ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ල කෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට

ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ල කෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට


ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ල කෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට

(10.05.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර රන් ආභරණ කොල්ලකෑ එම කාන්තාවගේ සොයුරා සහ ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙකු (3) අතුරුගිරිය පොලිසිය පොලීසිය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තිදෙනා (3) අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය පානයට මුදල් නොමැති හෙයින් සොයුරාගේ අනියම් බිරිඳ විසින් කොල්ල කෑම සැලසුම් කර ඇති බවයි විමර්ශනවල දී හෙළිවී ඇත්තේ.

දින කිහිපයකට පෙර ගර්භණී කාන්තාව පදිංචි අතුරුගිරිය ඔරුවල නිවසට පැමිණි අනියම් බිරිඳ සහ ඇයගේ ඥාති සොයුරෙකු සමගින් පානය කිරීම සඳහා වතුර ඉල්ලා තිබෙනවා.

වතුර පානය කිරීමෙන් අනතුරුව කාන්තාවගෙන් ආහාර ඉල්ලා ඇති අතර ආහාර නොමැති බව පවසා ඇය නිවස තුළට යාමට සූදානම් වූ අවස්ථාවේ දී මෙම සැකකාරිය සහ සැකකරු ඇයගේ ගෙලට පිහියක් තබා මරන බවට තර්ජනය කර ඇය සතු රන් භාණ්ඩ සහ නිවසේ අල්මාරියේ තිබ තිබූ රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේ දී ඔවුන්ගේ ග්‍රහණයෙන් බේරීමට ගර්භනී කාන්තාව පොර බදා ඇති අතර එම අවස්ථාවේ දී ඇයගේ පාදය සහ කලවා ප්‍රදේශයට පිහි පහරවල් එල්ල කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ගර්භණී කාන්තාවගේ සොයුරා නිවසෙන් පිට මාර්ගයේ රැඳී සිට තිබුණා.

සි.සි.ටි.වි. දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ ස්ථානවල උගස් තබා තිබූ රන් භාණ්ඩ ද සොයාගත් බවයි අතුරුගිරිය පොලිසිය පවසන්නේ‍ ෴


බිත්තර හිඟය විසඳන තෙක් ඒකාබද්ධව කටයුතු කරන්න සියලු පාර්ශ්ව එකඟවෙයි

(10.05.2023 – 08:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා ගැටළුව විසඳන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ඊයේ (09) එකඟත්වයට පැමිණ තිබෙනවා.

මෙම රැස්වීම සඳහා බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල නිලධාරීන් එක්ව සිටි බවයි නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට දෛනික දේශීය බිත්තර අවශ්‍යතාව මිලියන හතක් (7) වන අතර, දෛනික දේශීය නිෂ්පාදනය මිලියන 5.2 ක්.

දෛනික බිත්තර අවශ්‍යතාව සඳහා පවතින හිඟය ලක්ෂ 14 ක්.

ඒ අනුව පවතින හිඟය පියවාගැනීම සඳහා බිත්තර ආනයනය කිරීම තවදුරටත් සිදුකරනු ලබනවා.

බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර තීන්දුවක් ගැනීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.

එමෙන්ම ආනයනික බිත්තර වරායෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය සාම්පල පරීක්ෂාව කඩිනම් සිදු කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ ෴

++++++++++

බිත්තර පාලන මිල ඉවත් කරන්නැයි කුකුළු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක්

(10.05.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති බිත්තර සඳහා වූ පාලන මිල ඉවත් කළහොත් බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර අද (10) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ අදාළ පාලන මිල හේතුවෙන් ඇතැම් බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරයෙන් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි.

බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙන්ම පවතින බිත්තර හිඟය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඊට බිත්තර නිෂ්පාදකයින්, කුකුළු ගොවිපොල හිමිකරුවන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියා.

එහිදී සිය ගැටලු ඉදිරිපත් කළ බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සදහන් කළේ ෴


නඩු කටයුත්තට අගතියක් නොවන අයුරින් ‘එක්ස්ප්‍රස් පර්ල්’ විවාදය පැවැත්වීමට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

(10.05.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ වන්දි ලබා ගැනීමට අදාළව පැවැත්වෙන විවාදය අතරතුර දී කල් දැමුණු පාර්ලිමේන්තු සභා වාරය නැවත ආරම්භ කෙරුණා.

ඒ අදාළ විවාදය සිංගප්පූරුව අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට බාධා නොවන අයුරින් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කිරීමත් සමගයි.

අදාළ නෞකාවේ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණයේ නඩු පවරා ඇති බැවින් මෙම විවාදය පැවැත්වීම සුදුසු ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

එසේම තමන් විවාදයට සහභාගි නොවන බවට ද විවාදය ආරම්භයේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නා.

අනතුරුව, සභාවේ ඇති වූ සංවාදාත්මක තත්ත්වය හමුවේ කතානායකවරයා, පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් දමමින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගනු ලැබුවා.

+


ඩොලර් සොයන කේබල් කාර් ව්‍යාපෘතිය ලංකාවේ පටන් ගන්න යයි

(10.05.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ඩොලර් හිඟයට ප්‍රධාන විසඳුමක් වශයෙන් සංචාරක පැමිණීම අරමුණු කරගනිමින් , සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු අවධාරණය කරනවා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට එම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව සභාපතිවරයා පැවසූ අතර, මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ, ඊට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි ෴


අණ නොතකා ධාවනය කෙරූ කැබ් රථයකට පොලිසියෙන් වෙඩි

(10.05.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පුනරින් සන්ගුපිටිය මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට තැත්කර පලා යමින් සිටි කැබ් රථයකට ඊයේ (09) පොලිසිය වෙඩි තබා තිබෙනවා.

කැබ් රථයේ ටයරයකට වෙඩි වැදී තිබියදීත් එය ධාවනය කළ පුද්ගලයා කිලෝමීටර් දහයක් (10) පමණ දුර ගොස් ලඳු කැලෑ සහිත ප්‍රදේශයක කැබ් රථය අතහැර පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පුනරින් පොලිසිය පවසන්නේ සිදු කළ විමර්ශනවල දී පලාගිය පුද්ගලයා හඳුනා ගෙන ඇති බවයි.

ඔහු ප්‍රදේශයේ දැව ජාවාරමේ නිරත වන නඩු රැසක් තිබෙන පුද්ගලයෙකු බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා.

මේ වන විට පුනරින් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනවා ෴


මිනිසුන් ස්පර්ශ කළ නිසා කොටි මව පැටවා ප්‍රතික්ෂේප කරයි

(10.05.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

තලවකැ‍ලේ ප්‍රදේ‍‍ශයේ තේ වත්තක අතරමංව සිටි කොටි පැටවෙකු ප්‍රතිකාර සඳහා රන්දෙ‍ණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට වන ජීවි නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.

අතරමං වූ කොටි පැටවා තලව කැලේ තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට හමු වී ඇති අතර ඔවුන් විසින් කොටි පැටවාව කොටි මවට බාර දීමට කිහිප විටක දී උත්සහ කළ ද කොටි පැටවා අසළට පැමිණි මව කොටි පැටවා ගෙන යෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිසිදු ආහරක් නොලැබූ කොටි පැටවා රෝගී තත්ත්වයෙන් පසු වූ නිසා රන්දෙ‍ණිගල පශු වෛද්‍ය රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

කොටි පැටවාව මිනිසුන් විසින් ඉස්පර්ශ කර තිබෙන බවට ඉව ඇති නිසා කොටි මව මෙලෙස තම කොටි පැටවා ප්‍රතික්ෂේප කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

+


නීතිවිරෝධී ලෙසින් පුද්ගලයන් ඕස්ට්‍රේලියාවට යැවීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

(10.05.2023 – 14:55 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 33 දෙනෙකු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරවීමට උත්සාහ කළ ජාවාරම් කරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

එම කණ්ඩායමේ මෙහෙයවීමෙන් ඔස්ට්‍රෙලියාව බලා පිටත් වීමට උත්සාහ කළ පුද්ගලයින් 33 දෙනා ද රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණා.

+


වී වගාව සඳහා යොදන යූරියා අපතේ යාම පිළිබඳ පරීක්ෂණයක්

(10.05.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65 ක් පමණ අපතේ යන බවට පළවන මතවාද සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (10) නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදීයි. යුරෝපා සංගමයට අයත් රටවල් මෙන්ම චීනය, ඉන්දියාව වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිත කරන ආකාරය පිළිබඳව පදනම් කරගෙන සිය විමර්ශන සිදුකරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

දැනට රට තුළ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේදී බයියුරේට් ප්‍රතිශතය සියයට 01 ට වඩා අඩු යූරියා පොහොර පමණක් වී වගාව සඳහා නිර්දේශ කෙරෙන අතර ඇමරිකාව, චීනය වැනි වෙනත් රටවල එම අගය සියයට 1.5 ට වැඩි අගයක් ගන්නවා.

එම නිසා යූරියා පොහොරවලින් සියයට සියයක ඵලදායිතාවක් ලබාගත හැකි පරිදි නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ ෴


පි‍‍යෙක් තම දරුවා අපයෝජනය කරයි

(10.05.2023 – 15:58 +0530 – hirunews.lk/sinhala)

දහතුන් (13) හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ එම දරුවාගේ පියා අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පෙරේදා (08) රාත්‍රියේ අධික ලෙස බීමත්ව නිවෙසට පැමිණ ඇති මෙම පුද්ගලයා නිවසේ නිදා සිටි දරුවා අපයෝජනයට ලක් කර තිබෙන බව සඳහන්.

ඔහු නින්දට ගිය විට දරුවා නිවසින් එළියට පැමිණ විදෙස්ගතව සිටින මවට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම පවසා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ දරුවාගේ මව ඇයගේ සොයුරියට විස්තර පවසා දරුවා ඇය භාරයට ගැනීමට කටයුතු සලස්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

පෙරේදා (08) අහුන්ගල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර සැකකාර පියා අහුන්ගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර දරුවා අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *