කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ්

කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ්


කළුතර උපකාරක පන්ති වල්ගුරා රිමාන්ඩ්

(12.05.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

= කළුතර උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ් =

දැරියන් 16 දෙනෙකුට ලිංගික අතවර කළැයි කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි විසිනුයි අද (12) මෙම නියෝගය ලබා දුන්නේ.

එමෙන්ම ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලද නිර්දේශ මත ලබන 15 වනදා මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමටද අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

අදාළ සැකකරු සිදුවීම වාර්තා වූ පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර කළුතර ප්‍රදේශයේදීම ඊයේ (11) ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන්.

එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16 ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පැවසුවා.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා ඇති අතර එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පොලීසිය සඳහන් කළේ, එම ගුරුවරයා – දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගෝස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් – සිය මෝටර් රථය තුළදී ද ලිංගික අතවරකර ඇති බවට තොරතුරු ලැබුණු බවයි.

එමෙන්ම ඔහු සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගතකර ඇති බවත් සඳහන්.

එසේම, අන්තර්ජාලය ඔස්සේ පංති පවත්වන මුවාවෙන් ද ඔහු මව්පියන් නොමැති අවස්ථාවලදී සිසුවියන් හා සම්බන්ධ වෙමින් – ඔවුන්ට ඇඳුම් ගලවන ලෙසට උපදෙස් දී ඇති අතර, එම දර්ශන ද පටිගතකර තිබෙනවා.

එම දර්ශන ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ ගබඩාකර තිබියදී අදාළ උපකාරක පංති ගුරුවරයාගේ බිරිඳට හසුවී ඇති අතර, ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ආරම්භ වී ඇත්තේ.

කළුතර පොලිස් කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග සැකකාර ගුරුවරයා නිවස හැරගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වුණා.

කෙසේවෙතත්, ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කර තිබූ දැනුම්දීමකට අනුව ඊයේ (11) පෙරවරුවේ ඔහු එහි පැමිණ තිබෙනවා.

පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සැකකාර උපකාරක පංති ගුරුවරයාව අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

කෙසේවෙතත්, අගතියට පත් දැරියන් මෙන්ම මව්පියන් ද විමර්ශන සඳහා ඉදිරිපත් වීමේ මැලිකමක් දක්වන බව නිරීක්ෂණය වන බවත්, එවැනි දැරියන් වේ නම් කළුතර උතුර පොලීසිය අසළ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටිනවා ෴

+


පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ – ජනපති

(12.05.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය මෙරට ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ලෝකයට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 10 වැනි පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයට ඊයේ (11) කොළඹ දී එක්වෙමින්.

මේ අතර, උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දීයි.

+


ඡන්දය ඉල්ලා හිටපු පළාත් පාලන ප්‍රධානීන් මාධ්‍ය හමුවක

(12.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම් නිසා ජනතාවගේ මෙන්ම, හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ද, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සමස්ත ලංකා දිස්ත්‍රික් එකමුතුව ප්‍රකාශ කළා.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම එකමුතුවේ නියෝජිත දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාත මේ බව කියා සිටියා.

එමෙන්ම මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් ද ඊට එක්වුණා.

තවද මෙම මාධ්‍ය හමුවට දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත ද එක්ව සිටියා ෴


රුපියල් ට්‍රිලියනයක මුදල් මුද්‍රණයට සජිත් විරුද්ධ වෙයි

(12.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

සභාපතිවරයෙකු පත් කර නොමැති අවස්ථාවක ඊයේ (11) රැස්වූ මුදල් කාරක සභාව තාවකාලික සභාපතිවරයා යටතේ රුපියල් ට්‍රිලියනයක මුදල් මුද්‍රණය කිරීමට අනුමැතිය ලබාදීමට විරෝධය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ සභාපතිවරයෙකු නොමැති වුව ද තාවකාලික සභාපතිවරයෙකු පත් කිරීමකින් හෝ මුදල් කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, මොහාන් ප්‍රියදර්ශන පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මෙන්ම, කතානායකවරයා ද එස සංවාදයට මැදිහත් වුණා ෴


ලබන සතියේ සිමෙන්ති මිල අඩු වන ලකුණු

(12.05.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති මිල ලබන සතියේ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල දැක්වෙන්නේ රුපියල් 2750 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කළේ.

මේ අතර, නිවාස ඉදිකිරීම සඳහා ණය ගැනීම සීමාවීමත් සමඟ සිමෙන්ති සඳහා පැවති ඉල්ලුම මේ වනවිට 50% කින් පමණ අඩුවී ඇති බව සිමෙන්ති නිෂ්පාදකයින් ප්‍රකාශ කළා.

මෙරට ප්‍රමුඛ පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් මේ වනවිට සිය කර්මාන්තශාලා හතරෙන් (4) තුනක්ම (3) වසා දමා ඇත්තේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් ෴


ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(12.05.2023 – 14:35 +0530 – hirunews.lk/sinhala)

දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

දැනට වෙලාවක් හෝ දිනයක් වෙන් කර නොමැති අය පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

නමුත් රෝගාබාධයන්ට ලක්ව විදෙස් ගත වීමට සිටින හා සති දෙකක තුනක (2-3) නිවාඩුවකට ලංකාවට පැමිණ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට සිටින අයට අදාළ ලේඛන පෙන්වා පැමිණීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහි අධ්‍යක්ෂ ජනාරාල් හර්ෂ ඉලුක්පිටිය අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දෙපාර්තමේන්තුවේ සේවා වඩාත් සක්‍රිය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ෴


IMF සමඟ සමීපව කටයුතු කිරීමෙන් එකඟතා සාර්ථක කරගත හැකි‍‍‍‍යි – රංජිත් සියඹලාපිටිය

(12.05.2023 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධයෙන් සමීපව කටයුතු කිරීම මගින් දැනට ඇති කරගෙන ඇති එකඟතාවයන් වඩාත් සාර්ථක කරගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මෙරට සංචාරය කිරීම ඊට කදිම අවස්ථාවක් බවයි.

මේ අතර අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ණය සීමාව ඉහළ යාමක් සිදු නොවන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

එමගින් සිදුවන්නේ රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත හැකි රුපියල් බිලියන 5,000 ක ණය සීමාව රුපියල් බිලියන 6,000 ක් දක්වා ඉහළ දැමීම පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

+


ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306 ක් වෙයි

(12.05.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව අද (12) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.03 ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන් වුණේ 306.38 ක් ලෙසයි.

ඊයේ (11) දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 322.70 ක් ලෙස සටහන් වුණා ෴


STF කඳවුර පිටුපස තිබූ මහා පරිමාණ ස්කාගාරයක් වටලයි

(12.05.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුර ආසන්නයේ පිහිටි සෙල්ලකන්දල් රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ස්කාගාරයක් වැටලීමට සාලියවැව පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

එහිදී එම ස්ථානයේ තිබී නීති විරෝධි මත්ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා භාණ්ඩ හා අමුද්‍රව්‍ය තොගයක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිය භාරයට ගත් එම අමුද්‍රව්‍ය හා උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට වැඩි බව ද එහිදී පොලිසිය ප්‍රකාශ කර සිටියා.

අදාළ ස්ථානයේදීම මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුත්තලම මානවේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙක් බවයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම එම ස්ථානය වසර ගණනාවක් පුරාවටම කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවල දි අනාවරණය වී තිබෙනවා ෴


රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

(12.05.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මාර්ගෝපදේශ අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳ වූ චක්‍රලේඛ මැයි 15 සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව මැයි 15 සිට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතය පෙර පරිදි ක්‍රියාත්මක බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

එම විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වග බලා ගප යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

කොරෝනා මාර්ගෝපදේශ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2021.10.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2021(V)හි 07 ඡේදයේ විධිවිධාන 2023.05.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2009.04.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009 හා 2009.06.17 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009(T)හි විධිවිධාන මැයි 15 සිට ක්‍රියාත්මක විය යුතු බව සියලුම රාජ්‍ය සේවකයින් වෙත දන්වා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *