නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට

නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට


නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2) අධික භාණ්ඩ සොරාගත්’ආරාම මල්ලි’ අත්අඩංගුවට

(11.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව, මහරගම, බොරලැස්ගමුව, හෝමාගම ප්‍රදේශවල නිවාස හතළිහක් (40) පමණ බිඳ රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික භාණ්ඩ සොරාගත් ‘ආරාම මල්ලි’ නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සැකකරු කොට්ටාව පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් නිවෙස්වලින් සොරාගන්නා ලද රන් පවුම් 120 ක ප්‍රමාණයක් හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසැලකට විකුණා තිබිය දී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සතුව තිබී ලැප්ටොප් පරිගණක 6 ක් සහ මුදලින් රුපියල් 50,000 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දිනකට රුපියල් ලක්ෂයක (100,000) හෙරොයින් පානය කරන සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්රැම් 200 ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

සැකකරු රන් භාණ්ඩ උගස් කර ගත් රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදල් හෙරොයින් භාවිත කිරීමට වියදම් කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.


වතු සේවකයන් 150 දෙනෙකු වෙත නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයක්

(11.05.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය අයත් කුමාරවත්ත සහ දියලුමවත්ත වතු දෙකෙහි වතු සේවකයන් 150 දෙනෙකු වෙත නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම මොණරගල දී සිදුව තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මොණරාගල දී එය සිදුකෙරුණු බවයි.

එමෙන්ම එයට සමගාමීව අක්කර 30 ක භූමියක නව ආදර්ශ පොල් වගාවක් ආරම්භ කිරීම වෙනුවෙන් පොල් පැළ රෝපණය කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේ කුමාරවත්ත සහ දියලුමවත්තේ සේවය කරන ජනතාවට නිත්‍යානුකුලව හිමි විය යුතු ඉඩම් අයිතිය පිළිබද ගැටළුව ඒ ආකාරයෙන් විසදීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවයි.

මීට පෙර ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස සකස් කර දුන් ජනතාවගෙත් ඉඩම් බලපත්‍ර ඉක්මනින්ම ලබා දීමට කටයුතු කරන බවත් වැවිලි භාරය හරහා පේලි නිවාස සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කරදීමටත් ඔහු පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන් වනවා.

එසේම වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, “පසු ගිය වසර 150 කට අවසන්න කාලයක් තිස්සේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැවිලි ක්ෂේත්‍රයේ විශේෂ කටයුතු කරපු වතු සේවක මහත්ම මහත්මීන් අද ජිවත් වන තත්වය පිළිබදව අප කාටවත් සතුටු වන්නට බැහැ. අපි මහජන නියෝජිතයන් ලෙස ඔවුන් ගෙවන ජීවිතය පිළිබදව ලැජ්ජා විය යුතුය. අපේ ආණ්ඩුව 2019 බලයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව තමයි වතු සේවක මහත්ම මහත්මින්ගේ දවසේ වැටුප රුපියල් දහසක් බවට පත්කළේ. එයට විරුද්ධව වතු සමාගම් සියල්ල උසාවි ගියා.” යනුවෙනි.

එසේම තවදුරටත් අදහස් දක්වපු හෙතෙම සඳහන් කරන්නේ, පොල් වගාවෙන් ගිය වසර තුළ ඩොලර් මිලියන 900 ක පමණ අදායමක් ලැබූ බවත් එම හේතුවෙන් මෙම පළාත්වලත් ‍රබර්වලට අමතර වගා කළ හැකි දේවල් තිබෙන බවයි.

බිබිලේ දොඩම් වගේම අන්නාසි, දුරියන් සහ අලිගැටපෙර වැනි පලතුරු සඳහා ලෝකයේ විශාල වෙළඳපලක් නිර්මාණය වෙමින් පවතින බවත් එම හේතුවෙන් එම ප්‍රදේශය දිරිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම ප්‍රකාශ කළ බවත් එම නිවේදනයේ සඳහන් වනවා ෴


යූරියා පොහොර මිල යළි අඩු කිරීමට සැරසේ

(11.05.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

රජයෙන් ලබාදෙන යූරියා පොහොරවල මිල ඉදිරියේදී තවත් අඩු කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එමෙන්ම, ගොවි ජනතාවට බන්ඩි පොහොර සහ අනෙකුත් පොහොර මිලදී ගැනීම සදහා වවුචර් පත් ලබාදීමේ වැඩපිළිවෙලට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව, හෙක්ටයාරකට රුපියල් 20,000 ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000 ක වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ෴


මැදිරිගිරිය රජයේ පශු වෛද්‍ය සිංචන මධ්‍යස්ථානය විනාශයට පත්වේ

(11.05.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පතොක්වැව ගම්මානයේ පිහිටි රජයේ පශු වෛද්‍ය සිංචන මධ්‍යස්ථානය විනාශයට ගොස් තිබෙනවා.

අක්කර 5 ක පමණ භුමි ප්‍රදේශයකට හිමිකම් කියන මෙම මධ්‍යස්ථානය මීට වසර 40 කට පමණ පෙර මෙම ප්‍රදේශයේ ස්ථාපනය කෙරුණු අතර, එමගින් කිරි ගව කර්මාන්තයට සුවිශේෂී මෙහෙයක් ඉටු වුණා.

ගම්වැසියන් පවසන්නේ අදාළ මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි නිලධාරියා ඉන් ඉවත්ව යාමත් සමග සියලු සේවා අකර්මණ්‍ය වූ බවයි.

විනාශ මුඛයට ගොස් ඇති මෙම ගොඩනැගිල්ල මේ වනවිට නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති අතර, එය ජන ජීවිතවලටද දැඩි තර්ජනයක් වී අවසන්.

ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වටිනා මහජන දේපොළ පිළිසරක කර ජනතා සුබසිද්ධිය උදෙසා යළි ලබා දීමට කඩිනමින් පියවර ගැනීම බලධාරීන් සතු යුතුකමක් සහ වගකීමක් බවයි ෴


අමාත්‍ය මණ්ඩලයට සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසකට නොතීසි

(11.05.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත යැවීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන්ට සහ වනජිවි අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පාර්ශවකරුවන්ට අභියාචනාධිකරණය අද (11) නොතීසි නිකුත් කළා.

ඒ ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම, අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා සිටියේ මෙම ක්‍රියාව සත්ත්ව හිංසා පනත මෙන්ම, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවයි.

එය සිදුවුවහොත් මෙරට පරිසර පද්ධතියට අගතියක් සිදුවන අතර, විශාල සත්ත්ව හිංසනයක් සිදුවන බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා ෴


බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි

(11.05.2023 – 14:02 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරන්නේ

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවද එම කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


වාහන අමතර කොටස් මුවාවෙන් ජීප් රථ හතරක් (4) සහ මෝටර් රථයක් ගෙන ආ බහාලුමක් අත්අඩංගුවට

(11.05.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

වාහන අමතර කොටස් බව පවසමින් සුක්ෂම ලෙස කැබලි කරන ලද ජීප් රථ හතරක් (4) සහ සුබාරු වර්ගයේ මෝටර් රථයක් අඩංගු බහලුමක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එය ජපානයේ සිට ආනයනය කර ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, දුම්වැටි බවට සැක පිට බහලුමක් ද රේගු අදායම් අධික්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බහලුම් අද (11) පස්වරුවේ පරික්ෂාවට ලක් කිරීමට නියමිත බවයි රේගු දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴


හොරපාරෙන් ඉන්දියා යවන්න හැදූ හක්බෙල්ලන් තොගයක් හසු වේ

(11.05.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවට යැවීමට සූදානම් කරමින් සිටි හක්බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවන් සිව් (4) දෙනෙකු ඊයේ (10) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සැකකරුවන් සන්තකයේ තිබූ හක්බෙල්ලන් ප්‍රමාණය 2606 ක් වන බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ.

පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ සිට කල්පිටියට ලොරි රථයකින් ගෙනවිත් ඇති මෙම හක්බෙල්ලන් තොගය බෝට්ටුවක් මගින් ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ අවස්තාවේ දී යි මෙලෙස සැකකරුවන් සමඟ අත්අඩංගුවට පත් වී ඇත්තේ.

කල්පිටිය පොලිසිය මඟින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ධාතුසේන රජුගේ ඔටුන්න සෙවූ පිරිසක් රිමාන්ඩ්

(11.05.2023 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ස්කෑන් යන්ත්‍රයක් උපයෝගී කරගෙන සේරුනුවර කැලයක ධාතුසේන රජුට අයත් බව කියන ඔටුන්නක් සොයමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු (5) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සේරුනුවර පොලීසිය විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (10) මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මීරිගම, ඇලපාත, බුලත්සිංහල, ගම්පහ, කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මෙම පිරිස අතර හතළිස් පස් (45) හැවිරිදි යකැදුරකු ද සිටින බවත් ඉපැරණි පුස්කොළ පොතක තිබුණු විස්තරයක් අනුව ඔටුන්න සොයා කැලයට ආ බවත් ප්‍රශ්න කිරීම්වල දී සැකකරුවන් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) දින මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව විවාදයට දින නියම වේ

(11.05.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත්කිරීම සඳහා වන යෝජනාව ලබන 24 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

ජනක රත්නායක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක්ද විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පෙරේදා(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා ෴


සූදු පොළක සිදු වූ ආරවුලකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(11.05.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala)

සූදු පොළක සිදුවූ ගනුදෙනුවකට ඇති වූ ආරවුලක් මත පුද්ගලයෙකු පැහැර ගෙන ගිය දෙදෙනෙකු (2) තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) පැහැර ගත් පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් ණයට ඉල්ලාගෙන ඇති අතර එම මුදල නැවත ලබා නොදීම හේතුවෙන් මෙලෙස එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ඔහුට පහර දීමෙන් අනතුරුව ඔහු සතු යතුරුපැදිය ඔවුන් සන්තකයට ගෙන එම පුද්ගලයා මුදා හැර තිබෙන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට (2) හැර තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *