නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ

නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ


නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ

(11.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

එක් (1) වරක් හෝ ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකු දෙවැනි (2) වතාවටත් ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් එම තත්ත්වය බරපතල වීමේ වැඩි අවදානමක් පවතින බව, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.

සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ නිරිතදිග මෝසම් වැසි ඇති වීමත් සමඟම ඩෙංගු වෛරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

අද (11) දිනය වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 32,600 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පසුගිය වසරට සාපේක්ෂව 60% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු වෛරස 03 ප්‍රභේදය ද මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බැවින් එය තරමක අවදානම් තත්ත්වයක් බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ

මේ අතර පවතින වැසි සහිත කාලගුණයක් සමගම මදුරුවන් බෝවීමේ ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පැවැත්වුණා.

ඩෙංගු රෝගයට අමතරව මෙරට තුළ තැලසීමියා රොගීන් වාර්තා වීමේ ප්‍රතිශතයද ඉහළ ගොස් තිබෙනවා.

මෙම හේතුව නිසා ශ්‍රි ලංකාව තැලසීමියා රෝගය බහුල රටක් බවටද පත් වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ ෴


ව්‍යාජ වීසා බලපත්‍රයක් සමඟින් පුද්ගලයෙක් අත්අඩංගුවට

(11.05.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන විදෙස්ගත වීමට ගිය පුද්ගලයෙකු කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි එක් (21) හැවිරිදි වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා ටොකියෝ හරහා කැනඩාවට යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

එම පුද්ගලයාට ව්‍යාජ වීසා බලපත්‍ර ලබා දුන් පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර කර ඇති බවයි වාර්තා වන්නේ ෴


රුසියානු ජාතිකයාගේ දේපළ සොරාගත් හෝටල් සේවකයා සොයා විමර්ශන

(11.05.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

කල්කුඩා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික සංචාරකයෙකුගේ මුදල් සහ භාණ්ඩ සොරා ගත් එම හෝටලයේම සේවකයෙකු සොයා කල්කුඩා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

පෙරේදා (09) රාත්‍රියේ එම රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි කාමරය ඇතුළට පැමිණ ඇති හෝටල් සේවකයා ඇමෙරිකානු ඩොලර් 1800 ක්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000 ක්, ලැප්ටොප් පරිගණක ඇතුළු භාණ්ඩ රැසක් ගෙනගොස් ඇති බව‍යි පොලීසිය පවසන්නේ.

සැකකාර හෝටල් සේවකයා සේවයට එක්වූ පළමු දිනයේම මෙම හොරකම සිදුකර පලාගොස් ඇති බව විමර්ශනවලදී පොලිසියට අනාවරණය වී තිබෙනවා ෴


එයාර් චයිනා ජූලි මාසයේ සිට සතියකට 3 වතාවක්

(11.05.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)

එයාර් චයිනා ජූලි මාසයේ සිට සතියකට 3 වතාවක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ලබන ජූලි මාසයේ සිට මෙම ගමන් වාර අරඹන බවයි චයිනා ගුවන් සමාගම තීරණය කර තිබෙන්නේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසූවේ ඉදිරි මාසවල මෙම ගමන් වාර තවත් වැඩි කිරීමට පියවර ගන්නා බවයි ෴


ගම්පොල ප්‍රදේශයේ මුස්ලිම් තරුණියක් අතුරුදහන්

(11.05.2023 – 22:19 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක මුස්ලිම් තරුණියක් තරුණියක් පසුගිය ඉරිදා(05) සිට අතුරුදහන් වී තිබෙනවා.

ඇය ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන අතර සේවාස්ථානයට යෑමට බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2 ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

නිවසේ සිට මීටර් 100 ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබුණ ද ඉන් තවත් මීටර් 50 ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ තරුණිය මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති බව සඳහන්.

සිදුවීම පිළිබඳ ගම්පොළ පොලීසිය වැඩිදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකයි ෴


වාප්පු ලිපිකරුවන් ප්‍රමාද වීමෙන් රේගු නිෂ්කාශන කටයුතුවලට බාධා

(11.05.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

වාප්පු ලිපිකරුවන් ප්‍රමාද වී සේවයට වාර්තා කිරීම නිසා රේගු නිෂ්කාශන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වී ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ වාප්පු ලිපිකරුවන් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී නොමැති බවයි.

ඔවුන්ගේ ප්‍රමාද වී පැමිණීම නිසා රේගු නිෂ්කාශන කටයුතුවල දැඩි ප්‍රමාදයක් ඇති වීම ගැටළුවක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුවට අයත් ඔරුගොඩවත්ත – බහාලුම් නිෂ්කාශන අංගනයේ මෙහෙයුම් කටයුතුවලට දැඩිව බාධා එල්ල වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් කියා සිටියේ මේ හේතුවෙන් අංගනයට අලුතින් බහාලුම් ඇතුළු කර ගැනීමට ද නොහැකි වී ඇති බවයි.

මේ නිසා ඔරුගොඩවත්ත – අවිස්සාවේල්ල මාර්ගයේ දිගු බහාලුම් පෝලිමක් දක්නට ලැබෙන අතර මාර්ගයේ ගමනාගමනයට ද එමගින් බාධා එල්ල වී තිබෙනවා ෴

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ වාප්පු ලිපිකරුවන් නොමැතිවීම මෙම ප්‍රමාදයන්ට හේතු හේතුවී ඇති බවයි. (11.05.2023 – lankadeepa.lk) ෴

+++++++++

වාප්පු ලිපිකරුවන් නොමැතිවීමෙන් වරායේ කන්ටේනර් පොලිම් දික්වෙයි

(11.05.2023 – 23:04 +0530 – hirunews.lk/sinhala)

වාප්පු ලිපිකරුවන් නොමැතිවීම හේ‍තුවෙන් වරාය පරිශ්‍රයේ සිට රේගු පරික්ෂා කරන ස්ථානයට පැමිණ බහාලුම් රථ පරීක්ෂා කිරීමේ දී සිදු කරන ප්‍රමාදයන් හේතුවෙන් ඉතා දිගු පෝලිම් හටගෙන තිබෙනවා.

එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල ප්‍රකාශ කර සිටියේ බහාලුම් රථ 600 ත් 800 ත් අතර සංඛාවක් දින ගණනක් තිස්සේ පොලිම්වල තැබීමට සිදු වී ඇති බවයි.

පෑලියගොඩ පොලිස් ස්ථානය අසල සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථානය අසල සිට රේගු පරීක්ෂාකරන ස්ථානය දක්වා ඇති මෙම දිගු පෝලිම් හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව සඳහන්.

ඇන්ජිම පණ ගන්වා තැබීමට සිදුවීම හේතුවෙන් බහලුම් රථ සඳහා ලැබෙන ඉන්ධන කොටාවෙන් වැඩි ප්‍රමාණයක් නිකරුනේ නාස්ති කිරීමට සිදුවන බවත් එම රථවල අමතර කොටස් ගැලවීමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ඇතැම් පිරිස් කටයුතු කරන බවයි සනත් මංජුල ප්‍රකාශකර සිටියේ.

මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ වරයා දැනුවත් කළ ද මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴


‘මෝඛා’ සුළි කුණාටුව අද (11) මධ්‍යම රාත්‍රියේ ප්‍රචණ්ඩ වේ

(11.05.2023 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මෝඛා’ සුළි කුණාටුව අද (11) මධ්‍යම රාත්‍රිය වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා පවසනවා.

එම සුළි කුණාටුව පවතින මුහුදු කලාපයේ ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද පෙරවරුව වන විට වර්ධනය වී තිබුණා

එම සුළි කුනාටුව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (11) මධ්‍යම රාත්‍රියේ දී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එම දෙපාර්තමේනතුව පෙන්වා දෙන්නේ හෙට එනම් මැයි 12 වැනිදා සවස් කාලය වන විට මෙය ඉතා චණ්ඩ සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවයි.

එමෙන් ම උතුරු අක්ෂාංශ 3 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහු දින ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴


චන්දික අබේරත්නට සහ පියත් නිකේෂලට ඇප

(11.05.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරියෙකු වන පියත් නිකේෂල සහ කඩුවෙල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගාරාධිපති චන්දික අබේරත්නට ඇප මත මුදාහැර තිබෙනවා.

කොස්වත්ත ප්‍රදේශයේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පහරදුන් බව පවසමින් සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල කොළඹ ජාතික රෝහලට ඊයේ (10) රාත්‍රියේ දී ඇතුළත් වී තිබුණා.

මෙම සිද්ධියෙන් පසුව කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මුල්ලේරියාව රෝහලට ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අද (11) පස්වරුවේ කොළඹ, අංක 08 වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ඇප ලබාදීම සිදුකළේ.

එසේම පියත් නිකේෂල ජාතික රෝහලේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා කළ පැමිණිල්ලකට අනුවයි.

අද (11) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ඇප ලබාදී ඇත්තේ.

පියත් නිකේෂල වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ද පෙනී සිටීම විශේෂත්වයක්.

පියත් නිකේෂල ප්‍රසිද්ධියට පත්වූයේ අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු ලෙසින්.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු ලෙසද ඔහු සැළකෙනවා.

පසුගිය වසරේ මැයි මස 09 වනදා කඩුවෙල නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා බේරේ වැවට ඇඳ දැමීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට අදාළව මෙම සිද්ධිය සිදුවූ බව පියත් නිකේෂල පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව කොටුව දුම්රියපළ ඉදිරිපිට සාමකාමි විරෝධතාවක්ද පැවති අතර ඊට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *