ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය

ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය


ප්ලාස්ටික් සෙල්ලම්බඩු නිෂ්පාදන අලෙවිය සීමා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය

(10.05.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ ලෙස ගැටලු ඇති කරන බැවින්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන, අලෙවිය සීමා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.

ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන සහ අලෙවිය සීමා කිරීම සම්බන්ධව එම අධිකාරියේ දී සාකච්ඡා කීපයක්ම පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සෙල්ලම් බඩුවල ප්ලාස්ටික්වලට අමතරව බැර ලෝහ අඩංගු විවිධ තීන්ත වර්ගද අන්තර්ගත බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර ප්‍රකාශ කරනවා.

ශූද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවන බැවින්, දරුවන්ට ලී වලින් තැනූ සෙල්ලම් බඩු ලබාදීමට දෙමාපියන් සැලකිලිමත් වීම වැදගත් බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴


ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.05.2023 – 22:29 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍ර පද්ධතියක් යාපනය ශීක්ෂණ රෝහල් මාවතේ නිවසක සිට වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටි තරුණයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත එම මාර්ගයේ ගමන් ගත් වාහන නවතා කළ පරීක්ෂා කිරීමක දී සැකකරු විසින් එම යන්ත්‍ර පද්ධතිය රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ දී යාපනයේ පලෙයි ප්‍රදේශයේදී රුපියල් 5000 හා රුපියල් 500 බැගින් වූ නෝට්ටුවලින් ව්‍යජ ලෙස මුද්‍රණය කරණ ලද රුපියල් ලක්ෂ 13 ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මෙසේ ඊයේ (09) දිනයේ මුද්‍රණ යන්ත්‍ර පද්ධතිය සමඟ අත්අඩංගුවට ගත් තැනැත්තා මුලින් අත්අඩංගුවට ගෙන සිටින එක් (1) සැකකරුවකුගේ ඥාතියෙකු බවයි.

අදාළ සැකකරු යාපනය ආධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි මස 23 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


පෙම්වතියව ගබ්සා කරන්නැයි ඉල්ලා තරුණයෙකුගෙන් වෛද්‍යවරයෙකුට තර්ජන

(10.05.2023 – 21:52 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට පහර දීමට තැත් කළ තරුණයෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ පෙම්වතියට ගබ්සාවක් කර දෙන ලෙස තර්ජනය කරමින් බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ තරුණයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන පුද්ගලයෙක්.

ඔහුගේ පෙම්වතිය එම ප්‍රදේශයේම ජීවත් වන වයස අවුරුදු 19 ක් වන අවිවාහක තරුණියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඇය තමන්ට අපහසුතා ඇති බව පවසමින් මීට දින දෙකකට (2) පමණ ඉහත දී ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එහිදී තරුණයා රෝහලට පැමිණ ඇති අතර කාන්තාවගේ දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙස ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇයට හෝ ඇයගේ කුස තුළ සිටින දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නමුත් අදාළ තරුණයා අනිවාර්යයෙන්ම ගබ්සාවක් කරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් තරයේම ඉල්ලා සිටි බව සඳහන්.

කෙසේ වෙතත් එම ප්‍රතිකාර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු මේ පිළිබඳ පැහැදිලි කර දීමට තරුණයා තම නිල කාමරයට කැඳ වූ අවස්ථාවේදී වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු නොපිළිගෙන සැකකරු වෛද්‍යවරයාට පහර දීමට උත්සාහ දරා තිබෙන බවයි වාර්තා වන්නේ.

පහරදීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වූ අවස්ථාවේ දී සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා ෴


සාමාන්‍ය අයුරින් රෝහල්වල අක්ෂි ශල්‍යකර්ම සිදුවෙයි – අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

(10.05.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට සාමාන්‍ය අයුරින් රෝහල්වල අක්ෂි ශල්‍යකර්ම සිදු කෙරෙන බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක පැවසුවේ නුවරඑළිය රෝහලේ ද අක්ෂි ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු රෝගීන්ගේ පෙනීම අඩුවීම පිළිබඳව ද පරීක්ෂණයක් සිදුකළ බවයි.

එහිදී ශල්‍යකර්මවලින් පසු භාවිත කරන ඖෂධයක විෂබීජයක් පවතින බව තහවුරු වූ බවද ඔහු කියා සිටියා.

කොළඹ අක්ෂි රෝහලෙන් ද මෙවැනිම සිද්ධියක් වාර්තාවූ අතර, ඒ අනුව අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කර ගැනුණා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් අක්ෂි ශල්‍යකර්ම සිදු කළ රෝගීන් හයදෙනෙකු (6) මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට යොමු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඊයේ (09) ප්‍රකාශ කළා.

තුන්දෙනෙකු (3) රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, තවත් අයෙකු නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴


Xpress Peal හානියට දැමූ නඩුවේ අංකය මොකක්ද..

(11.05.2023 – 06:10 +0530 – lankacnews.com)

‘එක්ස්ප්‍රස් පර්ල්’ පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීමට වහා පියවර ගත යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කරයි.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය :

විජයදාස රාජපක්ෂ මැතිතුමා,
අධිකරණ අමාත්‍ය,
අධිකරණ අමාත්‍යාංශය
අංක 19, සංඝරාජ මාවත,
කොළඹ 10.

ගරු අමාත්‍යතුමනි,

එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීම සඳහා ඇති හැකියාව තව දින 10 ක් වැනි ඉතා සුළු කාලයක් ඇතුළත කාලාවරෝධී වේ. 2021 මැයි 20 දින ගිනිගෙන, දින 12 ක් පුරා ගිනි ඇවිලී, ජූනි 02 දින සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මුහුදේදී මුහුදුබත් වුණු මෙම නැව හේතුවෙන් සිදුවූ පරිසර විනාශය මෑත ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලතම සමුද්‍ර දූෂණය ලෙස සැලකේ. මෙම ගිනි ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පාරිසරික හානිය පමණක් ඩොලර් බිලියන 6.4 ක් ලෙස ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරය සම්බන්ධ වගකිව යුතු කේන්ද්‍රීය ආයතනය වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය(MEPA) විසින් පත් කළ විශේෂඥ කමිටුව ගණන් බලා ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනියගේ නිර්දේශය වූයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදු වූ මෙම විනාශය සම්බන්ධයෙන් නඩු පැවරීම ශ්‍රී ලංකාවේදී සිදු කළ යුතු බව ය. එසේම එහි වත්මන් සභාපතිවරයා විසින් පත් කළ විශේෂඥ කමිටුවේ මතය වන්නේ ද මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නඩු පැවරීම වඩාත් සුදුසු බව ය. පාර්ලිමේන්තුව මගින් පත්කරන ලද ‘පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ විසින් ද නිර්දේශ කර ඇත්තේ මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නඩු පැවරීම සුදුසු බව ය. මෙම අනතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ ව්‍යවස්ථාපිත වගකීම දරන සියලුම ආයතන සහ ඒ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන් සියල්ලන්ගේ ඒකමතික තීරණය එසේ වී තිබියදී අදාළ නඩු පැවරීම සිංගප්පූරුවේදී සිදු කිරීමට අත්තනෝමතිකව තීරණය කරනු ලැබූයේ කුමන සාධාරණ හේතුවක් මත ද යන්න රජය විසින් පළමුව ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ජනතාවගේ පරමාධිපත්‍යය, අධිකරණ මගින් ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. එසේම බලධාරී ආයතන සහ අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශයට පටහැනි තීරණ රජය විසින් ගනු ලැබූ අවස්ථාවක එසේ සිදු කළේ මන්දැයි යන්න දැනගැනීමේ ජනතාවගේ අයිතිය මෙන්ම අදාළ තීරණය සාධාරණ බව ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමේ රජයේ වගකීම ද එකිනෙක හා බැඳී පවතී.

එබැවින්,

  1. ‘අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔබතුමන් සහ රජයේ නියෝජිතයන් විසින් ජනතාවට අඟවන පරිදි මේ සම්බන්ධයෙන් නඩුවක් සිංගප්පූරුවේ පවරා ඇත්ද?’ යන්න නිශ්චිතව තහවුරු කරන ලෙසත්
  2. එසේ නඩු පවරා ඇත්නම් එහි නඩු අංකය සහ එම නඩුවේ (පෙත්සමේ) පිටපතක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්
  3. ‘අදාළ නඩුව ශ්‍රී ලංකාවේ පවරන ලෙස සිදු කර ඇති ආයතනික හා විශේෂඥ නිර්දේශ අතික්‍රමණය කරමින් එම තීරණය ගනු ලැබුවේ කුමන විද්‍යාත්මක කරුණු, නිර්දේශයන් හා පූර්වාදර්ශයන් මතද?’ යන්න ජනතාවට සහ පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙසත් ඉල්ලා සිටිමි.

‘මෙම සමාගම් සිංගප්පූරුවේ ලියාපදිංචි වී ඇති සමාගම් බැවින් එම රටේ නඩු පැවරීම වඩාත් සුදුසු ය’ යන්න මේ වනවිටත් නිෂේධනය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් වෙනත් සංවිධාන විසින් මෙරටදී පවරා ඇති නඩුවලට එම විදේශීය සමාගම්වල නියෝජිතයන් දැනටමත් පෙනී සිටින බැවිනි.

එසේම කිසියම් හේතුවක් මත මෙම නඩුවේ වන්දිය නොලැබී ගියහොත් හෝ ඉතාමත් අවම නාමික වන්දියක් ශ්‍රී ලංකාවට ලැබුණහොත් අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවරෙක් ද? යන්න ජනතාවට වහාම හෙළිදරව් කිරීම මගින් එක්ස්ප්‍රස් පර්ල් හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට රජය බැඳී සිටින බව ද අවධාරණයෙන් සිහිපත් කරමි.

මෙයට ව්ශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *