ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්

ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්


ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්

(10.05.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ රාත්‍රී සමාජශාලාවක සාදයක් දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙනවා.

පසුගිය හත්වැනි (7) දා රාත්‍රියේ ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකදී සාදය පවත්වා ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එම සමාජ ශාලාවේ සේවය කරන කාන්තාවකගේ හිසට වීදුරුවකින් පහරදී බරපතළ තුවාලද සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට ගැනීම වළක්වා පලා යාමට සැලැස්වීම ද කොස්තාපල්වරුන් දෙදෙනා (2) විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හා ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් (2) ෴


‘මෝචා’ වෙනුවෙන් ඉන්දියාව සීරුවෙන්

(10.05.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින ‘මෝචා’ සුළි කුණාටුව සිකුරාදා (12) වන විට ඉතා දරුණු කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් මේ වන විටත් නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය ඇතුළු නැගෙනහිර ප්‍රාන්ත සිදුවිය හැකි අවධානමට මුහුණ දීම සඳහා සූදානම් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුව, ‘මෝචා’ සුළි කුණාටුව ඊයේ (09) දින පීඩන අවපාතයක් බවට පත්ව අද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවත්, සිකුරාදා දිනයේ බංගලාදේශය සහ මියන්මාර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් සඳහන් ෴


දුඹුරු සීනි සිද්ධියට අදාළ සමාගම දඩය ලෙස රුපියල් මිලියන 160 ක් භාණ්ඩගාරය වෙත ගෙවයි

(10.05.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala)

රේගු ආඥාපනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝණය කරමින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 607.5 ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ දඩ මුදල ලෙස රුපියල් මිලියන 160 ක මුදලක් බැර කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු නඩු අංක PCAD/2023/0001/CCR/0006 යටතේ නඩු පැවරුණා.

එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මාස 09 දා රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා ෴


75 හැවරිදි වයෝවෘද්ධ කාන්තාවකට ලිංගික හිරිහැර කරලා

(10.05.2023 – 16:55 +0530 – hirunews.lk/sinhala)

බීමත් පුද්ගලයෙකු විසින් ලිංගික අතවරයක් කිරීමට තැත්කල වයස අවුරුදු 75 ක වයෝවෘද්ධ මාතාවක් ඊයේ (09) රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුලත් කල බව කන්දකැටිය පොලීසිය පවසනවා.

මේ අතර සිද්ධීයට සම්බන්ධ 51 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධීයට සම්බන්ධ සැකකරු අධීක ලෙස බීමත්ව පැමිණ කතා කිරීමේ පවා අපහසුතාවකින් පෙළෙන මෙම වයෝවෘද්ධ මාතාවට හිරිහැර කිරීමට සැරසෙද්දී අසල්වාසී පිරිසක් එය දැක ඇති අතර ඉන්පසුව සැකකරු මෙම මාතාව අත්හැර දමා පලා ගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


අලව්ව තැපැල් කාර්යාලය බිඳ ලක්ෂ ගණනක් වටිනා මුද්දර සොරාගෙන

(10.05.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

අලව්ව තැපැල් කාර්යාලය බිඳ රුපියල් ලක්ෂ තුනකට (3) වැඩි මුදල් සහ රුපියල් ලක්ෂ හතරකට (4) වැඩි වටිනාකමක් ඇති මුද්දර සොරා ගෙන තිබෙන බවට අලව්ව තැපැල් ස්ථානාධිපතිනිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුගිය වෙසක් නිවාඩුවට තැපැල් කන්තෝරුව වසා තැබූ අවස්ථාවේයි මෙම සොරකම සිදුව ඇත්තේ.

තැපැල් කාර්යාලය තුළ වූ මුදල් සේප්පුව ග්‍රයින්ඩරයක් උපයෝගී කරගෙන කපා දමා එහි තිබූ මුදල් සහ මුද්දර මෙලෙස රැගෙන ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තකරු සඳහන් කළේ.

වැඩිදුර විමසීමේ දී අලව්ව පොලිසිය අනාවරණය කළේ මීට ටික දිනකට පෙර කැලණිය සහ වරකාපොල තැපැල් කාර්යාලයන් ද කොල්ල කා ඇත්තේ මේ සමානම අයුරින් බවයි ෴


තවත් කොවිඩ් මරණයක්

(10.05.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් මරණයක් ඊයේ (09) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මේ අතර පසුගිය (07) වන දා ද කොවිඩ් මරණ 3 ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ ඩෙංගු රෝගීන් හා මී උණ රෝගීන් වාර්තා වීම වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කළා ෴


අවුරුදු දෙකහමාරක (2½) දියණියක් ළිඳට වැටී ජීවිතක්ෂයට

(10.05.2023 – 18:20 +0530 – hirunews.lk/sinhala)

යාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට ඊයේ (09) සවස අවුරුදු දෙකහමාරක් (2½) වයසැති දියණියක් වැටී දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා.

මිය ගිය දියණියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටව යාමෙන් පසුව දැරියගෙ මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරවාරයේදී මෙම දියණිය මිදුලේ සෙල්ලම් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

පසුව මෙම දියණිය අසල තිබූ ළිඳ සමීපයට ගොස් සෙල්ලම් කරමින් සිටියද දැරියගේ මව ඒ පිළිබඳව නිරීක්ෂණය නොකිරීම හේතුවෙන් සෙල්ලම් කරමින් සිටි දැරිය එකවරම ළිඳට වැටී ඇති බවයි සඳහන් වන්නේ.

දැරිය ළිඳට වැටීමෙන් පසුව මව ළිඳ සමීපයට පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ ළිඳේ සිටි දරුවා ගොඩට ගෙන රෝහල්ගත කල ද දරුවා ඒ වනවිටත් මිය ගොස් තිබෙනවා ෴


ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර ලබාදුන් පුද්ගලයින් අත්අඩංගුවට

(10.05.2023 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර මගින් පුද්ගලයින් ඉතාලියට යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ (09) කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දින කිහිපයකට පෙර එම ඒකකයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් ව්‍යාජ වීසා මගින් ඉතාලියේ යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරම් ගැන තොරතුරු අනාවරණය වූයේ.

ඉතාලි වීසා සඳහා මෙම ජාවාරම්කරුවන් ලක්ෂ 25 ක් සහ ලක්ෂ 17ක් මුදල් ලබා ගෙන ඇති බවට ද මේ වන විට තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිසිය සඳහන් කළේ ෴


පැහැරගැනීමේ බියක් නිසා මන්නාරමේ දරුවන්ට විශේෂ ආරක්ෂාවක්

(10.05.2023 – 19:24 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

එම තොරතුරට අනුව පාසල් අසළ සහ ඒ අවට මාර්ගවල විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇති බව සඳහන්.

වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් ළමයින් දෙදෙනෙකුට (2) කිසියම් ආහාර වර්ගයක් ලබාදී ඔවුන් පැහැර ගැනීමට උත්සහ දරා ඇති බවටයි පොලිසියට වාර්තා වී ඇත්තේ.

එහිදී ළමුන් දෙදෙනා (2) කෑගැසීමත් සමඟ අදාළ වෑන් රථයේ සිටි පිරිස් පළාගොස් තිබෙනවා.

එම සිදුවීම දෙමාපියන් විසින් මන්නාරම පොලිස් ස්ථානයට සහ පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව පොලිසිය විසින් පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

වෑන් රථයෙන් පැමිණි පිරිස් පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පාසල් ළමුන් පැහැරගැනිමට තැත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දක්වන කරුණු පිළිබඳවත් පොලිසියෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


දැරියන්ගේ ඡායාරූප භාවිතයෙන් අසභ්‍යය දේවල් පළ කළ තරුණයකු අත්අඩංගුවට

(10.05.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

කුඩා දැරියන්ගේ ඡායාරූප භාවිතයෙන් මුහුණු පොත හරහා අසභ්‍යය දේවල් පළ කළ තරුණයකු පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පදිංචි හතළිස් (40) හැවිරිදි පුද්ගලයෙක්.

මුහුණු පොත තුළ විවිධ පුද්ගලයන්ගේ ගිණුම් තුළ තිබෙන දැරිවියන්ගේ ඡායාරූප රැගෙන මෙම සැකකරු මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

අනුරාධපුර ප්‍රදේශයේ රැකියාවක නිරත වී සිටියදී එම ආයතනයෙන් විසින් ලබා දුන් ජංගම දුරකථන සිම් පතක් උපයෝගී කරගෙන සැකකරු මෙලෙස මුහුණු පොතේ ගිණුම විවෘත කර ගෙන ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඊයේ (09) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණා.

ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ද කැඳවන ලෙසට ද නියෝග ලැබී තිබෙනවා ෴


මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(10.05.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ මෙන් ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා

2022 මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳව ඊයේ (09) පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඕනෑම ආකාරයක ණය ප්‍රශස්තකරණයක දී බැංකු පද්ධතියේ ස්ථායිතාව මෙන් ම පොදු තැන්පතු ආරක්ෂා කිරීම සහතික කර ආරක්ෂා කර ගන්නා බවයි ඔහු සඳහන් කර සිටියේ.

මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම බව ද ඔහු සඳහන් කර සිටියා.

2027-2032 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික මූල්‍යකරණ සීමාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් දේශීය ණයවල කල්පිරීම දීර්ඝ කළ යුතු අතර, එය දැනට පවතින සියයට 30 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 දක්වා පහත දැමිය යුතු බවයි ඔහු පවසා සිටියේ ෴


බැලුම්මහර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අතුරුදහන්

(10.05.2023 – 21:24 +0530 – hirunews.lk/sinhala)

බැලුම්මහර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අතුරුදහන් වී තිබෙනවා.

තම දියණිය අතුරුදහන් වූ බවට දියණියගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූ මෙම දියණිය අද (10) අලුයම් කාලයේ සිට නිවසින් අතුරුදහන් වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිදුවීම පිළිවඳව යක්කල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *