උපදෙස් දීමට යාමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පාසල් සිසුවාගෙන් ප්‍රහාර

උපදෙස් දීමට යාමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පාසල් සිසුවාගෙන් ප්‍රහාර


උපදෙස් දීමට යාමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) පාසල් සිසුවාගෙන් ප්‍රහාර

(10.05.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

නිවසේ ‘මියුසික් සෙන්ටර් යන්ත්‍රය’ අධික ශබ්දයෙන් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ කපුගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ සැරයන්වරයකුට පහර දුන් බව කියන 17 හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු එකම පවුලේ සහෝදරයන් තිදෙනකු (3) අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

සැකකාර අයියා මලෝ තිදෙනා (3) ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසන්නේ.

අත්අඩංගුවට ගැනීමට සොයන 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහෝදරයන් දෙදෙනා (2) කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමක නිරතව සිටින අය බවද පොලිසිය ප්‍රකාශ කරනවා.

එම සහෝදරයන් දෙදෙනාට (2) එරෙහිව කපුගොල්ලෑව පොලිසිය අධිකරණයේ නඩු පවරා ඇති බව ද එම නිලධාරියා කියා සිටිනවා.

විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති ‘මියුසික් සෙන්ටර් යන්ත්‍රයකින්’ නිකුත් වන අධික ශබ්දය උහුලා ගැනීමට නොහැකි බවත් එම විහාරස්ථානයේ ආගමික කටයුතු වලට පවා මහත් බාධාවක් බවත් පවසමින් කපුගොල්ලෑව අලියාකඩ ශ්‍රී සමුද්‍රාසන්න විහාරයේ විහාරාධිපති හිමියන් කපුගොල්ලෑව පොලිසියට දුරකථනයෙන් දැනුම්දී තිබෙනවා.

ඒ පිළිබඳව සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ‘මියුසික් සෙන්ටර් යන්ත්‍රයේ’ ශබ්දය අඩු කරන ලෙස මෙම පාසල් සිසුවාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු එම දැනුම්දීම කළ පොලිස් සැරයන්වරයාට අතින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පහරදීමෙන් සැරයන්වරයාගේ තොල් පුපුරා තුවාල සිදු වී ඇතැයි ද පොලීසිය සඳහන් කරනවා.

පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව කපුගොල්ලෑව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා එම නිවසට යමින් සිටිය දී සිසුවාගේ සහෝදරයන් දෙදෙනා (2) පොලිස් ස්ථානාධිපතිවරයාට පොලු පහර එල්ල කර පලා ගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සිද්දිය සම්බන්ධයෙන් කපුගොල්ලෑව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරගෙන යනු ලබනවා ෴

+++++++++

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(10.05.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)

කපුගොල්ලෑව පොලිස් වසමේ අලියා කඩ ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදී රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

එහි දී ඊයේ (09) දින හොරොව්පොතාන පොලිස් ස්ථානය මඟින් විමර්ශන සිදුකර පහර දීමට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 23 හා 24 යන වයස්වල පසුවන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් කපුගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබනු අතර සැකකරුවන් අද (10) දින කැබිතිගොල්ලෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්දිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


සමනලවත්තේ තවත් පුද්ගලයෙකු (1) අභිරහස් ලෙස අතුරුදන්

(10.05.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු පෙරේදා (08) උදෑසන සිට අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ උදෑසන දළු කැඩීම සඳහා නිවසින් ඔහු පිටව ගොස් ඇති අතර, මේ වනතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 39 හැවිරිදි තුෂාර සම්පත් නැමති පුද්ගලයෙක්.

ඊයේ (09) විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ ද කිසිදු හෝඩුවාවක් අනාවරණ කරගැනීමට හැකිවී නැහැ.

මේ අතර පසුගිය 3 වැනිදා ද බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට වාර්තා වුණා.

සමනලවත්ත ප්‍රදේශයේදී කුඩා දරුවෙකු ද අතුරුදන්වූ අතර, ඔහු පිළිබඳව ද මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැහැ.

+


නාදුනන මළ සිරුරක් වත්තේගම ප්‍රදේශයෙන් හමුවේ

(10.05.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

වත්තේගම පොලිස් වසමේ පොල්ගොල්ල ජලාශයේ ඊයේ (09) දින නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට වත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු අවුරුදු 25 ත් 30 ත් වයසේ පසුවන උඩ අඩි 05 යි අගල් 05 ක් පමණ වූ කොණ්ඩය කොටට කපා කළු පැහැති දිග කලිසමක් ඇඳ සිට ඇති අයෙක්.

මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා ෴


වනඅලියෙකු පහර දීමෙන් කාන්තාවක් මිය යයි

(10.05.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

හබරණ පොලිස් වසමේ සුරියගම ප්‍රදේශයේ දී අද (10) දින වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මරණකාරිය වයස අවුරුදු 64 ක් වූ සූරියගම, නබරණ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත දේහය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (10) දින පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සිද්දිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(10.05.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

හඟුරන්කෙත පොලිස් වසමේ කිරිමැටිය ප්‍රදේශයේ ඊයේ (09) දින පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

එහි දී හඟුරන්කෙත පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 70 ක් වූ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා ෴


පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

(10.05.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා.

එහි පළමු (1) අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි කොමසාරිස් නිශාන්ත වීරසිංහ පවසන්නේ ෴


‘බඩෝවිට ලොකු මල්ලී’ අත්අඩංගුවට

(10.05.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමක් දී සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ නැමැත්තාගේ සමීපතමයෙකු වන ‘බඩෝවිට ලොකු මල්ලී’ හෙවත් ‘චමින්ද කුමාර සිල්වා’ හෙරොයින් සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම කර ඇත්තේ.

37 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ, මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී සැකකරුව අත්අඩංගුවට ලත් බවයි.

අදාළ මොටර් රථය තුළ රුපියල් ලක්ෂ 03 ක පමණ වටිනාකමක්න් යුත් හෙරොයින් ග්‍රෑම් 16 කට අසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් (2) සොයාගත් බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවා.

පසුව සැකකරුව දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අඩු ආදායම්ලාභී නිවාස සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙලක්

(10.05.2023 – 10:45 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී නිවාස 25,000 ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි.

මෙම ව්‍යාපෘතිය පළමුව (1) අදියර දෙකක් (2) වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, පළමු (1) අදියර යටතේ නිවාස 10,000 ක් සඳහා සූර්ය පැනල මඟින් විදුලිය ලබාදීමට නියමිත බවයි.

අනතුරුව දෙවැනි (2) අදියර යටතේ නිවාස 15,000 ක් සඳහා සූර්ය පැනල මඟින් විදුලිය ලබාදෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

එක් (1) නිවසක් සඳහා රුපියල් මිලියන 2.5 ක මුදලක් වෙන් කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වාර්තා අනුව 2015 – 2019 වසරවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කර විවිධ හේතු නිසාවෙන් අතරමඟ නතරවූ නිවාස සංඛ්‍යාව 69,000 කි.

ඒ අතරින් තෝරාගත් නිවාස 25,000 ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

එම නිවාසවල වැඩ අවසන්කොට වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් කිලෝවොට් 20 විදුලියක් උත්පාදනය කරයි.

එම විදුලිය නිවාසවල පාවිච්චියට අමතරව ජාතික විදුලිබල පද්ධතියටද එක්කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2015 – 2019 වසරවල අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් දියත් කරනු ලැබූ නිවාස ව්‍යාපෘති රැසක් මේ වනවිට විවිධ හේතු මත අතරමඟ නතරව ඇත.

ඒ අනුව මොනරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11 හි රජයේ ඉඩම්වල, ගම්මාන වශයෙන් ආරම්භ කරන ලද අතරමඟ නතරව ඇති තෝරාගත් නිවාස යෝජනා ක්‍රම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙරට සමාඟමකට අමතරව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ හා ඕස්ට්‍රේලියානු සමාගම් සමඟ ඒකාබද්ධවී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වසර 20 ක් ගතවනතුරු සූර්ය පැනලවල නඩත්තුව ආයෝජකයා විසින් සිදුකරනු ලබන බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පළමු වසර 7 සදහා විදුලි ඒකකයක් සදහා ඇමරිකානු ඩොලර් 0.116 ක මුදලක් ආයෝජකයා වෙත ගෙවන අතර ඉතිරි වසර 13 සදහා විදුලි ඒකකයකට ඇමරිකානු ඩොලර් 0.0816 ක් ගෙවනු ලබයි.

මෙම සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය හරහා වසරකට ගිගාවොට් 648 ක ප්‍රමාණයක විදුලිය උත්පාදන කෙරේ.

එබැවින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට වසරකට වැයවන මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 116.64 ක මුදලක් ඉතිරිවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම ව්‍යාපෘතියෙන් ගිවිසුම්ගත විසිවසරක (20) කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,332.80 විදේශ විනිමය වටිනාකමක් රටට ඉතිරිවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ෴


දප්පුල අත්අඩංගුවට ගැනීම වළකමින් නිකුත් කළ අතුරු නියෝගය දීර්ඝ කෙරේ

(10.05.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විමර්ශන කෝට්ඨාශය විසින් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ජුනි 22 දක්වා දීර්ඝ කර තිබෙනවා ෴


සයිබර් ප්‍රහාරයකින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියේ වැඩිදුර වාර්තා කැඳවයි

(10.05.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

සයිබර් ප්‍රහාරයක් සිදුකර ප්‍රසිද්ධ බැංකුවකින් ඩොලර් මිලියන 2.104 ක මුදලක් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව වැඩිදුර වාර්තා සඳහා සැප්තැම්බර් මස 06 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (10) නියෝග කළා.

ඒ සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ලිට්රෝ සමාගමේ හිටපු සභාපති, ශලීල මුණසිංහ, ජනක චමින්ද නම්මුනිගේ, චූලපාල ලලීන්ද්‍ර සිල්වා සහ බන්දුල වීරවර්ධන යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *