දෙහිවල දී පුද්ගලයෙකුට පහර දුන් සිද්ධියට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට

දෙහිවල දී පුද්ගලයෙකුට පහර දුන් සිද්ධියට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට


දෙහිවල දී පුද්ගලයෙකුට පහර දුන් සිද්ධියට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට

(10.05.2023 – 06:56 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයක දී පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) පහරදී එක් (1) පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට (1) බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා අවුරුදු 19 ත් 99 ත් අතර කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය පවසන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් සිය භාරයට ගත් බවයි.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

‘ඩිල්ෂාන් රංග කුමාර’ වන ඔහු 27 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.

කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක අයෙක්.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු (2) පැන යෑමට උත්සාහ කිරීමේ දී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා (2) පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බවයි පොලිස් නිලධාරීහු පවසන්නේ.

සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව (2) ලොරි රථයකින් පොලීසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා (2) රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටිය දී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වී යැයි සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවල දී තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

++++++++++

දෙහිවල සිද්ධියේ පහර කෑ පුද්ගලයා රෝහලෙන් පැන යයි

(10.05.2023 – 12:47 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල – රෝහල්පාරේ පිහිටි වායු සමීකරණ යන්ත්‍ර අලු‍ත් වැඩියා කරන ස්ථානයකට අනවසරෙන් ඇතුළු වූ බව පවසමින් පිරිසකගේ පහරකෑමට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයා ඉන් පලාගොස් තිබෙනවා.

මොහු ඇතුළු තවත් අයෙකු ඊයේ (09) අලුයම් කාලයේ මෙම ස්ථානයට ඇතුලු වූ බව පවසමින් පුද්ගලයින් පිරිසක් ඔවුන්ට පහර දී තිබුණා.

පසුව, පහරකෑමට ලක් වූ 27 හැවිරිදි බඩෝවිට පදිංචි පුද්ගලයෙකු මියගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු දෙහිවල පොලිස් ස්ථානයේ දී අත්අඩංගුවට ගැණුනා.

අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 ත් 33 ත් අතර වයස්වල පසුවන කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් හා රුවන්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

මොවුන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත ඇතුළු වූ දෙදෙනෙකු (2) අල්ලාගෙන පැන යාමට උත්සාහ කිරීමේ දී පහර දී රඳවා ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ බවයි.

එම අවස්ථාවේ පොලීසිය මෙම පුද්ගලයින් දෙදෙනා (2) රෝහල් ගත කෙරුණා.

පසුව අදාළ පුද්ගලයින් පොලිස් ස්ථානයට රැගෙන ආ ලොරි රථයක් සහ වෑන් රථයක් මෙන්ම, මියගිය පුද්ගලයා හා තුවාලකරු පැමිණි බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගැණුනා.

මියගිය පුද්ගලයා වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වූ බවට සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහරදී, රඳවාගෙන ඔහු සමග පැමිණි පුද්ගලයා ජංගම දුරකථනයට ඇමතුමක් දී ඔහුව ද ගෙන්වා පහරදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව සැකකරුවන් විසින් අපරාධ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අනතුරුව සැකකරුවන් විසින් මියගිය පුද්ගලයා හා තුවාලකරු පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට රැගෙනවිත් ඇති බවටයි හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත්, තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

දෙහිවල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

++++++++++

දෙහිවල ඝාතනයට කොටුවූ 14 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(10.05.2023 – 17:17 +0530 – hirunews.lk/sinhala)

පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 14 දෙනා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී තිබෙන්නේ.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් පිරිස එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටයි ෴


දිනකට ඩොලර් ලක්‍ෂ 30 ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…

(11.05.2023 – 08:40 +0530 – lankacnews.com)

විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් (3) පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත් සහ තවදුරටත් ශක්තිමත් කළ යුතු ව්‍යාපෘතියක් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

‘මරදාන ට්‍රේස් සංකීර්ණයේ’ පිහිටි ‘වේගා ඉනෝවේෂන් සමාගමේ’ නිරීක්ෂණ සංචාරයකට පසුගියදා එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ මෙරට තාක්ෂණික අංශයේ නව නිපැයුම් පිළිබඳව සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කර ඊට පවතින අවස්ථාවන් රට තුළ පුළුල් කළ යුතු බවයි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා රට මෙහය වීම බවත් ඒ සඳහා නවීන තාක්ෂණය සහිත නව නිපැයුම් වෙත ගමන් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන් සමන්විත ජයාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිතුමා තාක්ෂණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බව ද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා :

“අපේ රටේ පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් වෙනම පනතක් ස්ථාපිත කර නැහැ. ඒ සඳහා තාක්ෂණ අමාත්‍යාංශය වශයෙන් අපි ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් රටේ තිබෙන පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම අනෙකුත් පර්යේෂකයන්ට ඒ අවස්ථාව උදාකර දෙන්න බලාපොරොත්තු වෙනවා.

වේගා ආයතනයේ නිෂ්පාදන මේ වෙනුවෙන් ඉතාම වැදගත් වෙනවා. පර්යේෂණ කටයුතු වෙනුවෙන් මෙය ඉතාම වැදගත්. වේගා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අගය කරනවා. රජයක් වශයෙන් මේ ආයතනය සඳහා ලබාදෙන්න පුළුවන් සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න පියවර ගන්නවා. විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් ඩොලර් මිලියන තුනක් (3) පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත් සහ තවදුරටත් ශක්තිමත් කළ යුතු ව්‍යාපෘතියක්. ඉන්ධන යොදා භාවිතා කරන ත්‍රී රෝද රථ වෙනුවට මෙම ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථ සහන ක්‍රමයට හෝ ලබාදෙන්න පියවර ගන්නේ නම් එක් පැත්තකින් රටේ ආර්ථිකයට සාධනීය බලපෑමක් වනවා වගේම, එය තිරසාර සංවර්ධනයටත් ගුණාත්මක ලෙස බලපානවා. ඉන්ධන ගැටලුවට විසඳුමක් මෙන්ම මුදල් ඉතිරිකර ගන්න හැකි වෙනවා. එය රටේ ආර්ථිකයට ශක්තියක් වෙනවා. අනෙකුත් වාහන වෙනුවෙන් ද වේගා ආයතනය මේ වනවිට පරීක්ෂණ කරගෙන යනවා. ඒ සඳහා රජය පූර්ණ සහාය දෙන්න සූදානම්” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය ෴

++++++++

23-09-2022

රුපියල් ලක්ෂ 217 වංචා කළ මුදල් අයකැමිවරයෙකු අත්අඩංගුවට

(11.05.2023 – 6:33 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ පුද්ගලික රෝහල් ජාලයක ජා ඇල ශාඛාවේ සේවය කළ මුදල් අයකැමිවරයෙකු විසින් රුපියල් ලක්ෂ 217 කට අධික මුදලක් වංචාකර ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල – හැඳල ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (11) දින වැලිසර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුර විමසීමේ දී පොලිසිය සඳහන් කළේ ෴


ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

(11.05.2023 – 06:37 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ කළමනාකරණය සහාය වීම සම්බන්ධව සැකකාරියන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියක් අවුරුදු 24 , 25, 30, 31, 36 හා 52 වයස්වල පසුවන පානදුර, මොරටුව, තඹුත්තේගම, වනාතවිල්ලුව, මැණික්හින්න හා අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකාරියන්.

සැකකාරියන් අද (11) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්දිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


රූපලාවන්‍යාගාරවල මුදල් පසුම්බි සොරකම් කළ තරුණිය අත්අඩංගුවට

(11.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

රූපලාවන්‍යාගාරයක පැමිණි එහි හිමිකාරියගේ ඒ.ටී.එම්. කාඩ්පත සොරකම් කර රුපියල් 90,598 ක් වටිනා භාණ්ඩ මිළට ගත් කාන්තාව ඊයේ (10) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකට අනුවයි.

අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල- පුවක්පිටිය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 20 ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වී ඇත්තේ.

සැකකාරිය වරකාපොල හා ගම්පොල යන ප්‍රදේශවල ද මෙවැනි ආකාරයට ATM කාඩ්පත සොරකම් කර දේපල මිලට ගෙන ඇති බවද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය අද (11) වන අද දින අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකාරියගේ ඥාතිවරයෙක් සඳහන් කළේ මෙවැනි අදහසක් :

“මේකිට තියෙන්නේ රත්තරන් බඩු ගන්න ඇඳුම් ගන්න පිස්සුවක්. අපි ගහලා පැන්නුවා. ගොඩක් කල් ගිහිං හිටියා. අපිට ඇප දීලා ගන්න සල්ලි නෑ. අපි වේලක් ඇර වේලක් කාලා ඉන්නේ. තාත්තා කුලී වැඩ කරන්නේ. ඇයි මේ වගේ බලු වැඩ කරන්නේ. අපිට මැරෙන්න බෑ.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *