සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට


සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ‘වල්ගුරා’ අත්අඩංගුවට

(11.05.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පලාගොස් සිටි මොහු, කළුතර ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගත් බවයි.

තවද 30 හැවිරිදි ඔහු උපකාරක පන්ති ගණිත ගුරුවරයෙකු වන බවයි වාර්තා වෙන්නේ.

සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණා.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන්.

එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16 ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා ඇති අතර එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගණිතය විෂයය සඳහා උපකාරක පංති පවත්වන කළුතර ප්‍රදේශයේ ගුරුවරයෙකු පාසල් සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවරකර ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.

පොලීසිය පැවසුවේ, එම ගුරුවරයා – දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගෝස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් – සිය මෝටර් රථය තුළදී ද ලිංගික අතවරකර ඇති බවට තොරතුරු ලැබුණු බවයි.

එමෙන්ම ඔහු සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගතකර ඇති බවත් සඳහන්.

එසේම, අන්තර්ජාලය ඔස්සේ පංති පවත්වන මුවාවෙන් ද ඔහු මව්පියන් නොමැති අවස්ථාවලදී සිසුවියන් හා සම්බන්ධ වෙමින් – ඔවුන්ට ඇඳුම් ගලවන ලෙසට උපදෙස් දී ඇති අතර, එම දර්ශන ද පටිගතකර තිබෙනවා.

එම දර්ශන ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ ගබඩාකර තිබියදී අදාළ උපකාරක පංති ගුරුවරයාගේ බිරිඳට හසුවී ඇති අතර, ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ආරම්භ වී ඇත්තේ.

කළුතර පොලිස් කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග සැකකාර ගුරුවරයා නිවස හැරගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වුණා.

කෙසේවෙතත්, ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කර තිබූ දැනුම්දීමකට අනුව අද (11) පෙරවරුවේ ඔහු එහි පැමිණ තිබෙනවා.

පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සැකකාර උපකාරක පංති ගුරුවරයාව අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු පටිගත කළ දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්ධයෙන් අනාවරණ වන බවත්, ඒවා නිරීක්ෂණය කරමින් අගතියට පත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පැවසුවා.

කළුතර උතුර ප්‍රදේශයේ ගාලු පාර ආසන්නයේ පෞද්ගලික පන්ති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල ද පන්ති පවත්වා ඇති බැවින් එම දැරියන් ද අපයෝජනයට ලක්කර ඇත්ද යන්න පිළිබඳව සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවටද ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ කළුතර උතුර පොලීසියට පැමිණිලිකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අද (11) පෙරවරුවේ කළුතර දකුණ පොලීසියට භාර දුන් අතර ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත්, අගතියට පත් දැරියන් මෙන්ම මව්පියන් ද විමර්ශන සඳහා ඉදිරිපත් වීමේ මැලිකමක් දක්වන බව නිරීක්ෂණය වන බවත්, එවැනි දැරියන් වේ නම් කළුතර උතුර පොලීසිය අසළ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටිනවා.

+

+


බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමූ සැකකරුවන් සිව් (4) දෙනෙක් අත්අඩංගුවට

(11.05.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකා මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (10) දින මහඔය පොලිස් වසමේ ටැපාන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

බලපත්‍ර නෙමැති වැලි ගොඩදමා බෝට්ටුවක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි සැකකරුවන් සිව් (4) දෙනෙකු ට්‍රැක්ටර් රථයක්, බෝට්ටුවක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 33, 34 හා 38 වයස් වල පසුවන හසලක, පදියතලාව හා මහඔය ප්‍රදේශ වල පදිංචිකරුවන්.

සිද්දිය සම්බන්දයෙන් මහඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


සමනලවත්ත ප්‍රදේශයේ දී අතුරුදන් වූ බව පැවසුණු පුද්ගලයා අත්අඩංගුවට

(11.05.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්වූ බව කියන 39 හැවිරිදි පුද්ගලයා ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

ඒ, ඔහු විසින් බලංගොඩ – දියවේල්ල ප්‍රදේශයේ නිවසකට පැන එහි තිබූ රුපියල් 12,000 ක මුදලක් හා නිවෙස් හිමියන් ආහාරය සඳහා ගැනීමට සකසා තිබූ බත් මුට්ටිය පැහැර ගෙන යාමට උත්සාහ කිරීමේ දීයි.

පෙරේදා (09) දළු කැඩීම සඳහා නිවසින් පිටව ගිය ද ඔහු යළි නොපැමිණි බවට ඔහුගේ බිරිද විසින් බලංගොඩ පොලීසියට පැමිණිලි කර තිබුණා.

මෙම ප්‍රදේශයේ 9 හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නමැති පෙර පාසල් දරුවෙකු ද මීට වසර 5 කට පමණ පෙර අතුරුදන්වූ අතර ඔහු පිළිබඳව මෙතෙක් තොරතුරක් ලැබී නැහැ ෴


පොලිසිය තුළ තිබූ ත්‍රීරෝද රථයක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(11.05.2023 – 12:00 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය පොලිසිය තුළ ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ අදාළ ත්‍රිරෝද රථය ද සමඟින් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ත්‍රිරෝද රථය පසුගිය 09 වැනි දා පොලීසිය විසින් නඩු භාණ්ඩයක් ලෙස නම් කොට කොල්ලුපිටිය පොලිස් ස්ථානය තුළ ගාල් කර තිබියදීයි මෙලෙස සොරාගෙන ගොස් ඇත්තේ.

ත්‍රිරෝද රථය සොරාගත් පුද්ගලයා එම රථයේ හිමිකරු වන අතර ඔහු සතුව තිබූ අමතර යතුරක් උපයෝගී කරගෙන මෙම ත්‍රිරෝද රථය පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සිසිටිවි දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ට මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ ෴


නාවික හමුදාපතිගේ නිවසෙන් භාණ්ඩ සොරාගත් ‘සුදූ’ අත්අඩංගුවට

(11.05.2023 – 12:26 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාපතිතුමාගේ නිවස බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි එම නිවසට ඇතුළු වී ඇති මෙම සැකකරු ජනෙල්වලට සවි කර තිබූ පිත්තල සරනේරු සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සුදු නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සැකකරු අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති අයෙකු බවට ද කරුණු අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා කැස්බෑව පොලිසියට භාර දී තිබෙනවා ෴


ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

(11.05.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala)

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින ඉඩම් අණ පනත් සංශෝධනය කරන ලෙස රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

ජනාධිපති මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයනිහි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමෘත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවල දී ගෙන එන ලද අණපනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද කියා සිටියා.

සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේ දී දැනට පවතින බාධාවන් ඉවත් කර, නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණු බව සඳහන්.

ඉඩම් කොමිෂන් සභාවක් හරහා පළාත් සභා යටතේ පවතින ඉඩම්වල ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසත් ප්‍රකාශ කර ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

ග්‍රාමසේවා වසම් මට්ටමින් පවතින ඉඩම්වල හිමිකරුවන්ගේ විස්තර සහ එම ඉඩම් වලින් දැනට ප්‍රයෝජනයට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය හඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රජයේ අවශ්‍යතාවයන් සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් නැවත ජනතාව අතර බෙදා දීමට පියවර ගන්නා ලෙසත්, හෙතෙම ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඉදිරියේ දී රජයේ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අදාළ ඉඩම්වල වෙළෙඳපොළ වටිනාකම ගෙවා අත්පත් කර ගැනීම් සිදු කරන ලෙසත් ජනාධිපති විසින් මෙහි දී නිලධාරීන්ට දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා තක්සේරු දෙපාර්තුමේන්තුවේ කාර්යයන්වල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් පිරිසක් දිවයිනට

(11.05.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන (2) වාරිකයට අදාළ පසු විපරම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් ඇතුලු නිලධාරීන් පිරිසක් අද (11) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ද හෙට (12) සිට 15 වැනිදා දක්වා කාලය තුළ එක්වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ පළමු (1) ඇගයීම මේ වසරේ (2023) සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ජුනි මාසයේ දත්ත පදනම්කර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනුමත කළේ පසුගිය මාර්තු මාසයේ දී.

වාරික හතරකින් (4) සමන්විත එම ණය මුදල ලබා දෙන්නේ එක් එක් අදියර සඳහා පසු විපරම් ක්‍රියාවලියකින් අනතුරුව වීම විශේෂත්වයක්.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් පිරිස අද (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර, ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කලා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (10) එහි පැවති උත්සවයට එක්වෙමින් ජනපතිවරයා කියා සිටියේ ඉදිරි දශක දෙක (2) තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බවයි ෴

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අද (11) පස්වරුවේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව හා ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲඅර් මහතායි.

එම ධූත කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ රටේ පවතින ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්චා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම හමුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනෙක් සහභාගී වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *