පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ?

පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ?


පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ?

(08.05.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය අද (08) දිනයේ පීඩන අවපාතයක් දක්වාත්, පසුව හෙට (09) දිනයේ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා පවතින අතර එය පැයට කිලෝමීටර් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව සඳහන් ෴


කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂාවට

(08.05.2023 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඔහු රෝහල්ගත කළ දිනයේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලය ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල් ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට දැනුම් දුන්නා.

පසුගිය සතියේ අධිකරණය ලබාදුන් නියෝගයට අනුව පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනකුගේ රුධිර සාම්පල ලබා ගත් බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

අදාළ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතයි.

ඒ අනුව මෙම නඩුව ලබන 24 වනදා යළි කැඳවනු ඇති ෴


දැරියකට ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 10 ක සිර දඩුවම්

(08.05.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (08) බරපතළ වැඩ සහිත වසර 10 ක සිර දඬුවම් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 5,000 ක දඩයක් නියම කළ විනිසුරුවරයා දැරියට රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක් ද ගෙවන ලෙසයි නියෝග කළේ.

2017 වසරේ අප්‍රේල් මස 10 වනදා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අසල්වැසි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් (3) යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා ෴


රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක්

(08.05.2023 – 17:07 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසනවා.

රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟා වුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගත් පසු අවසන් කාර්තුව වන විට රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමන් ද ප්‍රකාශ කල බව පාලිත රංගෙ බණ්ඩාර සඳහන් කළා ෴


ජීවිත තුනක් (3) බිලි වීමෙන් පසු ලැබුණු ‘බෙල් ඇන්ඩ් ලයිට් සිස්ටම්’ පද්ධතිය

(08.05.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)

වැලිගම, පැලෑන පෝර ගබඩාව දුම්රිය හරස් මාර්ගයෙහි ‘බෙල් ඇන්ඩ් ලයිට් සිස්ටම්’ පද්ධතියේ පවතින කාර්මික දෝෂය දින ගණනාවක් පැවත ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය යථා තත්වයට පත් කිරීමට පියවරගෙන තිබෙනවා.

පසුගිය (03) වැනිදා පස්වරුවේ දී එම දුම්රිය හරස් මාර්ගයේ ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් එහි ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියැදුරු වන යුධ හමුදා සෙබලෙකු සහ පාසල් දරුවන් දෙදෙනකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු (3) තුවාල ලැබුවා.

එහිදී වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි පොල්වතුමෝදර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි වයස 07 ක් සහ 09 හැවිරිදි සිසුන් දෙදෙනා (2) මෙන්ම යුද හමුදා සේවයේ නියුතුව නිවාඩු ලබා සිටි එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වූ පුද්ගලයෙක් මරණයට පත් වී තිබෙනවා.

එමෙන්ම අනතුර සිදුවු පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගය සහ වැලිගම අග්‍රබෝධි මාවත ඇතුළු තෝරාගත් ස්ථාන කිහිපයක් සඳහා දුම්රිය ගේට්ටු මුරකරුවන් යෙදවීමට ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා ෴


ආහාරයට නුසුදුසු සියඹලා තොගයක් වටලයි

(08.05.2023 – 17:49 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොලට නිකුත් කිරීම සඳහා යළි සකසා ඇසුරුම් කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් කැකිරාව ප්‍රදේශයේ නිවසක තිබී සිය භාරයට ගැනීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව සිදු කළ මෙහෙයුමක දී නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසක් තුළ යළි සකසමින් තිබිය දී එම සියඹලා තොගය සොයා ගත් බවයි කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

මෙලෙස වෙළදපොලට නිකුත් කිරීමට සූදානමින් තිබූ සියඹලා තොගය ප්‍රමාණයෙන් කිලෝ 6000 ක් පමණ වන බවද සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවැති කිලෝ 6000 ක් පමණ වූ එම සියඹලා තොගය කිලෝ 20 බැගින් වූ ඇසුම්වල බහා වෙළදපොලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව සිදු කළ විමර්ශණවල දී අනාවරණය වී ඇතැයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

අදාළ සියඹලා තොගයේ සාම්පල ලබා ගැනිමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව ආහාර පනත යටතේ චෝදනා ගොනුකර අදාළ සියඹලා තොගය ද සමඟ කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත හෙට (09) ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


විදුලි ගාස්තුව 20% කින් පහළ දැමිය යුතුයි – මහජන උයෝගීතා කොමිසම

(08.05.2023 – 18:11 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තුව 20% කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරු ගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බවයි.

ඒ අනුව එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේ දී ක්‍රියාවට නැංවූ 66% ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


‘බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන්නේ නෑ’ – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

(08.05.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ආනයනික තිරිගු පිටි මිල වැඩි කළ ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

මෙරට බේකරිවලින් 75% ට වඩා වැඩි ප්‍රමාණයක් තිරිඟු පිටි මිල දී ගනු ලබන්නේ මෙරට නිෂ්පාදිත සමාගම් දෙකකින් (2) බවත් එම සමාගම් තම මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ආනයනික තිරිඟු පිටි සම්බන්ධව සමස්ත බේකරිවලට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.

මෙරට සමාගම් දෙකෙන් (2) තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන්වලට බේකරිවලට සපයන බවද සභාපතිවරයා සඳහන් කළා ෴


තැපැල් සේවකයෙක් දුම්රියට පැන සියදිවි නසා ගනී

(08.05.2023 – 18:40 +0530 – hirunews.lk/sinhala)

අද (08) දහවල් ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේවකයකු, අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල් දේවි දුම්රියට පැණ සියදිවි නසා ගෙන ඇතැයි ගල්ගමුව පොලිසිය පවසනවා.

අඹන්පොල ගැටදිවුල ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර මෙලෙස දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇත්තේ ගල්ගමුව තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කළ චන්දන කුමාර හෙන්නායක නමැති අයෙක්.

ඉකුත් දා ගල්ගමුව තැපැල් කාර්යාලයේ සිදුව තිබූ රුපියල් ලක්ෂ 16 ක පමණ මුදලක් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශණයක් ද ආරම්භ කර තිබී ඇති අතර එම විමර්ශණයකට අදාලව පොලිස් නිලධාරීන් පිරිසක් අද (08) දිනයේ මිය ගිය චන්දන කුමාර යන අය පදිංචි නිවස ද පරීක්ෂා කර තිබෙනවා.

සිදුකළ එම පරීක්ෂාවෙන් අනතුරුව ඔහු මෙලෙස දුම්රියට පැන සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සිදුව ඇති එම සොරකම හා මෙම මරණය අතර සම්බන්ධතාවයක් ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්දිය සම්බන්දයෙන් ගල්ගමුවක් පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා ෴


පොහොට්ටුව දැඩි තීරණයක

(08.05.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පොදුජන පෙරමුණට ලබාදුන් ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අද (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පොදුජන පෙරමුණේ නොවන බවයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

+


ඕමාන ඇගලුම් කම්හල්හිමියාට පහරදීමට එරෙහිව ගම්වාසින් විරෝධතාවයේ

(08.05.2023 – 20:11 +0530 – hirunews.lk/sinhala)

කටාන හල්පේ – කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවේ හිමිකරු වන ඕමාන ජාතිකයාට පහරදුන් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ගම්වාසින් සහ එහි සේවකයින් අද (08) එම කර්මාන්තශාලාව අසළදී විරෝධතාවක නිරත වුණා.

කිසියම් පිරිසක් විසින් අදාළ කර්මාන්ත ශාලාවේ ඕමාන ජාතික කළමනාකාර අධ්‍යක්ෂකවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තිබුණේ පසුගිය මාර්තු 30 වැනිදායි.

පසුව ඔවුන් රෝහල්ගත කෙරුණු අතර සිද්ධියට අදාළ විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට, ඕමාන තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යවරයාට ද දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, ඕමාන් ජාතික හිමිකරු සදහන් කර තිබුණේ තමාට සාධාරණයක් ඉටු නොවන්නේ නම් කර්මාන්ත ශාලාව ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි.

එවන් පසුබිමක පසුගියදා ‘අල් ඔබේයිදානි’ කර්මාන්ත ශාලාවේ තිබූ අමුද්‍රව්‍ය තොගයක් ඉවත් කර ඕමානය වෙත යැවීමට කර්මාන්ත ශාලා හිමිකරු පියවර ගනු ලැබුවා.

කර්මාන්ත ශාලාව වසා දැමීමේන් සේවකයින් 450 ගේ පවුල් අවධානමට ලක් වන බවයි අද (08) පැවති විරෝධතාවයේදී සේවකයින් කියා සිටියේ ෴

+

+


පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

(08.05.2023 – 21:45 +0530 – hirunews.lk/sinhala)

සංගීත සංදර්ශනයක් අතරතුර කොබෙයිගනේ පොලිස් නිලධාරීන් විසින් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට කෙබෙයිගනේ ප්‍රදේශවාසීන් පිරිසක් චෝදනා කරනවා.

ඊට අදාළ වීඩියෝ දර්ශන ද මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයෙකු කොබෙයිගනේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර අතුරුදන් වීම සම්බන්ධයෙන් ද පොලිසියට චෝදනා එල්ලවනවා.

කොබෙයිගනේ – විතිකුලිය ප්‍රදේශයේ පසුගිය මාර්තු 10 වැනිදා සංගීත සංදර්ශනයක් සංවිධාන කර තිබුණේ පෞද්ගලික සංවිධානයක් මගින්.

මෙම සංගීත සංදර්ශනය අතරතුර තරුණයින් පිරිසක් වේදිකාව මත නැග නර්තනයක නිරත වී තිබුණා.

සංවිධායක මණ්ඩලය ඔවුන්ට වේදිකාවෙන් ඉවත්වන ලෙසට දන්වා තිබුණ ද ඊට අවනත නොවූ තරුණයින්ට පොලීසිය ද අවවාද කර තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී පොලීසිය හා මෙම තරුණයින් පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර පොලීසිය තරුණයින් පිරිසකට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය කිසිදු සොයාබැලීමකින් තොරව අත්තනොමතික ලෙස පහර දීම සිදුකර ඇති බවටයි පහරකෑමට ලක්වූවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ.

පහර කෑමට ලක්වූ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි තරුණයා කොබෙයිගනේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ කිසිවෙකුටත් නොදන්වා හොර රහසේයි.

තරුණයාගේ මව පවසන්නේ රෝහල් ගත වී සිටි කාලයේදී ඔහුට විවිධ තර්ජන පැමිණි හෙයින් එසේ රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

මේ අතර පොලිස් නිලධාරීන් තරුණයෙකුට පහර දෙන සිදුවීම දුරකින්ථනයක රූගත කළ පුද්ගලයාටද පොලීසිය පහරදීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අප කළ විමසීමකිදී පොලිසිය පැවසුවේ සංගීත සංදර්ශනයට පැමිණ බීමත්ව සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් විසඳීමට යාමේදී මෙවැනි තත්ත්වයක් ඇති වූ බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් පොලීසියට ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *