මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට

මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට


මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට

(08.05.2023 – 11:50 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා මැරීන් ඩ්‍රයිව්හිදී SUV රථයක් වාහන දෙකක (2) ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

මෙම අනතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා විසින් සිදු කළ අනතුරක් බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

CCTV දර්ශනවල සටහන් වූ මෙම අනතුර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද පැතිර ගියා.

ඒ අනුව වේගයෙන් පැමිණි SUV රථයක් බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී මාර්ග ඉදිකිරීම් කිහිපයක් මඟහැරීමට යාමේදී පාලනය කරගත නොහැකිව තවත් වාහන දෙකක (2) ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණා.

SUV රථයේ සිටි තරුණයින්ට බරපතල තුවාල කිසිවක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් ජීප් රථයට සහ වාහන දෙකකට (2) දැඩි හානි සිදුව තිබෙනවා.

අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (08) ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

+


නීතීවිරෝධී ලෙස මෙරටට රත්‍රන් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

(08.05.2023 – 12:21 +0530 – hirunews.lk/sinhala)

නීතීවිරෝධී ලෙස මෙරටට රත්‍රන් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා ඊයේ (07) උදෑසන කාලයේ අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඔහු සතුව රත්‍රන් කිලෝ 06 යි ග්‍රෑම් 996 ක් තිබී අති බවයි වාර්තා වන්නේ.

රත්‍රන් බිස්කට් කිලෝ 4 යි ග්‍රෑම් 942 ක් සහ ස්වර්ණාභරණ කිලෝ 02 යි ග්‍රෑම් 942 ක් තිබූ බවයි පැවසෙන්නේ.

ඔහු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙක් බව සඳහන්.

ඔහු ගුවන්තොටුපොළ තුළ සිදුකෙරෙන සියලු පරීක්ෂණ නිමවා, රේගු පරිශ්‍රයෙන් ද පිටතට පැමිණ, ගුවන්තොටුපොළෙන් පිටතට යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴


මහා භාණ්ඩාගාරයෙන් නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751 ක්

(08.05.2023 – 12:49 +0530 – hirunews.lk/sinhala)

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751 ක මුදලක් ලබාදී තිබෙනවා.

ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් එම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට (4) ආසන්න කාලයක් නතර වී තිබූ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් එම මුලද ලබාදී දුන් බවයි වාර්තා වන්නේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින් ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2,265 ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50 ක පමණ වැඩ අවසන්ව ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14,022 ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් (1) නිවසක් බැගින් නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴


නිධානයකින් ගත් පිළිමයක් විකිණීමට ගිය පිරිසක් මාට්ටු

(08.05.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ලබාගත් බව කියන දේව රූපයක් විකිණීමට රැගෙන යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු (2) හා පුරුෂයෙකු (1) මන්නාරම පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම – මහනුවර බසයේ පිළිමයක් රැගෙන යන බවට ලද තොරතුරක් මත බස් රථය නවත්වා පරික්ෂා කිරීමේදී එම සැකකාරියන් සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මන්නාරම පොලිසිය පවසනවා.

අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා (2) සහ පුරුෂයා (1) අද (08) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


නව විශේෂාංග 03 ක් සමගින් අලුත් වුණු ‘වට්ස්ඇප්’

(08.05.2023 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මෙටා ආයතනය සතුව පවතින ‘වට්ස්ඇප්’ විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් (3) හඳුන්වා දී තිබෙනවා.

මෙම නව විශේෂාංග තුන (3) වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව සඳහන් වනවා.

Polls – තනි-ඡන්ද ගණනය කළ හැකි විකල්පයක්.

මේ හරහා යම් කරුණු වලට අදාළව නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන් වනවා.

Forward media with caption – මෙම නව විශේෂාංගය හරහා සිරස්තලයක් සමඟ තොරතුරු වට්සැප් සඳහා නිකුත් කළ හැකි වනවා.

මෙයට ඡායාරූප, වීඩියෝ සහ GIF ඇතුළත් වනවා.

Documents with captions – පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකිවීම විශේෂත්වයක් ෴


ගුවන් ගමන් පාලක අර්බුදය උග්‍ර වෙයි – ආධුනිකයන් 50 කට පත්වීම්

(08.05.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණයි.

ඒ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති බවයි වාර්තාවුණේ.

කටුනායක, මත්තල, රත්මලාන, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවල ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.

ගුවන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24 ම සේවයේ නිරතවීමට සිදුව තිබෙනවා.

පවතින ගැටළුවට ලබාදෙන විසඳුම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් විමසීමක් කළා.

ඔහු කියාසිටියේ අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ලබන 16 වනදා පුහුණුව සඳහා ආධුනිකයින් 50 දෙනෙකු බදවා ගන්නා බවයි ෴


ටෙලිකොම් කොටස් ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

(08.05.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 15 වනදා තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඒ, එම සමාගමේ කොටස් පැවරීමට එරෙහිව එහි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු (2) ඉදිරිපත් කළ පෙත්සමක් අද (08) කැඳවූ අවස්ථාවේදියි.

මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් නීත්‍යානුකූල බව මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එහිදී ඔහු අධිකරණයට ප්‍රතිඥා ලබාදුන්නේ නඩුව කැඳවන ජූනි මස 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් සිදු නොකරන බවයි ෴


පොසොන් උත්සවය සමරන්න ජනපතිගෙන් උපදෙස්

(08.05.2023 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

රටපුරා පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් සොයා බලා එම පින්කම් සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දී ඇත්තේ.

අනුරාධපුර මිහින්තලා පුදබිම පාදක කරගනිමින් ප්‍රධාන පින්කම් සංවිධාන කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ කුමන අයුරින් දැයි සොයා බලා වාර්තා කරන ලෙස ද ජනාධිපතිතුමන් දන්වා සිටිනවා.

රාජ්‍ය මැදිහත්වීමෙන් වෙසක් උත්සවය සාර්ථක අයුරින් පැවැත් වූ අතර ඊට නොදෙවනි ලෙස පොසොන් උත්සවය ද පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවයි වාර්තා වන්නේ ෴


GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට සිට

(08.05.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වෙනි සැසි වාරයේදි නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

එම සැසි වාරය හෙට (09) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වනවා.

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේතිලක ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ බව අමාත්‍යංශය සඳහන් කළා ෴


ඉන්දියානු ටාටා ශ්‍රී ලංකන් මිලදී ගැනීමට අවධානය

(08.05.2023 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරයක් වන ‘ටාටා’ සමාගමෙහි අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියානු ‘ටාටා’ සමාගම මේ වන විටත් Air India සමාගමේ සහ තවත් ගුවන් සමාගම් කිහිපයක ද මෙහෙයුම් කටයුතු සිදු ක‍රමින් පවතිනවා.

පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා මෙරට රජ‍ය විසින් ආයෝජකයෙකු සෙවූ නමුත් එහි මූල්‍ය තත්ත්වය මත සැලකිය යුතු යෝජනා ඉදිරිපත් වී තිබුණේ නැහැ ෴


විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙලට ඇමරිකාවේ සහය

(08.05.2023 – 15:33 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා තාක්ෂණික සහය ලබාදීමට ඇමරිකාව කැමැත්ත පළකර තිබෙනවා.

මෙරටට පැමිණ සිටින යූ.එස්.ඒඩ් හෙවත් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් ඇතුළු කණ්ඩායම අද (08) පෙරවරුවේ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ අනුව මෙම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ග සැළසුම සකස් කිරීමට සහ තාක්ෂණික සහය ලබාදීම එම ආයතනය විසින් සිදුකරනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *