 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ග්‍රේට්වෙස්ටන් ආසන්නයේ දුම්රිය පීලිපැනීමක් සිදුව තිබෙනවා.

එම හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට ද බාධා සිදු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

පවතින අයපත් කාලගුණය තත්වය අභිමුව හැටන් නානුඔය අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ ෴


ධීවරයන්ට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

(12.05.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිව් සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බව ධීවර හා නාවික ප්‍රජාවට, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ‘මෝඛා’ සුළි කුණාටුවේ බලපෑම හමුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

‘මෝඛා’ සුළි කුණාටුව ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පරිවර්තනය වී අද (12) දිනයේ ගිණිකොණදිග සහ ඊට යාබද මධ්‍යම බෙංගාල බොක්කේ ප්‍රදේශ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා. එය අනිද්දා (14) දහවල් වනවිට බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළතීරය හරහා ගමන් කරනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *