කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුගෙන් පොලිසියට පාපොච්චාරණයක්

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුගෙන් පොලිසියට පාපොච්චාරණයක්


කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුගෙන් පොලිසියට පාපොච්චාරණයක්

(09.05.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

කළුතර – නාගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටිය දී අභිරහස් ලෙස පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඔහු මේ වන විට දකුණු කළුතර පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර අද (09) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට ද නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

දකුණු කළුතර පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු ගාල්ල ප්‍රදේශයේ රැදී සිටින බවට වූ අනාවරණයත් සමඟ අද (09) අලුයම වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක ඔහු රැදී සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

29 හැවිරිදි මෙම සැකකරු කලුතර ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ඔහු රැඳී සිට ඇති අතර ස්ථීර පදිංචිය වී ඇත්තේ පානදුර ප්‍රදේශයයි.

මෙම සැකකරු මීට පෙර අවස්ථා දෙකක (2) දී විවාහ වී ඇති අතර පළමු විවාහය සිදුකර ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි කාන්තවක් සමඟයි.

පසුව කළුතර ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය දැනට සිදුකරන ලද අනාවරණවලින් හෙළිව ඇත්තේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකු සමඟ මොහු සබඳතා පවත්වා ඇති බවටයි.

එමෙන්ම ඔහුට එරෙහිව මුදල් වංචා සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර සිද්ධියෙන් මියගිය 16 හැවිරිදි දැරියගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ කළුතර – ඇටවිල ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතයි ෴

++++++++++

කළුතර සිසුවියගේ මරණයට ඇල්ලූ සැකකරු ගැන රෝහිතගෙන් අනාවරණයක්

(09.05.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

අදාළ සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායකවරයා බවයි එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

පාසල් සිසුවියකගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි මෙම සැකකරු පොලිසිය මඟ හැර පලා ගොස් සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අදාළ සැකකරු අද අලුයම් කාලයේ දී හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී කළුතර දකුණ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

+++++++++++

කළුතර පාසල් දැරිවියගේ අවසන් කටයුතු අද (09)

(09.05.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)

‍කළුතර නාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක දී අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවියගේ අවසන් කටයුතු අද (09) සිදු කෙරුණා.

ඒ කළුතර ඇටවිල පොදු සුසාන භූමියේදී යි.

කළුතර – නාගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක් සහිත පස් මහල් ගොඩනැගිල්ලක තුන් වැනි මහලින් ඇද වැටුණු බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මළ සිරුරක් කළුතර දකුණ පොලිස් නිලධාරීන් විසින් ඊයේ සොයා ගනු ලැබුවා.

ඒ එම පස් මහල් ගොඩනැගිල්ල පිටුපස පිහිටි දුම්රිය මාර්ගය අසලදීයී.

මෙලෙස මියගොස් තිබුණේ කළුතර නාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි ටිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා නමැති 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක්.

මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු (2) සහ තරුණියක් සමඟයි ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 06 වනදා පස්වරු 6.30 ට පමණ පැමිණ ඇත්තේ.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් (2) වෙන්කරගෙන තිබෙනවා.

එලෙස කාමර දෙකක් (2) වෙන්කරගෙන ඒ වෙත ගමන් කළද සිව්දෙනාම (4) එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් මිනිත්තු 20 කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක ඇති බව සඳහන්.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබුණු අතර ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි.

එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි (3) මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වුනා.

පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30 ට පමණ පොලීසියට භාර වී තිබෙනවා.

මේ අතර සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ව ද පොලීසිය විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගැනුණි.

පසුව එම සැකකරුවන් තිදෙනාම මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කාන්තාවන් දෙදෙනෙකු (2) විවාහ කරගෙන ඇති අයෙකු වන බව පොලීසිය පවසනවා ෴


ජාත්‍යන්තර සම්මාන ලාබී ප්‍රවීණ රංගධර ජගත් චමිල මහතාගේ දීර්ඝකාලීන ස්නායු ආබාධය දීගොඩ කුමාර මහතා විසින් ක්ෂණිකව සුවපත් විය

(08.05.2023 – youtube.com/@dewsuwa/videos නාලිකාවෙන් …)

+


ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය නිලධාරීන් යළි සේවයට

(09.05.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට අදාළ චක්‍රලේකය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දී ඇති රාජ්‍ය නිලධාරීන් ඔවුන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇති බල ප්‍රදේශයේ, සේවයේ නිරත වි සිටියේ නම් අදාළ බල ප්‍රදේශයෙන් පිටත් පිහිටි රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන වෙත ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇති.

ඒ අනුව ඔවුන් අද (09) සිට අදාළ ආයතන ප්‍රධානීන් විසින් නම් කරනු ලබන සේවා ස්ථානවල සේවයට වාර්තා කළ යුතු වනවා ෴


‘අයිස්’ කිලෝග්‍රෑමයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(09.05.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala)

හැදල ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය කරන ලද වැටලීමක දී ‘අයිස්’ කිලෝ 01 යි මිලිග්‍රෑම් 14 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පවසන්නේ ඔහු සතුව තිබී රුපියල් පහළොස් ලක්ෂයක (15,00,000) මුදලක් ද සිය භාරයට ගත් බවයි ෴


දේශීය මෙන්ම විදේශිකයින් සඳහා වාට්ටු පහසුකම්

(09.05.2023 – 09:03 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල දේශීය මෙන්ම විදේශිකයින් සඳහා ගෙවන වාට්ටු පහසුකම් ස්ථාපිත කර තිබෙනවා.

රජයේ සේවකයන් විශාල ප්‍රමාණයක් ජාතික රක්ෂණභාර අරමුදල මගින් රක්ෂණ අරමුදලක් ලබා දෙන බවත් සහ නොමිලේ ප්‍රථිකාර ලබා දුන්න ද රක්ෂණ පහසුකම් ලබා ගැනීමට නොහැකිවීම නිසා අග්‍රහාර රක්ෂණ හිමියන් සහ සියළුම පුගලයින් පෞද්ගලික රෝහල් වෙත යාම සිදු වී තිබෙනවා.

එවැනි රක්ෂණ ආවරණ සහිත පුද්ගලයින්ට හා මුදල් ගෙවා පහසුකම් ලබා ගැනීමට කැමති පුදිගලයින් හට ඒ සඳහා වන විශේෂ ගෙවන වාට්ටු ක්‍රමයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ඉල්ලා සිටි බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය අදහස් ප්‍රකාශ කළේ.

ගෙවන වාට්ටු ක්‍රමයක් පවතින බවත් එය වඩා හොඳින් වැඩිදියුණු කර දැරිය හැකි සාධාරණ මිල ගනන් යටතේ සෞඛ්‍ය සේවා අවශ්‍ය පුද්ගයින්ට ලබා දීමට මෙන්ම පොදු ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමටත් අවශ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එමගින් අනුමැතිය ලබා දී තිබෙනවා ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ නඩුව අද (09) සිංගප්පූරු මහාධිකරණයේ දී මුල් වරට විභාගයට ගැනේ

(09.05.2023 – 09:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වාරය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදු බත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රි ලංකා රජය ගොනු කළ නඩුව අද (09) සිංගප්පූරු මහාධිකරණයේ දී මුල් වරට විභාගයට ගැනීමට නියමිතයි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සිංගප්පූරු නීතී සමාගමක් මේ වෙනුවෙන් ඉදිරිපත් වීමට නියමිතය.

2021 වසරේ මැයි මස 20 වැනිදා ගිනි බත් වූ මෙම නෞකාව අනතුර මෑත කාලයේ සිදුවූ විශාලතම සමුද්‍රීය පාරිසරික අනතුර ලෙස සැලකුණද ඊට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම පිළිබඳව විවේචන එල්ල වුණා.

මෙම නඩුව පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිංගප්පූරුවේ මහාධිකරණයේ ගොනු කරන ලද අතර ඒ අනුව මෙම නඩුව අද (09) දින කැඳවීමට නියමිතයි.

විශේෂඥ අධ්‍යයන වාර්තාවකට අනුව සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 කට තක්සේරු තොට ඇති අතර එම වන්දි මුදල ලබා ගැනීම සඳහා මෙසේ සිංගප්පූරුවේ මෙම නඩුව පවරා තිබෙනවා ෴

+++++++++

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර ගැන විවාදයට දින නියම වෙයි

(09.05.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, අද (10) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේ දීයි.

මහබැංකු පනත් කෙටුම්පත මේ සතියේ විවාදයට නොගැනීම හේතුවෙනුයි එය දෙදිනක් (2) විවාදයට ගැනීමට තීරණය කර ඇත්තේ.

මේ අතර, ‘නිව් ඩයමන්ඩ්’ හා ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරු පිලිබද කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කථානායකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඊට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 21 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *