කළුතර සිසුවියට කළ ඇස් අදහා ගත නොහැකි අපරාධය ගැන මවගෙන් ආන්දෝලනාත්ම ප්‍රකාශයක්

කළුතර සිසුවියට කළ ඇස් අදහා ගත නොහැකි අපරාධය ගැන මවගෙන් ආන්දෝලනාත්ම ප්‍රකාශයක්


කළුතර සිසුවියට කළ ඇස් අදහා ගත නොහැකි අපරාධය ගැන මවගෙන් ආන්දෝලනාත්ම ප්‍රකාශයක්

(08.05.2023 – 21:18 +0530 – hirunews.lk/sinhala)

කළුතර නාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර තරුණයාගේ, විදෙස් ගමන් තහනම් කරමින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ තරුණ යුවළක් සහ තවත් අයෙකු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය අද (08) නියෝග කළා.

සිසුවියගේ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.‍

කළුතර – නාගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක් සහිත පස් (5) මහල් ගොඩනැගිල්ලක තුන් (3) වැනි මහලින් ඇද වැටුණු බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මළ සිරුරක් කළුතර දකුණ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (07) සොයා ගනු ලැබුවා.

ඒ එම පස් (5) මහල් ගොඩනැගිල්ල පිටුපස පිහිටි දුම්රිය මාර්ගය අසලදීයී.

මෙලෙස මියගොස් තිබුණේ කළුතර නාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි ටිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා නමැති 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක්.

මියගොස් ඇති සිසුවිය තවත් තරුණ යුවලක් සහ 29 හැවිරිදි තරුණයෙකු සමඟ කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබදව පිහිටි මෙම තාවකාලික නවාතැන්පොළට මෝටර් රථයකින් ඉකුත් මැයි 05 වැනිදා පැමිණ තිබුණේ පස්වරු 06:20 ට පමණයි.

පිරිස නවාතැන් පොළට එන අයුරු නවාතැන්පොළේ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණ බවයි වාර්තා වී ඇත්තේ.

මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඇය සමග සිටි 19 හැවිරිදි අනෙක් තරුණිය ඇයව නිවසෙන් රැගෙන ගොස් ඇත්තේ අසල දන්සලකට යන බව පවසමින්.

එලෙස පැමිණි ඔවුන් නවාතැන්පොළේ තුන්වන මහලේ පිහිටි වායු සමනය කළ කාමරයක් සහ වායු සමනය නොකළ කාමරයක් මිලට ගෙන රැඳී සිට තිබෙනවා.

සිසුවිය බාලවයස්කාර දැරියක් වූ බැවින් ඇය වෙනුවෙන් කාමරය වෙන් කරවාගැනීම සඳහා ඇය සමග පැමිණි 19 හැවිරිදි තරුණිය නවාතැන්පොළ වෙත ඉදිරිපත් කර තිබුණේ සිය මිතුරියකගෙන් ලබාගත් වෙනත් හැඳුනුම්පතක්.

කාමර දෙකක් (2) මුලින් වෙන්කරවා ගෙන තිබුණ ද පසුව සිව්දෙනාම (4) එක් කාමරයක සිට මත්පැන් පානය කර ඇතැයි නවාතැන්පොළේ සේවකයෙකුගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

මෙම මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පාසල් සිසුවිය අනෙක් තරුණයා සමග එක් කාමරයක් වෙත ගොස් තිබූ අතර අනෙක් යුවල ඔවුන් වෙන්කරගත් කාමරය වෙත ගොස් තිබුණා.

එම යුවල නවාතැන්පොළ තුළ පැයකට ආසන්න කාලයක් රැඳී සිට පසුව පිටව ගොස් ඇති අතර ඉන් විනාඩි 20 කට පමණ පසු සිසුවිය සමඟ සිටි සැකකාර තරුණයා හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ ඔවුන් පැමිණි මෝටර් රථයෙන්මයි.

සිසුවියගේ මරණයෙන් පසුව ඇය සමග පැමිණි යුවළ පොලිසියට භාර වූ අතර ප්‍රධාන සැකකාර තරුණයා ගමන් ගත් මෝටර් රථය සහ එහි රියදුරු අද (08) දින පොලිස් අත්අඩංගුවට ගැනුණා.

පොලිසියට භාරවූ යුවළ ප්‍රකාශ කර ඇත්තේ සිසුවිය මහලෙන් පහළට ඇදවැටුණු බව ඔහු සමග සිටි තරුණයා දුරකතනයෙන් දැනුම් දුන් බවයි.

“අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා.. ඕක හංගපන්” යනුවෙන් ප්‍රධාන සැකකාර තරුණයා එම යුවලට දුරකතනයෙන් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එම තරුණ යුවල මීටර් 600 ක් පමණ ඇවිදගොස් දුම්රිය මාර්ගය මත වැටී තිබූ පාසල් සිසුවියගේ නිරුවත් මළසිරුර දුම්රිය මාර්ගයෙන් ‍ඉවතටගෙන සිරුර වසා දමා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුණා.

සිසුවියගේ මළසිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන අයුරු නවාතැන්පොලේ දෙවැනි (2) මහලේ ආහාර ගනිමින් සිටි කාන්තාවක්ද දැක තිබෙනවා.

පාසල් සිසුවියගේ මරණයෙන් විනාඩි 20 කට පමණ පසු ප්‍රධාන සැකකාර තරුණයා නවාතැන්පොලින් පිටව යන අයුරු cctv කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිසියට භාර වූ තරුණ යුවල සහ මෝටර් රථයේ රියදුරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ප්‍රධාන සැකකරු නවාතැන්පොළේ සිට තමන් පැමිණි කුලි මෝටර් රථයෙන්ම බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම දක්වා පළා ගොස් තිබුණා.

පසුව මෝටර් රථය එම ස්ථානයේ දමා ප්‍රධාන සැකකරු පලාගොස් තිබූ අතර එම මෝටර් රථය යළි රැගෙනගොස් තිබුණේ ඔහුගේ මිතුරු රියදුරෙකු විසින්.

එම කුලී රථය කළුතර පළාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් අද (08) සොයාගනු ලැබුවා.

ඒ අනුව දැනට පලාගොස් සිටින ප්‍රධාන සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන සැකකරු ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු දෙවැනි (2) විවාහයෙන්ද පසු මෙම පාසල් සිසුවිය සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කර ඇත්තේ මීට මාස දෙකකට (2) පමණ පෙරයි.

මේ අතර මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේදී ඊයේ (07) සිදුකෙරුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ සුසුම්නාවට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකරගැනීමක්ද යන්න සඳහන් නොකර විවෘත තීන්දුව එහිදී ලබාදී තිබුණා.

ඒ අනුව ඇයගේ ශරීර කොටස් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.‍

මියගිය සිසුවියගේ දේහය අද (08) නිවෙස වෙත රැගෙනවිත් තිබුණා.

මේ සිදුවීම පිළිබඳ ඇයගේ මව දැක් වූයේ මෙවන් අදහසක් :

“හවස 5 ට විතර පබාරා ඇවිත් කිව්වා දන්සලකට යන්න ඕනේ කියලා මෙයා එක්ක. මං කිව්වා දරුවට යන්න එපා කියලා. දෙපාරක් ඇහුවා; තුන්පාරක් ඇහුවා; දරුවෙක් නිසා මං යන්න කිව්වා. මං කිව්වා ඊට පස්සේ ගිහිං ඉක්මනට එන්න කියලා. දරුවා ආව නැති නිසා මං කෝල් කලා. ඊට පස්සේ කිව්වා අපි මේ දන්සලේ ඉන්නේ කියලා. ඊට පස්සේ රෑ වුණ නිසා මං ආයේ කෝල් කලා. ඒ වෙලාවේ ෆෝන් එක වැඩ කළේ නෑ. ගෙදරට ඇවිත් හිටපු ඇඳුම පිටින් මෙයා ගියේ. අද විතරක් යන්නම් කියලයි එක්ක ගියේ. පබාරා කියන යාලුවට මං කලින් කිහිප වතාවක්ම කියලා තියෙනවා ‘ඔයා මෙහේ එන්න එපා; මගේ දරුවට ඉගෙන ගන්න දෙන්න’ කියලා. ඔය කියන දවසේ යන්න කලින් කිව්වා ‘එක්ක යන්න එපා’ කියලා මෙයාව. ඒ වෙලාවේ ඒ ලමයා කිව්වා ‘ඇන්ටි මං අදින් පස්සේ එන්නේ නෑ’ කියලා. එතකොට එතන ලොකු ප්ලෑන් එකක් තිබිලා තියනවා. පබාරගේ තනියට තමා මෙයාව එක්ක ගිහිං තියෙන්නේ. මගේ දරුවව විකුණලා තියෙන්නේ පාපතරයෙකුට. මං දන්නේ නෑ එතන ඉන්න කිසිම කෙනෙක්. මං දන්නේ පබාරා විතරයි. පබාරගේ කොල්ලයි එයාගේ යාලුවෙකුයි තමයි මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. පබාරයි එයාගේ කොල්ලයි එකතු වෙලා මගේ ලමයාව විකුණලා තියෙන්නේ. මේගොල්ලොන්ට නිසි දඬුවම් ලැබෙන්න ඕනේ”

+++++++++

+++++++++

+++++++++

කළුතර දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(09.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

කළුතරදී 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි ඔහු මීට සුළු මොහොතකට පෙර ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර තිබෙනවා.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා ෴

+++++++++

දැරිය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී…

(09.05.2023 – 08:02 +0530 – sinhala.adaderana.lk)

කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුල ලැගුම් ගෙන සිටියදී පොලීස කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව කළුතර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා අද (09) උදෑසන පැවසීය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක සැකකාර පුද්ගලයෙකි.

සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


වෙසක් සමයේ නෙලුම් කුළුන නැරඹීමට වාර්තාගත පිරිසක් පැමිණෙයි

(08.05.2023 – 22:06 +0530 – hirunews.lk/sinhala)

වෙසක් උත්සවය නිමිත්තෙන් ඉකුත් 05 වනදා සහ 06 වනදා යන දෙදින තුළ නෙළුම් කුලුන නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 20,883 දෙනෙකු සහ විදෙස් සංචාරකයින් 163 දෙනෙකු පැමිණි බව නෙළුම් කුලුන පාලනාධිකාරිය සඳහන් කළා.

ඒ අතරින් ඉකුත් 06 වැනිදා දිනයේ පමණක් දේශීය සංචාරකයින් 12,204 දෙනෙකු සහ විදෙස් සංචාරකයින් 76 දෙනෙකු පැමිණ තිබූ අතර එම දිනය නෙලුම් කුළුන ජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා කාලය තුළ වැඩිම නරඹන්නන් පැමිණි දිනය ද වීම විශේෂත්වයක්.

මේ දක්වා කාලය තුළ නෙලුම් කුළුන නැරඹීම සඳහා පැමිණි සමස්ත දේශීය සංචාරකයින් ප්‍රමාණය 815,982 ක් වන අතර පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 13,057 ක් ෴


දළදා මාලිගාව අසල ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට යාමේ දී විදේශිකයින් දෙදෙනෙක් පොලිස් භාරයට

(08.05.2023 – 23:28 +0530 – hirunews.lk/sinhala)

නිසි අවසරයකින් තොරව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ‘ඩ්‍රෝන යානයක්’ ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු (2) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසිය සඳහන් කළේ, අදාළ චීන ජාතිකයින් දෙදෙනා (2) ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට උත්සහ කරන බවට ඇතිවූ සැකයක් මත අද (08) දින උදෑසන මහනුවර පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බවයි.

අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එහි ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමටයි පොලීසිය පියවරගෙන තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා (2) ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය ෴

(File Photo)


ඇඹිලිපිටිය පොලිස් වසමේ මාරක රිය අනතුරක්

(09.05.2023 – 06:37 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ උඩගම හන්දිය ප්‍රදේශයේදී රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊයේ (08) යතුරු පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(09.05.2023 – 06:48 +0530 – hirunews.lk/sinhala)

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් දොඩංගොඩ පොලිස් වසමේ දොඩංගොඩ අධිවේගී අන්තර් හුවමාරුව අසලදී බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයින් 19 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 55 ත් අතර වයස් වල පසුවන ඉකිරිගොල්ල හා රාගම ප්‍රදේශ වල පදිංචිකරුවන්.

සැකකරුවන් ඊයේ (08) දින මතුගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මැයි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලිස් භාරයේ සිටින ගවයින් නිකවැරටිය, පොත්තාවල සත්ව ගොවිපල වෙත භාර දිමට නියෝග කර ඇති අතර දොඩන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *