පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි

පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි


පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි

(09.05.2023 – 22:42 +0530 – hirunews.lk/sinhala)

කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛන සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එබැවින් අවශ්‍ය සේවා සඳහා අදාළ කාර්යාල අමතන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එම සේවා සඳහා ඇමතීමට අදාල ප්‍රාදේශීය කාර්යාල දුරකථන අංක පහත නිවේදනයෙහි අමුණා තිබෙනවා.


කළුතර සිසුවියගේ සිදුවීම සම්බන්ධයෙන් හෝටල් හිමියන්නේ සංගමයෙන් විශේෂ ඉල්ලීමක්

(09.05.2023 – 22:43 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා කළුතර සිදු වූ කණගාටුදායක සිදුවීමට වග කිව යුත්තේ මෙලෙස අවිධිමත් හා වගකීමෙන් තොරව පවත්වාගෙන යන හෝටල් බව ‘සමස්ත ලංකා සංචාරක හෝටල් හිමියන්නේ සංගමයේ’ උප සභාපති පවසනවා.

මියගිය කළුතර සිසුවියගේ මරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පසුගිය කොරෝනා සමයෙන් අනතුරුව බොහෝ දේශීය මෙන් ම විදේශීය සංචාරකයින් මාක්ස් පැළද සිටීමෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

මුහුණු ආවරණය කර පැමිණෙන පිරිස් පිළිබඳ ඉතා සැලකිලිමත් වන ලෙසත් එය හෝටල් සහ සංචාරක කර්මාන්තයේ වෘත්තියේ නියැලී සිටින සියලු දෙනාගෙ වගකීම බවත් ඔහු දන්වා සිටියා.

මෙම කලුතර සිසුවියගේ මරණය සංචාරක ක්ෂේත්‍රයට සහ හොටෙල් ක්ෂේත්‍රට විශාල කැළලක් බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.

ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ මතු පැවැත්ම උදෙසා ඉතා කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි ඔහු හෝටල් සහ සංචාරක කර්මාන්තයේ වෘත්තියේ නියැලී සිටින සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නේ.

තව වගකීම පැහැර හරින හෝටල් සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එයට තම සංගමයෙන් උපරිම සහයෝගය ලබා දෙන බව උප සභාපතිතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

+


සිසුවියන් 16 ක් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙක් සොයා විමර්ශන

(09.05.2023 – 22:44 +0530 – hirunews.lk/sinhala)

කළුතර ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරවලට පත් කර තිබෙන බවට පොලිසියට පැමිණිලක් ලැබී තිබෙනවා.

අදාළ ගුරුවරයා එම ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන ගුරුවරයෙකු බවයි වාර්තා වී ඇත්තේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් ඔහුගේ මෝටර් රථයෙන් කළුතර ලාගොස්වත්ත කැළෑබද ප්‍රදේශයකට රැගෙනගොස් මෝටර් රථය තුළදී ලිංගික හිරිහැර කර ඇති අතර පන්ති කාමරය තුළ දී ද අදාළ සිසුවියන්ට ලිංගික හිරිහැර සහ අපයෝජන සිදු කර ඇති බවයි

අදාළ සැකකරු දැරියන්ට ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට කටයුතු කර ඇති අතර දෙමව්පියන් නොමැති අවස්ථාවලදී දැරියන්ට ඇදුම් ඉවත් කරන ලෙසට උපදෙස් දී එම දර්ශන ද පටිගත කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් පරිගණකයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසු වී ඇය මේ පිළිබඳව අදාළ දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර අපයෝජනයට ලක්වූ දරුවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරියෙකුගේ දියණියක් ද සිටින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴


මිනුවන්ගොඩ දැරිය පැහැරගත් සිදුවීමට තිදෙනෙක් (3) අත්අඩංගුවට

(09.05.2023 – 23:34 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා, පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (09) මිනුවන්ගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර පෙම්වතිය ඇයගේ පෙම්වතා විසින් පැහැරගැනීමේ සිදුවීමක් පසුගිය දිනක වාර්තා වුණා.

එම තරුණයාද ඕපාත ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර තිබෙනවා.

ඒ හේතුවෙන් දැරියගේ පවුලේ පිරිස ඇයව මොනරාගල ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමටද කටයුතු කර තිබුණා.

මෙම තරුණයා එම නිවසට පැමිණ බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ ෴


ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට පැරිස් සමාජයෙන් නිවේදනයක්

(10.05.2023 – 07:04 +0530 – hirunews.lk/sinhala)

නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීමේදී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලීමක් විධිමත් ලෙස ඉදිරිපත් කළ බව පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ණයහිමි රටවල් 17 ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.

එම පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද සහභාගී වී ඇති අතර එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් විසින් සිදුකළ බව පැරිස් සමාජය නිවේදනය කරනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති ප්‍රථම සාකච්ඡාව සඳහා චීනය ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය ඇතුළු සියලු ණයහිමියන්ට ආරාධනා කර තිබූ බව සඳහන් ය.

අදාළ සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂකයෙකු ලෙස සහභාගි වූ බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත මසටෝ කණ්ඩා පවසා තිබෙනවා.

ඉදිරි සාකච්ජා සඳහා චීනය පූර්ණ සාමාජිකයෙකු ලෙස සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මසටෝ කණ්ඩා එහි දී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සාධාරණ ලෙස බෙදාගැනීමේ පදනම සහිතව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවනු ඇති බවට ශ්‍රී ලංකාවේ සියලු වාණිජ සහ බහුපාර්ශවීය ණයහිමියන්ට දැනුම් දී ඇති බවත් චීනය පවසනවා.

චින විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ (09) දින පැවති දෛනික මාධ්‍ය හමුවේ දී තවදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීන මූල්‍ය ආයතන සඳහා උපරිම සහාය දක්වන බවයි.

+


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

(10.05.2023 – 08:34 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල පොලිස් වසමේ බිහල්පොල ප්‍රදේශයේ දී කුරුණෑගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීමක නිරතව සිටියදී එම නිලධාරීන් 08 දෙනෙකුට පහර දී තුවාල සිදුකර තිබෙනවා.

රාජකාරියට බාධා සිදුකිරීමක් සම්බන්ධව කරන ලද පැමිණිල්ලක් මත නාරම්මල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු (1) ද ඊයේ (09) දින නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 වන ඩයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ (09) දින සිට කුලියාපිටිය ගරු මහේස්ත්‍රාක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සැකකරුවන් 08 දෙනා හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

(10.05.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (09) දින වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

සැකකරු අද (10) දින කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්දිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා ෴


හලාවත කලපුවේ ධීවර කටයුතුවලට බාධා

(10.05.2023 – 09:10 +0530 – hirunews.lk/sinhala)

හලාවත කලපුව තුළ ජබර ඇතුළු සෙසු ජලජ ශාඛ විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වීම හේතුවෙන් තම ධීවර කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ධීව‍ර‍යින් පවසන්නේ.

කලපුවට ගසා ගෙන පැමිණ ඇති ජපන් ජබර වැඩි දිනක් යන්නට පෙර කුණු වී කලපු පතුලට එකතු වන බවත් මෙම හේතුව නිසා කලපුවේ දැල් දැමීමට නොහැකි වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසන බව අප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරු පවසනවා.

පසුගිය දින කීපය තුළ ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටාර ජලය සමඟ මෙම ජපන් ජබර ඇතුළු ශාඛ ගසා ගෙන එන්නට ඇති බවයි ධීවරයින් පවසන්නේ.

වැඩිදුර සොයාබැලීමේදී දැක ගැනීමට ලැබුනේ හලාවත ප්‍රදේශයේ එක්තරා වැවකින් අවිධිමත් නොවන ලෙස ඉවත් කර ඇති ජපන් ජබර අතුළු ජලජ ශාක මෙසේ කලපුවට ගසා ගෙන විත් ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *