අතුරුගිරිය ද්විත්ව ඝාතන සැකකරු අත්අඩංගුවට

අතුරුගිරිය ද්විත්ව ඝාතන සැකකරු අත්අඩංගුවට


අතුරුගිරිය ද්විත්ව ඝාතන සැකකරු අත්අඩංගුවට

(08.05.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සඳහා පොලිසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (07) සවස කොරලවැල්ල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 02 වැනි දා පස්වරුවේ අතුරුගිරිය, ගොඩගම ප්‍රදේශයෙ පිහිටි ලී වෙළඳසැලක හිමිකාරිය එම වෙළඳසැලේ කාර්‍යාල කාමරය අසල ඝාතනය කර තිබෙන අතර, වයස අවුරුදු 51 ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ ම පදිංචි තවත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වූ කොරලවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙනවා.

එමෙන්ම මෙම සැකකරු විසින් මාදුපිටිය, පානදුර යන ලිපිනයද භාවිතා කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී, මියගිය කාන්තාවගේ රුපියල් 450,000 ක් වටිනා රන් මාලය කොල්ලකා උගස් කරන ලද රිසිට් පත, ඝාතනය අවස්තාවේ දී සැකකරු ඇඳ සිටි ඇඳුම් මෙන්ම පාවහන් යුගලද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව අද (08) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


හදිසි ගින්නකින් කාන්තාවක් මරුට

(08.05.2023 – 06:36 +0530 – hirunews.lk/sinhala)

කලවංචිකුඩි, වෙම්බු පාර, මාන්කාඩු ප්‍රදේශයේ දී ඊයේ (07) ගින්නකට හසු වී කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම මියගිය කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇවිදීමට නොහැකිව නිවසේ ඇඳක් මත සිට ඇති බවත්, නිවසේ දල්වන දුම් තැටියක් ඇඳ ආසන්නයේ තබාගෙන නින්දට ගොස් සිටිය අතරතුර දී මෙම අනතුර සිදු වී ඇති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 74 ක් වන එම ප්‍රදේශයේ ම පදිංචිකාරියක් වන බවත්, මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙන බවත් පොලිසිය පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම ඊයේ (07) දින සවස් කාලයේ දංඕවිට, හොරගස්මංකඩ හන්දිය ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික රබර් කම්හලක ගොඩනැඟිල්ලේ කොටසකද ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් දේපල හානි පමණක් සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.

ගම්පහ ගිනි නිවීමේ ඒකකය සහ දංඕවිට පොලිසියේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සඳහන් ෴


දියේ ගිලී යුවලක් අතුරුදන්

(08.05.2023 – 06:57 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයේ ඊයේ (07) සවස දියනෑමට ගිය යුවලක් අතුරුදන් වී තිබෙනවා.

මෙලෙස මෙම යුවල අතුරුදන් වී ඇත්තේ අත්තනගලු ඔයේ ශාඛාවක් වන ඇල් ඔයේ දිය නෑමට ගොස් සිටියදී යි.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 19 ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවත්, කාන්තාවද වයස අවුරුදු 19 ක් වන කුඩාඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදහන් වූ යුවල සොයා වේයන්ගොඩ පොලිස් නිලධාරීන්, යුධ හමුදාව සහ නාවික හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා ෴


තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට

(08.05.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ තීරුබදු සහනය ඉවත් කිරීම සහ අනෙකුත් පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම තීරුබදු සහන යටතේ ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීමේ කාලසීමාවද අවසන් වී තිබෙනවා.

ඒ හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කෙරෙන අතර, කිලෝවක මිල රුපියල් 25 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (07) ප්‍රකාශ කළේ තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ රුපියල් තුනක (3) රේගු බදු සහනය ඉවත් කරන බවයි.

එමඟින් මිල ඉහළ දැමීමක් සිදු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එහෙත් පසුගිය සතියේ වෙළඳපොලේ රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති තිරිඟු පිටි කිලෝවක මිල, අද (08) වනවිට රුපියල් 240 ත් 290 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම සුදු සීනි කිලෝවක මිලද පසුගිය සතියේ පැවතුණේ රුපියල් 190 ත් 210 ත් අතර මිලකයි.

එහෙත් අද (08) වනවිට සතොස සහ සුපිරි වෙළඳසැල් ජාලයන්හි සුදු සීනි මිල ගණන්ද රුපියල් 245 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍යය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පසුගිය වසරේ මැයි 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් බවයි එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව අඛන්ඩව වැටලීම් සිදුකරන බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර අද දිවයින පුරා සංකේත වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ, නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොලක වැටලීමක් සඳහා ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් පිරිසකට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

ඊට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපිට අද (08) විරෝධතාවකද නිරතවනවා.

එමෙන්ම පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේද අද (08) කළු කොඩි ඔසවා එහි නිලධාරීන් ක්‍ෂේත්‍ර රාජකාරිවලින් බැහැරව සිය විරෝධය පළ කළා.

+

+


යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

(08.05.2023 – 08:10 +0530 – hirunews.lk/sinhala)

වරකාපොළ අඹේපුස්ස මාර්ගයේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසිපස් (25) හැවිරිදි වියේ පසුවන මායින්නලුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මාස දෙකකට (2) පමණ ඉහත දී යුග දිවියට පිවිසී ඇති මෙම තරුණැයා නිවසේ සිට කෑගලු දෙසට ගමන් කරමින් සිටිය දී විරුද්ධ දෙසින් පැමිණි වැලි ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ ෴


ගම්පහ ඩෙංගු තත්වය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්

(08.05.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ රෝග ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (08) පිටත් කර හරින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්යෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,000 කට අධිකයි.

මේ වසරේ මුල සිට මෙරටින් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සටහන් වූයේ බස්නාහිර පළාතෙන්.

එහෙත් පසුගිය වසරේ මැයි මාසය වනවිට මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 24,206 ක් පමණයි.

ඩෙංගු රෝගීන් මෙලෙස ඉහළ යාමට ‘ඩෙංගු 3 වන ප්‍රභේදය’ හේතුවී ඇති බවට මත පළ වුවත් සෞඛ්‍ය කීට විද්‍යා සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක චෝදනා කළේ ධූමායනය අවම කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීන්දු තීරණ මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ෴


ප්‍රංශයේ තිබී අංජුගේ අවන්හලක් හමුවේ

(08.05.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු වූ පාතාල නායකයක ‘රත්මලානේ කුඩු අංජු’ නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන එය ‘කුඩු අංජු’ නැමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන ප්‍රංශ ජාතික තරුණියගේ නමින් මෙම අවන්හල පවත්වාගෙන ගිය බව සඳහන්.

‘රත්මලානේ කුඩු අංජු’ නැමැත්තා එම අවන්හල මිලදී ගෙන සිය අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික තරුණියට ලබාදුන් අවන්හල ‘නමස්තේ’ යන නමින් පවත්වාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

‘නමස්තේ’ නමින් හැඳින්වෙන මෙම අවන්හලේ නිතර සාද පැවැත්වෙන බවත් එයට ‘කුඩු අංජු’ නැමැත්තාගේ සුරූපී ප්‍රංශ පෙම්වතිය ද සහභාගි වී නර්තන ඉදිරිපත් කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මීට අමතරව ප්‍රංශයේ ‘බෝදෝ’ ප්‍රදේශයේ වයින් කම්හලක් ද මොහු වෙනත් අයකුගේ නමින් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් බවට සැලකෙන ‘ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත’ සහ ‘බටුවත්තේ චාමර’ නැමැත්තෙකුමෙම ව්‍යාපාර කටයුතු සඳහා ‘රත්මලානේ කුඩු අංජු’ නැමැත්තා විසින් හවුල් කරගෙන සිටින බව ද සඳහන්.

ප්‍රංශ පෙම්වතිය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය නතර කර ඇයට මුදල් ලබාදීම නතර කරන්නේ නම් පමණක් නැවත ඔහු සමඟ පවුල් ජීවිතයක් ගත කිරීමට කැමති බව ‘කුඩු අංජු’ නැමැත්තාගේ බිරිඳ මෙහිදී පවසා ඇති බවඳ සදහන්.

‘රත්මලානේ කුඩු අංජු’ නැමැත්තාට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ද ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙනවා ෴


පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් වර්ජනයක

(08.05.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් (08) ආරම්භ කර තිබෙනවා.

‘සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ’ සභාපති කෝසල රංගනාත් සඳහන් කළේ , සිය නිලධාරින්ට එල්ල වූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

නිලධාරින් පිරිසකට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් තුන්දෙනෙකු (3) අනිද්දා (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බිහල්පොළ ප්‍රදේශයේ දී නාරම්මල පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19, 21 සහ 59 යන වයස්වල පසුවන මාදම්පේ සහ යක්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් ඊයේ (07) කුලියාපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් අද (08) දිවයින පුරා සංකේත වර්ජනයක නිරතවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *