විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්


විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්

(09.05.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

දැනට ඉදිරිපත්ව ඇති ‘ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත අද (09) ලිපියක් භාර දුන්නා.

ඒ, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි.

අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරු මෙම ලිපියට අත්සන් තබා ඇති බවයි වාර්තා වෙන්නේ ෴

++++++++++

මහබැංකු පනත් කෙටුම්පත් විවාදය කල්යයි

(09.05.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (11) පැවැත්වීමට සැළසුම් කර තිබූ ‘මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවන (2) වර කියවීමේ විවාදය’ කල්දමන ලෙස තමා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ විවාදය පැවැත්වෙන නව දිනය පෙරවරුවේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කරන බවයි.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කෙටුම්පත අනිද්දා (11) විවාදයට ගැනීමටයි තීරණය කරනු ලැබුවේ.

මේ අතර ජනක රත්නායක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට අනුවයි අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ෴


යාපනයේ තවත් ළමා නිවාසයකින් දැරියන් දෙදෙනෙකු (2) මුරකරුට මුදල් දී පලා යයි

(09.05.2023 – 09:50 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ අච්චුවේලී ළමා නිවාසයේ සිටි දැරියන් දෙදෙනෙකු (2) එහි මුරකරුට මුදල් ගෙවා පලා ගොස් ඇති බවට ළමා නිවාසයේ පාලකවරයා 08 දා අච්චුවේලී පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

වයස අවුරුදු 13 ක හා 14 ක මෙම දැරියන් දෙදෙනා (2) ළමා නිවාසයෙන් පළා ගොස් ඇති බව එහි පාලකවරුන් විසින් දැන ගෙන ඇත්තේ දින තුනකට (3) පසුවයි.

පසුගිය මාසයේදී ද යාපනයේ තවත් ළමා නිවාසයකින් ළමයින් තුන් දෙනෙකු (3) පලා ගිය අතර ඔවුන් විසින් පොලිසියට ලබා දුන් ප්‍රකාශ මත ළමා නිවාසයේ දැරියන්ට ලිංගික අතවර සිදුව ඇති බව හෙළිවීමෙන් පසුව ළමා නිවාසය පවත්වා ගෙන ගිය පාලක පක්ෂයෙ තුන් දෙනෙකු (3) අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එම ළමා නිවාසයේ සිටි ළමයින් 21 දෙනෙකු යාපනයෙන් කිළිනොච්චියේ පිහිටි ළමා නිවාස දෙකක් (2) වෙත මාරු කොට යවන ලද්දේ අධිකරණ නියෝග මතය.

අච්චුවේලී පොලීසිය මෙම දැරියන් සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා ෴


සමාජ ආරක්ෂණ වැඩසටහනට අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක්

(09.05.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය අදහස් ප්‍රකාශ කර සිටියා ෴


නීති විරෝධී අයුරින් මසුන් ඇල්ලූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(09.05.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී අයුරින් මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයන් 07 දෙනෙකු වන්කාල පුස්සදේව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන්කාල වෙරළ තීරයේ සිට කිලෝමීටර් 5 ක් පමණ දුරින් මුහුදේ දී මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සතුව තිබී වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය ජරල් 10 ක්, විදුලි නොවන ඩෙටනේටර් 18 ක්, අඩි දෙක හමාරක් (2½) පමණ දිග සේවා නුලක්ද සොයාගෙන තිබෙන බවයි නාවික හමුදාව පවසන්නේ ෴


රන් මිල පහලට

(09.05.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

අද (09) දිනයේ රන් මිලෙහි පහල බැසීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව මිල ගණන් මෙන්න :

  • රන් අවුන්ස (Gold Ounce) Rs. 645,868.00
  • කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 22,790.00
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams) ( 1 Pawn ) Rs. 182,400.00
  • කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs. 20,900.00
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams) ( 1 Pawn ) Rs. 167,150.00
  • කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs. 19,950.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams) ( 1 Pawn ) Rs. 159,550.00

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

(09.05.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේදී පීල්ලක් කැඩීයාම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා ඇති වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනකයි ඒ බව සඳහන්ව ඇත්තේ.

එම දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් සියළු දුම්රිය මිනිත්තු 20-30 ත් අතර කාලයක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴


ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ – හිටපු අගවිනිසුරු

(09.05.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත්, එසේ ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ යෝජනාවක් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කළ යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසනවා.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මේ බව සදහන් කර සිටියේ.

එහිදී හිටපු අගවිනිසුරුවරයා පවසා සිටියේ පළාත් සභා පිහිටෙව්වේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පෙර පටන්ම ලංකාවේ පළාත් සභා ඡන්ද පැවතුනු බවත් නීතියට අනුව 2017 ඔක්තෝබර් මාසයේදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණ බවයි.

නමුදු එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය විසින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තු පනත් දෙකක් (2) ගෙනා බවත් එය දෙවනවර (2) කියවීමේ දී එම පනතටම තවත් පිටු 20 ක් ඇතුලත් කරමින් පළාත් සභා මැතිවරණයක් ඇතුලත් කර සංශෝධනයක් ගෙනා බවත් ඔහු සඳහන් කළා.

එම අවස්ථාවේ දී එයට විරුද්ධ වූ ඔහු නඩුවක් ගොනු කළ බවත් එයට විරුද්දව සුමන්තිරන් මහතා උසාවි ගිය බවත් අවසානයේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

අද වන විට පළාත් සභා , මහඇමැතිවරු , පළාත් සභා මන්ත්‍රීවරු නොමැති බවත් ඔහු ප්‍රකාශ කළ අතර ආණ්ඩුකාරවරු පමණක් සිටින බවත් ප්‍රකාශ කළා.

154/ආ වගන්තිය අනුව ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්.

154/ආ/5 වගන්තියට අනුව ආණ්ඩුකාරවරුන්ගේ කාලසීමාව අවුරුදු 5 ක්.

ඒ අනුව එම වගන්තියේ ‘ස්වකීය ධූරය බාරගත් දින සිට අවුරුදු 5 ක කාලසීමාවක් ධූරය දැරිය යුත්තේය’ ලෙස සඳහන් කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පවසන්නේ.

යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඉවත් කරනවා නම් පළාත් සභාවේ යෝජනාවක් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරය ඉවත් කරන් ලෙස උපදෙසක් දී හැකි බවයි ඔහු තව දුරටත් සඳහන් කරන්නේ.

ඒ දුන්නත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පමණක් ආණ්ඩුකාරවරයාව ඉවත් කිරීමට හැකි බවද එලෙස ආණ්ඩුකාර ධූරය ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහි දී “දැන් පළාත් සභා නොමැති නිසා ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. ඉතින් පළාත් සභාවේ යෝජනාවක් නැතිව ඔවුන් ඉවත් කරන්න බෑ. ඉල්ලා අස්වුණොත් විතරයි ධූරය හිස්වෙන්නේ. අනෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුකාරවරු පත්කළේ. එතුමා ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ජනාධිපතිවරයෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඉතින් ජනතා ඡන්දයෙන් ආ ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුකාරවරුන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ඉවත් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නයත් එනවා. ඊළග කාරණය තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු 4 දෙනෙක් ඉවත් කරනවා කියලයි. එතකොට අනෙක් පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන මොකද කියන්නේ. ඒ අයත් ඉවත් කරනවාද? නීතියේ සමානාත්මතාවය පිළිබද ප්‍රශ්නයකුත් මෙතන මතුවෙනවා…” යැයිද හිටපු අගවිනිසුරුවරයා කියා තවදුරටත් කියා සිටියා ෴


ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක්

(09.05.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය වසරේ මැයි 09 අරගලය අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින්.

කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම වාරණ නියෝගයක් නිකුත් කල බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴


පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට තැත්කළ දේවගැතිවරයාට ඇප

(09.05.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට තැත්කළ බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දේවගැතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගල ඇප 02 ක් මත මුදාහරින ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ ඊයේ (08) කැඳවූ අවස්ථාවේ දීයි.

15 හැවිරිදි මෙම පාසල් සිසුවා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ‘වට්ස්ඇප්’ මගින් වීඩියෝ ඇමතුම් ලබාගනිමින් දේව ගැතිවරයා නිරුවත් ඡායාරූප ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ බවයි ෴


සරල බහුතරයක් හරහා සමලිංගික සබඳතා නීතිගත කළ හැකියි

(09.05.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ පාර්ලිමේන්තුවට සරල බහුතරයක් හරහා සමලිංගික සබඳතා නීතිගත කළ හැකි බවයි.

ඒ සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තීන්දු වී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය සිදු කර තිබෙන්නේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් අප්‍රේල් 04 වැනිදා ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් තිදෙනෙකු (3) මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණයක් ගන්නා ලෙසයි.

පනත් කෙටුම්පතට සහය පළ කරන අතරමැදි පෙත්සම් 14 ක් තවත් පුරවැසියන් 30 ක් සහ සිවිල් සමාජ සංවිධාන දෙකක් (2) විසින් ගොනු කරන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දැනට ස්ත්‍රීන් සහ පුරුෂයන් සමඟ ‘අස්වාභාවික’ ලිංගික සම්බන්ධතා සඳහා නඩු පැවරීමට ඉඩ සලසන විධිවිධාන අඩංගු වෙනවා ෴


ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 41 ක් දිවයිනට

(09.05.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධිව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කිරිමේදි අත්අඩංගුවට පත්වු ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රිස්මස් දුපතේ රදවා සිටි මෙම පිරිස අද (09) පෙරවරු 09:40 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ඒවා තිබු බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.

වාලච්චේන සහ යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස ඔස්ට්‍රේලියාවට ඇතුළු විමට උත්සහ කර ඇත්තේ බහුදීන යාත්‍රා මගින් බවයි අනාවරණ වි ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *