‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක්

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක්


‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ගෙන් හෙළිදරව්වක්

(10.05.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ආ ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (07) සිට අවස්ථාව ලබා දී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළා.

< ‘කුඩු සළිඳු’ —– ‘හරක් කටා’ >

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මැඩගස්කරයේ දී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයට අනුව අත්අඩංගුවට ගනු ලබන්නේ මාර්තු 01 වෙනිදාය.

මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මාර්තු 13 ඔවුන් දෙදෙනාව (2) භාරගෙන මෙරටට රැගෙන එන්නේ මාර්තු 15 වෙනිදාය.

එදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දින 90 ක කාලයක රැඳවුම් නියෝගයකින් රඳවාගෙන සිටින මෙම අපරාධකරුවන් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැරුණු කොට වෙන කිසිදු විමර්ශන අංශයකට මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරිම් හමුවේ දී මෙම අපරාධකරුවන් දෙදෙනා (2) ගේ පාතාල අපරාධ ජාලය ගැන මෙන්ම ඔවුන්ගේ සම්බන්ධකම් ගැන ද බොහෝ තොරතුරු හෙළිවී තිබෙනවා.

පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකු ගැන පවා ඔවුන්ගෙන් තොරතුරු හෙළිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොවුන්ගෙන් කළ ප්‍රශ්න කර ඇත්තේ මෙම අපරාධකරුවන් දෙදෙනා (2) ගේ වත්කම් සම්බන්ධයෙනි.

මේ වන විට ඔවුන්ට අයත් වත්කම් සම්බන්ධයෙන් වාර්තා රැසක් නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සතුව තිබෙනවා.

එම වත්කම් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ වත්කම් හැම දෙයක්ම තහනම් කර ඇති බැවින් තමන්ට දැන් ඇති වත්කමක් නොමැති බවයි.

නමුත් තහනම් කළ වත්කම් හැරුණුකොට මොවුන් දෙදෙනා (2) සතුව දෙස් විදෙස් තවත් වත්කම් රැසක් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කර ඇත්තේ මත්කුඩු ජාලය සම්බන්ධයෙනි.

එහිදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට ඉහළින් තවත් ප්‍රබලයින් කිහිපදෙනෙක් සිටින බවයි.

ඔවුන්ගේ මත්කුඩු ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ විසින් කර ඇත්තේ බෙදා හැරීම පමණක් බවත් ඔවුන් පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ ඝෘජුව සම්බන්ධ වෙමින් මත්කුඩු මෙරටට රැගෙන ආ බවක් පැහැදිලිවම මෙතෙක් හෙළිවී නොමැති බවයි පොලිසිය තොරතුරු අනාවරණය කළේ.

මෙහිදී ‘හරක් කටා’ට සහ ‘කුඩු සළිඳු’ට ඉහළින් සිටින අය හඳුනා ගැනීමට හැකි වීම ඉදිරි විමර්ශනවලට ලොකු පිටිවහලක් වී ඇති බව ද සඳහන්.

එම පස්දෙනා (5) අතුරින් කිහිපදෙනෙකුවම මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කල්තියා හඳුනාගෙන සිටි අය වීම විශේෂිතයි.

ඒ අය සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් මේ වන විටත් පවතින බව පොලිස් තොරතුරු අනාවරණය කළා ෴

++++++++

මිදිගම දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ උත්සාහය වරදී

(10.05.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

මිදිගම පොලිස් ස්ථානය අසල පිහිටි වෙළදසැළක හිමිකරුට යතුරුපැදියෙන් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රි 8 ට පමණ මෙම සිද්ධිය වාර්තා වූ බවයි මිදිගම පොලිසිය ප්‍රකාශ කළේ.

හිමිකරු වෙළදසැළ තුළ සිටියදී ටී.56 ගිනි අවියක් භාවිතයෙන් මෙලෙස වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර එය අසාර්ථක වී ඇත්තේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

පසුව යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා (2) පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ, වෙළඳසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක්කටා’ නිදහස් නොකරන ලෙස ඉල්ලා විරෝධතා සංවිධානය කළ අයෙකු බවයි ෴


තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

(10.05.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ පොලිස් වසමේ වටරැක ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇති බවට ඊයේ (09) දින මීගොඩ පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 52 ක් වූ පනාමුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණ කාරිය වසර තුනක (3) පමණ කාලයක සිට පනාමුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ වටරැක ප්‍රදේශයේ ජිවත්ව සිට ඇති අතර එම පුද්ගලයාගේ පෙර විවාහයේ බිරිඳ සහ ඇයගේ සහෝදරයා විසින් පානමුර ප්‍රදේශයේ සිට වටරැක ප්‍රදේශයට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත්තේ.

සැකකරු හා සැකකාරිය අපරාධය සිදු කිරීමෙන් පසු පලායමින් සිටියදී මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පාදුක්ක පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සිදු කිරීමට යොදාගත් බවට සැක කරන මන්නා පිහි 02 ක් ද, ඔවුන් සන්තකයේ තිබී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් හා සැකකරු වයස අවුරුදු 40 ක් වූ පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරු 2016 වසරේ යුධ හමුදාවෙන් පලා ගිය අයෙකු බවට දැනට සිදුකරන විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු හා සැකකාරිය අද (10) දින හෝමාගම ගරු මහේස්ත්‍රයත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්දයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩවර්ජනයක

(10.05.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පැය 24 ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් නියමිත කාර්යාල දුම්රිය 05 ක් අවලංගු කර තිබෙනවා.

එම හේතුවෙන් අද (10) දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5 ක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේනතුව පවසනවා.

++++++++

වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගුයි

(10.05.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් දියත් කර ඇති පැය 24 ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (10) සවස කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපෑල් ඇතුළු නියමිත දුම්රිය ගමන්වාර 11 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය, ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, මඩකලපුව බලා සවස ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, පුත්තලම බලා ධාවනය වන කාර්යාල දුම්රිය හා තවත් කාර්යාල දුම්රිය සමඟ දුම්රිය ගමන් වාර 11 ක් දැනට අවලංගු කොට ඇති බවයි සඳහන්.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ විධායක සභාව ඊයේ (09) රැස්වීමෙන් අනතුරුව මෙලෙස සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කරගනු ලැබුවා.

ඒ දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකුට ‘වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර’ පිරිනැමීමට විරෝධය පළ කිරීම සඳහායි.

++++++++++

පොඩි මැණිකේ දුම්රියෙන් මගින්ට නොමිලේ ප්‍රවාහනය

(10.05.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (10) දින සම්පුර්ණයෙන්ම ඇණ හිටියා.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කරනු ලැබු අතර එය සෑම දුම්රිය ස්ථානයකම නතර කරනු ලැබුවා.

දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් දුම්රිය මගින් පොඩි මැණිකේ දුම්රියෙන් නොමිලේ සිය ගමනාන්තය දක්වා ගමන් කල බවයි වාර්තා වන්නේ.

පොඩි මැණිකේ දුම්රිය නතර කල සැම දුම්රිය ස්ථානයකම දුම්රිය ස්ථානාධිපතිවරුන් ලබා දෙනු ලබන දුම්රිය ටැබ්ලටය නොමැතිව පොඩි මැණිකේ දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමටයි දුම්රිය රියදුරන් පියවර ගත්තේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් ගණනාවක් ධාවනය නොවු නිසා පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් කිරිමට විදේශිය සංචාරකයන් ඇතුළු දේශිය මගින් විශාල පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *