ජලබිල් නොගෙවන රජයේ ආයතනත් ජල සැපයුම විසන්ධි කිරීමේ ලැයිස්තුවට

ජලබිල් නොගෙවන රජයේ ආයතනත් ජල සැපයුම විසන්ධි කිරීමේ ලැයිස්තුවට


ජලබිල් නොගෙවන රජයේ ආයතනත් ජල සැපයුම විසන්ධි කිරීමේ ලැයිස්තුවට

(07.05.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

බිල් නොගෙවන රාජ්‍ය ආයතන ද ඉදිරියේ දී ජල සැපයුම විසන්ධි කිරීමේ ලැයිස්තුවට එක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එමෙන්ම දින 90 ඉක්මවූ පසු රාජ්‍ය ආයතනවලට ද ප්‍රමාද ගාස්තුවක් හඳුන්වාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ ප්‍රකාශ කළා.

තවද මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 2.9 ක්.

එම සංඛ්‍යාවෙන් අති බහුතරයක් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සිය මාසික බිලෙන් 50% ක් පමණ ගෙවා දැමීමට පුරුදු වී ඇති බවයි ජල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


තවත් කොවිඩ් මරණ 3 ක්

(07.05.2023 – 12:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් මරණ 3 ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂාවත් සමඟ මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ මට්ටමක පවතින නිසා ඒ ඔස්සේ විවිධ ලෙස රෝග බෝවීම ඉහළ යා හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් වාර්තා වීම වර්ධනය වී ඇති බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසයි වෛද්‍යවරයා ඉල්ලා සිටියේ ෴


පාසල් සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

(07.05.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

දොළොස් (12) හැවිරිදි සිසුවෙකු පාසල තුළදී අපයෝජනයට ලක් කළ පනස් පස් (55) හැවිරිදි ගුරුවරයෙකු හල්දුම්මුල්ල පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ වැසිකිළියක් තුළදී මෙම සිසුවාට අපයෝජනය කර ඇති බව පොලීසිය පවසනවා.

එම පාසලේ වෙනත් සිසුන් මෙම ගුරුවරයාගෙන් අපයෝජනයට ලක්වී ඇත්දැයි සෙවීමට හල්දුම්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ ෴


නැගෙනහිර ආණ්ඩුකාරවරියගේ අවසන් ඇමතීම ?

(07.05.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

බොහෝ විට තමන් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය වනු ඇතැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ප්‍රකාශ කළා.

ඒ, ත්‍රිකුණාමලය සහෝදරත්වයේ වෙසක් උත්සවයේ අවසන් දිනට ඊයේ (06) එක්වෙමින්.

මේ අතර ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරය නිමකර දිවයිනට පැමිණි පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වුණා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී ඇති බවයි.

උතුර පළාත් ආණ්ඩුකාර ධුරය එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංගට ලබාදීමට නියමිත බව පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු ආණ්ඩුකාර ධුර සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් ෴

+++++++

පළාත් හතරක (4) ආණ්ඩුකාරවරුන් වෙනස්වන ලකුණු

(07.05.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට දැනුම්දී ඇති බව රජයේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව පුරප්පාඩු වූ ආණ්ඩුකාර ධුර සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පත් කිරිමටයි යෝජනා වී ඇත්තේ.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව උතුර, නැගෙනහිර, සබරගමුව, වයඹ යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දුරකථනයෙන් දැනුම්දී ඇති බව සඳහන්.

උතුර පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර, වසන්ත කරන්නාගොඩ යන අයට මෙලෙස දැනුම්දී ඇති බව වාර්තාවනවා.

රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා සිය එංගලන්ත සංචාරය නිම කර යලි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙලෙස ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම සිදුකරන ඇති බවයි.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (07) අලුයම ඇමරිකාව බලා පිටත්ව ගියා. ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

එහි සිට ඔහු ඇමරිකාව බලා පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ. බැසිල් රාජපක්ෂ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රන් මාවත ඔස්සේ පිටව ගොස් ඇති අතර, ඒ සඳහා ඩොලර් 200 ක මුදලක් ගෙවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

සිය පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙලෙස ඇමරිකාවට ගොස් ඇති අතර, දින හතකින් (7) පමණ නැවත දිවයිනට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

+


ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂඥ වාර්තාවක් කැඳවයි

(07.05.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් සමඟ එම තත්වයට පිළියම් සෙවීම සඳහා විශේෂඥ වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එහි ප්‍රධානත්වය දරණු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.

එමෙන්ම පාසල් තුළ ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත්කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගියදා පළාත් ආණ්ඩුකාරවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු අදාල චක්‍රලේඛය නිකුත් කිරිමට තීරණය කළ බවයි ෴


දිස්ත්‍රික් 05 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

(07.05.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ දිස්ත්‍රික් 05 ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (07) උදෑසන 9 සිට හෙට (08) උදෑසන 9 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ මාතලේ, බදුල්ල, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහායි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම, යක්කලමුල්ල යන ප්‍රදේශ මෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව යන ප්‍රදේශ සඳහා ද මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව, පොල්ගහවෙල යන ප්‍රදේශ ද, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොළ ප්‍රදේශය ද මෙයට අයත් බව නිවේදනයේ සඳහන් ෴


කොකුවිල් වෙරළ තීරයට මෘත ශරීර දෙකක් (2) ගොඩ ගසයි

(07.05.2023 – 14:42 +0530 – hirunews.lk/sinhala)

කොකුවිල් පොලිස් වසමේ කොකුවිල් මුහුදු තීරයට පාසල් සිසුන් දෙදෙනෙකුගේ (2) මෘත ශරීර ගොඩගසා තිබෙන බව කොකුවිල් පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

මරණකරුවන් වයස අවුරුදු 16 ක් වූ ඉරුත්තියපුර හා කරු වප්පන්කේනි ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් දෙදෙනෙක් (2).

මෙම සිසුන් දෙදෙනා (2) ඊයේ (06) දින සවස් කාලයේ කොකුවිල් මුහුදු තීරයේ දියනෑමට ගොස් මෙසේ දියේ ගිලී ඇති බවට සිදුකල මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීර මඩකලපුව රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොකුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා ෴


පුල්මුඩේ ප්‍රදේශයේ දී වනඅලි පහරදීමක්

(07.05.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

පුල්මුඩේ පොලිස් වසමේ ජින්න පුරම් ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (07) දින පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පුල්මුඩේ පොලිස්ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 66 ක් වූ ජින්නපුරම්, පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුල්මුඩේ පොලිස් වසමේ ජින්නපුරම් ප්‍රදේශයට වන අලියෙකු කඩා වැදීම හේතුවෙන් මෙම වන අලියා එලවා දැමීමට ගම්වාසීන් කිහිප දෙනෙකු කටයුතු කර ඇති අතර එහිදී පුද්ගලයෙකුට වන අලියා පහර දීමෙන් මියගොස් ඇති බවටයි විමර්ශනවල දී අනාවර්ණය වී ඇත්තේ.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාර දී ඇති අතර පුල්මුඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


පෙර පාසල් දරුවන්ට අලුත් බිස්කට් වර්ගයක්

(07.05.2023 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නේ කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ලබන මාසයේ සිට එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ෴


රට රැකියා පෙන්නා කොළඹ තරුණයන් රවටා මුදල් ගත් කතක් අත්අඩංගුවට

(07.05.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා කොළඹ ප්‍රදේශයේ තරුණයන් 05 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් වංචාකළ කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදීයි.

කොළොන්න ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

රුපියල් 2,75,000 ක වැටුප් සහිත රැකියාවකට රුමේනියාවට යවන බව පවසමින් ඇය මෙම තරුණයන්ගෙන් අදාළ මුදල් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රැකියා අවස්ථා ලබා නොදී මාස 04 ක පමණ කාලයක් මෙම තරුණයන් රවටමින් සිටින බවටයි අදාළ තරුණයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *