අනාරක්ෂිත ලෙස ගංඟා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී

අනාරක්ෂිත ලෙස ගංඟා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී


අනාරක්ෂිත ලෙස ගංඟා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී

(07.05.2023 – 09:56 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත ලෙස ගංඟා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් කුඩා දරුවන් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලා සිටින්නේ.

බෙලිහුල් ඔයේ දිය නෑමට ගිය කුඩා දරුවන් දෙදෙනෙකු (2) ඊයේ (06) අනතුරට ලක්වුණා.

ඥාති සහෝදරයන් වන එම දරුවන් අතරින් 13 හැවිරිදි දැරිය මියගිය අතර, 12 හැවිරිදි පිරිමි ළමයා ඇය මුදා ගැනීමට උත්සහා දරා තිබෙනවා.

එහිදී දෙදෙනාම (2) දියේ ගසාගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අනතුරුව ප්‍රදේශවාසින් දැරිය රෝහල් ගතකර ඇති අතර, ඇය ජිවිතක්ෂයට පත්වුණා.

අතුරුදන්වූ පිරිමි දරුවා පිළිබඳ මේ දක්වා තොරතුරක් වාර්තාවී නොමැති අතර, ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ ෴


තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙක් මරුට

(07.05.2023 – 07:09 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන – නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායක දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 74 ක් වන කල්ලඩිවේටෙයි කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයාගේ ගොවිපලේ හිමිකරුට අයිති එළුවන් අනෙක් ගොවිපලේ බෝගවලට අලාභ කිරීම සම්බන්ධව දෙදෙනා අතර කලක සිට ආරවුල් තිබී ඇති බව සඳහන්.

මෙම ආරවුලක් දුර දිග යාමෙ හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් නිසා ඊයේ (06) අනෙක් ගොවිපලේ හිමිකරු විසින් අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් හිස ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ ෴


තංගල්ලේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

(07.05.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල පොලිස් වසමේ පහජ්ජාව ප්‍රදේශයේ ඊයේ (06) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ සූරියවැව මීගහජදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක් වන තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

තරුණයා ගමන් කළ යතුරුපැදිය සුනඛයෙකුගේ වැදී යතුරුපැදිය පෙරළී ගොස් බෝක්කුවක වැඳී මෙම අනතුර සිදු වූ බව සඳහන්.

බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල රෝහලට ඇතුලත් කළ පසු මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


වක්ඔ‍යේ ගිලී කාන්තාවක් මියයයි

(07.05.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල පොලිස් වසමේ වක්ඔයේ දිය නාමින් සිටී කාන්තාවන් දෙදෙනෙකු (2) ඊයේ (06) දියේ ගිලී තිබෙනවා.

එහි දී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා (2) ගොඩට ගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී එක් (1) කාන්තාවක් මිය ගොස් ඇති බවයි හංවැල්ල පොලිසියට සඳහන් කළේ.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 42 ක් වන උඩහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

රෝහල් ගත කළ අනෙක් කාන්තාව අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වී ඇත්තේ.

මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


සමනල වත්තේ දී සිදු වූ අතුරුදන්වීම ගැන තවමත් තොරතුරක් නැහැ

(07.05.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු දින 4 ක් තිස්සේ අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 45 වන වියේ පසුවන මෙම පුද්ගලයා පසුගිය 03 වැනිදා උදෑසන සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා විසින් බලගොඩ පොලීසියට ද පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිස් නිළ සුනඛයෙකු යොදාගෙන අතුරුදහන් වු පුද්ගලයා පිළිබද තොරතුරු සෙව්වද මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

එමෙන්ම මීට වසර 5 කට පමණ පෙර සමනලවත්ත ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු අතුරුදන් වූ අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ ෴


පානදුරේ අනතුරකින් 10 ක් රෝහලේ

(07.05.2023 – 08:54 +0530 – hirunews.lk/sinhala)

පානදුර වලාන ප්‍රදේශ‍යේ අද (07) සිදු වූ අනතු‍රකින් කුඩා දරුවන් තිදෙනෙකු (3) ඇතුලු දස (10) දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වෙසක් සිරි නරඹා ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත් වී ඇති අතර ඔවුන් ගමන් කළ කුඩා ලොරි රථය පෙරලී යෑමෙන් මෙම අනතුර සිදු වූ බව සඳහන්.

තුවාල ලැබූ දසදෙනා (10) පානදුර මූලිකට රෝහලට ඇතුළත් කළ අතර ඉන් හතර (4) දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

කොළඹ වෙසක් සිරි නරඹා මතුගම බලා යාම සඳහා පානදුර දෙසට පැමිණෙමින් සිටි ලොරි රථය අඩි තිහක් (30) පමණ උස විදුලි කණුවක සහ යකඩ වැටවල් දෙකක (2) ගැටි පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී කුඩා ලොරියේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර තිබෙනවා ෴


බැලූනයක් කඩා වැටී නිවසක් ගිනි ගනී

(07.05.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පූජාවක් අතරතුර දී ගුවන් ගත කරන ලද බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටීම නිසා එම නිවස ඊයේ (06) ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

එම බැලූනය ගුවනට යවා මිනිත්තු තිහකට (30) පමණ පසුව ගිනි ගෙන වැටී ඇත්තේ යාපනයේ පේදුරුතුඩුව තුඹලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක වහලයක් මතටයි.

එම බැලූනය කඩාගෙන වැටීමෙන් නිවසේ වහලය මෙන්ම නිවසටද ගිනි ඇවිලී විනාශ වී ඇති බවයි අප ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්වෙට්ටිතුරෙයි පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

බැලුනය යවන ලද අවස්ථාවේ දී කෝවිල තුළ දෙදහසක් (2000) පමණ බැතිමතුන් සිට ඇති අතර ඔවුන් බැලුනය කඩා වැටෙනු දැකීමෙන් පසුව එම ප්‍රදේශයට ගොස් ඇතත් ඒ වන විට බැලූනය කඩා වැටුණු නිවසේ වහලයට ගිනි ඇවිලී නිවසද ගිනි ගෙන තිබුණු බවයි කෝවිලේ බාරකරුවන් පොලීසියට ප්‍රකාශ ඇත්තේ ෴


දියබෙදුමට කඩා වැදුණු වන අලියා ගිරිතලේ රක්ෂිතයට පන්නා දමයි

(07.05.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ගිරිතලේ මාර්ගයේ දියබෙදුම නගරයට කඩා වැදුණු වන අලියකු නගරයේ කඩ කිහිපයකට හා නගරයේ නවතා තිබු රථ වාහන කිහිපයකට හානිකර තිබෙනවා.

ඊයේ (06) දහවල් කාලයේ මෙලෙස කඩා වැදුණු වන අලියෙකු නගරය පුරා සැරිසරමින් නගරයේ තිබුණු වාහන රැසකට පහරදී විනාශ කර තිබුණා.

නගරයේ සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දුවගොස් ඇති අතර පසුව නගරය පාළු ස්වභාවයක් ගෙන තිබුණි.

අනතුරුව වනජීවි නිළධාරින් විසින් එම වනඅලියා ගිරිතලේ ස්වභාවික රක්ෂිතය වෙත පලවාහැරිමට කටයුතුකර තිබුණා.

මේ අතර, මහඔය ගොවි ව්‍යාපාරයේ වී වගාවලට වන අලින්ගෙන් හානි සිදුවන බවට ගොවීන් චෝදනා කළා ෴


සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු ගැන විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක්

(07.05.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

පාසල් තුළ ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත්කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ, පසුගියදා පළාත් ආණ්ඩුකාරවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු අදාල චක්‍රලේඛය නිකුත් කිරිමට තීරණය කළ බවයි ෴


ගිනි අවියක් රැගෙන ගුවන් තොටුපල තුළට පැමිණි ගුවන් යානා ආරක්ෂකයෙකු අත්අඩංගුවට

(07.05.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

සිය රාජකාරි ගිනි අවිය රැගෙන කටුනායක ගුවන් තොටුපලේ සංක්‍රමණික පර්යන්තය වෙත පැමිණි ගුවන් යානා ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක සිට චෙන්නායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ඉන්දීය ගුවන් යානයක ආරක්ෂක නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගත් බවටයි වාර්තා වුණේ.

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරිවරයෙකු සේවයේ යොදවා ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිණිසයි.

එම ආරක්ෂක නිලධාරියාට කිසිදු අවස්ථාවක සිය රාජකාරි ගිනි අවිය යානයෙන් පිටතට රැගෙන යාම තහනම් වනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා උණ්ඩ පිරවූ සිය රාජකාරි ගිනි අවිය රැගෙන කටුනායක ගුවන් තොටුපලේ සංක්‍රමණික පර්යන්තය වෙත පැමිණ සිට ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා ඉන්දීය ජාතිකයෙකු වන අතර, ඔහු එරට විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු වන බව සඳහන්.

පසුව දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මට්ටමින් ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගත් ගුවන් යානා ආරක්ෂක නිලධාරියා මුදාහැර ඇති බව වාර්තාවුණා ෴


තිරිඟු පිටි බදු සහනය ඉල්ලා අස්කරයි – මිල වැඩි වීමේ අවදානමක්

(07.05.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක (3) බදු සහනය ඉවත්කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ පසුගිය බදාදා (03) සිට එම බදු සහනය ඉවත්කළ බවයි ෴

තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

එම නිසා මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩයේ මිල ඉහළ යාමට හැකියාවක් තිබෙනවා.

2020 ජනවාරි මාසයේදී රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15-16 සිට රුපියල් 3 දක්වා අඩු කිරීමත් සමඟ තීරුබදු නිදහස් කිරීම පසුගිය රජය සමයේ හඳුන්වා දී තිබුණා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව මෙම තීරණය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ ෴


රජය දුන් මුදල්වලින් ගොවීන් පොහොර මිලදී ගෙන නැහැ

(07.05.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මහ කන්නයේ දී ගොවි ජනතාවට ලබා දුන් මුදල්වලින් පොහොර මිලදී ගැනීමට කටයුතු කර ඇත්තේ ගොවීන්ගෙන් සියයට 5 ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

2022 – 2023 මහ කන්නයේ දී බණ්ඩි පොහොර මිලදී ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 8 ක මුදලක් රජයට ලබාදුන් අතර, එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ජනතාවගේ ගිණුම්වලට බැරකර තිබුණා.

පසුගිය කන්නයේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000 ක් ආනයනය කළ ද ගොවීන් විසින් ඉන් මිලදී ගෙන ඇත්තේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 5 ක් පමණක් බව වැඩිදුරටත් සඳහන් ෴


අතුරුගිරියේ ලී මෝල් හිමිකාරියගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(07.05.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරියේ ලී මෝලක හිමිකාරියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ද මොරටුව ප්‍රදේශයේ ලී අලෙවිසැලක හිමිකරුවෙකු බවයි වාර්තාවන්නේ. මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පසුගිය 03 වැනිදා සිදුවූ අතුරුගිරිය පොලීසිය ආසන්නයේ පිහිටි ලී මෝලක් තුළ තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද 65 හැවිරිදි මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගනු ලැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *