කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට

කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට


කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට

(10.05.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala)

කළුතර හෝටලයක තුන්වන (3) මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ කාල සීමාව තුළ ලැබුණු ඇමතුම් සම්බන්ධවයි මෙලෙස පොලිසියේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිටත් ඇයගේ දුරකථනය අතුරුදන්වයි පවතින්නේ.

සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු, විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා එම ස්ථානයට යළි කැඳවා ඇති අතර, එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බව අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය හෝටලයේ තුන්වන (3) මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගත් බවට සැකකරු ප්‍රකාශ කරන බවයි.

තමන් ඇය සමඟ සිටින අවස්ථාවේ ඇයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් “අද නම් ගෙදර ගිහින් ඉවරයි” යැයි පවසා දිව ගොස් මෙය සිදුකරගත් බවත්, සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක මතුවන හෙයින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවයි.

මේ අතර සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර කර ප්‍රදේශයෙන් පලාගොස් සිටින උපකාරක පන්ති ගණිත ගුරුවරයෙකු සොයා කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන් ෴

+++++++++++

කළුතර දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර

(10.05.2023 – 12:03 +0530 – hirunews.lk/sinhala)

කළුතරදී 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ වයස අවුරුදු 29 ක් වූ ප්‍රධාන සැකකරු පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

කළුතර හෝටලයක තුන්වන (3) මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු වුණා.

කළුතර නගරයේ නවාතැන්පොළක තුන්වැනි (3) මහලින් ඇද වැටුණු බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර කළුතර දකුණ පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පසුගිය ඉරිදායි.

තවත් තරුණ යුවළක් සමඟ ඇය එම හෝටලයට පැමිණ තිබූ අතර එහි සිටි 29 හැවිරිදි තරුණයෙකු ද සමග ඔවුන් මත්පැන් පානය කරමින් රැඳී සිට තිබුණා.

සිසුවියගේ මරණය සිදුව තිබුණේ ඉන් අනතුරුවයි.

සිද්ධියෙන් පසු පලාගොස් සිටි සැකකරු මෝටර් රථයකින් ගාල්ල දෙසට යමින් සිටියදී අත්අඩංගුවට ගත්තේ අගහරුවාදායි.

ඔහු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පාපෝච්චාරණයක් කර තිබුණා.

අදාළ සිසුවිය නවාතැන්පොළ වෙත ගෙන්වාගත්තේ සිය මිතුරාගේ සහ ඔහුගේ පෙම්වතියගේ සහායෙන් බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.

තවදුරටත් සාක්ෂි ලබා දෙමින් සැකකරු පවසා ඇත්තේ තමන් ඇය මීට පෙර හඳුනා නොසිටි බවයි.

සිද්ධිය වූ දින උදෑසන 10 ට පමණ කිසියම් රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් කළුතර පුද්ගලික රෝහලකට ගොස් සිටියදී මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකාරියගේ පෙම්වතා තමාට ඇමතුමක් ලබා දෙමින් අදාළ තරුණිය සම්න්ධයෙන් පවසා තිබෙනවා.

“මචං පොඩි සෙටින් එකක් තියෙනවා. කෙල්ලෙකුත් ඉන්නවා” යනුවෙන් පවසා එන්න පුළුවන්දැයි විමසූ බවයි ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

ඊට කැමැත්ත පළ කළ තමා ඇමතුම දුන් මිතුරා ද සමග කළුතර නාගොඩ ප්‍රදේශයේ පිහිටි සිසුවියගේ නිවෙස ආසන්නයට ගිය බවත් අදාළ සිසුවිය සිය මිතුරිය සමග මෝටර් රථයට ගොඩ වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ප්‍රධාන සැකකරු මෙම ගමන සඳහා විදේශීය මත්වතුර බෝතලයක් රැගෙන ගොස් තිබූ අතර තරුණියන් දෙදෙනා (2) ඒ සම්බන්ධයෙන් සතුට පළකළ බවද ප්‍රධාන සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

මෝටර් රථයෙන් මඳ දුරක් ගමන් කළ සිසුවියන් දෙදෙනා (2) “අපි ගෙදරට කියලා හවස හමුවෙමු” යැයි පවසා මෝටර් රථයෙන් බැස ගොස් තිබුණා.

පස්වරුවේ හෝටලයට පැමිණීමෙන් පසු සිසුවියන් දෙදෙනා (2) ඇතුළු සිව් දෙනා (4) මත්වතුර පානය කළ බවත් සැකකරු පවසා තිබෙනවා.

ඔවුන් සින්දු කියා නැටූ නමුත් තමා අදාළ සිසුවිය සමග ලිංගිකව හැසිරීමක් නොකළ බවද සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.

සිසුවිය නිරුවතින් කාමරයේ නටමින් සිටියදී ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණු බවත් එම ඇමතුම ඇයව ‘බ්ලැක් මේල්’ කිරීම සඳහා කිසිවෙකු විසින් ලබා දුන් බව ඇගේ හැසිරීමෙන් තමන් තේරුම් ගත් බවයි සැකකරු පවසා ඇත්තේ.

එම ඇමතුම දෙන අවස්ථාවේ ඇය අසිහියෙන් මෙන් කාමරය පුරා දිව යමින් දැඩි ලෙස කළබල වී ඇමතුම දුන් අයට “…. කැත වැඩ කරන්න එපා යකෝ; තෝ මාව කෑවා …..” යනුවෙන් කෝපයෙන් බැණ වැදුණු බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පසුව ඇය එක්වරම ජනේලය අසළ තිබූ පුටුවට නැග ජනේලයේ දොරවල් 2 ඈත් කර බිමට පැන්න බවයි සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ අනුව පොලීසිය සැකකරන්නේ අදාළ සිසුවිය සමග පැමිණි අනෙක් සිසුවිය හෝ ඇගේ පෙම්වතා මෙම ඇමතුම ලබාදෙන්නට ඇති බවයි.

එම තොරතුරු වසන් කිරීමේ අරමුණින් මියගිය සිසුවියගේ ජංගම දුරකථනය ඔවුන් දෙදෙනා (2) ගඟට විසි කරන්නට ඇති බවටද පොලීසිය සැකකරනවා.

එම ජංගම දුරකථනය ගොඩගෙන ඒ පිළිබඳව නිශ්චිතව තොරතුරු හෙළි කරගන්නා බවයි පොලීසිය පවසන්නේ.

කෙසේවෙතත් විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද සැක මතුවන හෙයින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවයි.

මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (10) කළුතර දකුණ පොලිසිය විසින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සඳහා පැය 24 ක් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරමින් ඉදිරි පැය 48 ක් සඳහා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත්, එය සියදිවි නසාගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියාසිටි අතර, සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදී රැඳවුම් නියෝග ලබාගන්නේ මන්දැයි විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ සරත් කරවිට මහතා විමසා සිටියා.

උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා එහිදී කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කර සිටියේද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමට සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව කළුතර දකුණ ඉසුරු උයන අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නම් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර දුන්නේ.

නඩුව ලබන මැයි 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර මියගිය පාසල් සිසුවිය සමග හිතවත්කම් පැවැත්වූ බව පැවසෙන කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන්ද මේ වන විට පොලීසිය ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.

ඒ පාසල් සිසුවිය නවාතැන්පොලේ රැඳීසිටින අවස්ථාවේදී ඇගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුමකට අදාළවයි.

+


අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ‘පියත් නිකේෂල’ට ප්‍රහාරයක්

(10.05.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී අද (10) සවස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල පවසන්නේ පසුගිය වසරේ මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දැමූ කඩුවෙල උප නගරාධිපතිවරයා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ පලකිරීම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය තමන්ට එල්ල වූ බවයි.

මෙම ප්‍රහාරයට මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවත් ඔහු පවසනවා.

මෙම ප්‍රහාරයට කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රහාරයෙන් පියත් නිකේෂල තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තවද මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයටද දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවද ඔහු හිරු නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.

සමාජ ක්‍රියාකාරියෙකු වන පියත් නිකේෂලට අද (10) සවස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙම ප්‍රහාරයට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ බව ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල විසින් පටිගත කළ වීඩියෝවෙහි පැහැදිලිව සටහන් වී තිබුණා.

++++++++++++

අරගල ක්‍රියාකාරී පියත් නිකේෂලත් පොලිස් අත්අඩංගුවට

(10.05.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂල ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරගලයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඔහුට අද (10) සවස කොස්වත්ත ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අද (10) සවස අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මතයි මෙලෙස පියත් නිකේෂල යන අයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

++++++++++

බේරේ වැවේ ඇදුමෙන් ‘ඉන්ටවිව්’ එන්නැයි ගුටිකන්න පෙර පියත් නිකේෂල ගෙන් කහඳගමට ඇමතුමක්…..

(11.05.2023 – 09:20 +0530 – lankacnews.com)

කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයකු පතින් පහර දීමකට ලක් වූ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරී පියත් නිකේෂල විසින් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට දුරකතන ඇමතුමක් ලබා ගන්නා වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වේ.

පසුගිය වසරේ මැයි 09 වැනිදා බේරේ වැවේ සිදුවීම ආශ‍්‍රිත සිදුවීම් සිහිපත් කරමින් ඔහු මහින්ද කහඳගම මහතාට ආරාධනා කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට පැමිණ ලෙසත් එහි එහිදී පසුගිය වසරේ මැයි 09 වැනිදා ඇඳන් සිටි ඇඳුමද ඇඳගෙන එන ලෙසත්ය.

පියත් නිකේෂල මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් කිහිපයක්ම එම ප‍්‍රචණ්ඩකාරී තත්වයේදී ප්‍රහාරයට ලක් වූවන්ට ගෙන සමාජ ජාලාවලට එක් කර ඇති බව ද හෙළි වී ඇත.

මේ වන විට ඔහු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල නගර හිටපු උප නගරාධිපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මතයි.

ඊයේ (10) දිනයේ සිදු වූ පහරදීමකින් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත් විය.

ඔහුට පහර දුන්නේ යැයි චෝදනා එල්ල වන කඩුෙවල හිටපු උප නගරාධිපති වරයාද මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි.

++++++++++

පියත් නිකේෂලට පහර දුන්නේ කලිසම ගලවා නංගිට හෙලුව පෙන්නු නිසා.. අරගල කතාවක් නෑ.. – උප නගරාධිපති

(11.05.2023 – 11:20 +0530 – lankacnews.com)

සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියත් නිකේශල නැමැත්තාට පහර දීම සම්බන්ධයෙන් ඊට චෝදනා එල්ල වන කඩුවෙල නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාදිපතිවරයා ද පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ මෙම තැනැත්තාට පහර දීමට දීමක් සිදු කළේ ඔහු විසින් කලිසම ගලවා තම නැගණියට ලිංගික අවයව පෙන්වීම නිසා බවයි.

එසේ හැර වෙනත් කාරණාවක් නොවූ බව පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

පහරකෑමට ලක්වූ ප්‍රියත් නිකේශල ද අදාළ පැමිණිල්ල මත ජාතික රෝහලේදී අත්අඩංගුට ගෙන තිබේ.

පියත් නිකේෂල විසින් කළ පැමිණිල්ල මත මුල්ලේරියාව රෝහලේ දී මෙම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාද අත්අඩංගුවට ගෙන ඇත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *