ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි

ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි


ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි

(05.05.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකයකු වන ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ‘ගාමිණී ප්‍රියන්ත සමරකෝන්’ පැහැර ගෙන ගොස් පහර දී මහමඟ දමා ගිය සිදුවීමට සම්බන්ධව පස්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය තුන් (03) වැනිදා සවස වැලිමඩ නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් සිටිය දී මෙලෙස නිෂ්පාදකවරයා පැහැර ගෙන ගොස් ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වාහන සීසරුන් තිදෙනෙකු (3), හොටෙල් සේවකයෙකු (1) සහ තවත් එක් (1) පුද්ගලයෙකු සිටින බව වැලිමඩ පොලිසිය පවසනවා.

කොළඹ ප්‍රදේශයේ සිටින ‘ටාසන්’ නැමැත්තෙකු විසින් මෙම පැහැර ගැනීම මෙහෙයවා ඇති බවටයි නිෂ්පාදකවරයා පොලීසියට පවසා ඇත්තේ.

සැකකරුවන් විසින් පැහැර ගැනීමට යොදාගත් යොදා ගත් වෑන් රථය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් විමර්ශන සිදුකර බව වාර්තා වනවා.

මෙලෙස පැහැරගෙන ගොස් පහරදිමට හේතු වී ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ටෙලිනාට්‍යක නිෂ්පාදන කටයුත්තක දී ඇති වූ පුද්ගලික ආරවුලක් බවටයි විමර්ශන වලදී අරවරණය වී ඇත්තේ ෴

++++++++


චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගාමිණී ප්‍රියන්ත සමරකෝන් පැහැර ගෙන ගොස් පහර දි මග අත්හැරලා!

(05.05.2023 – lankasara.com/si/)

චිත්‍රපට, ටෙලි නාට්‍යය නිශ්පාදක, අධ්‍යක්ෂක හා තිර රචකයෙක් වූ ‘එස්.එම්. ගාමිණි ප්‍රියන්ත සමරකෝන්’ පෙරේදා (03) වැලිමඩ නුවරඑළිය මාර්ගයේ දී පැහැරගෙන ගොස් පහර දී මහ මග අත්හැර යෑමේ සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් සිවු (4) දෙනෙක් සහ අපරාධය සඳහා යොදා ගන්නා ලද වාහනය වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (03) සවස පා ගමනින් වැලිමඩ කොළඹ පාරේ යමින් සිටි මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයාව වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇත්තේ මූල්‍ය සමාගම්වල බලහත්කාරයෙන් වාහන අත්පත් කරගැනීමේ රැකියාව කරන මැරයින් තිදෙනෙකු (3) සහ හෝටල් සේවකයෙකු (1) විසිනි.

ඌවපරණගම, ලුණු අටලුගම පදිංචිකරුවෙක් වූ මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා මේ වනවිට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. පැහැරගෙන ගොස් පහර දී ඔහුව අත්හැර ගොස් තිබුනේ හපුතලේ මාර්ගය අතරමගය.

මෙම පැහැර ගැනීම කොන්ත්‍රාත්තුවක් මත සිදු වී ඇතැයි පැමිණිල්ලේ කටඋත්තරය අනුව මූලිකව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.

පැහැර ගෙන යන අතරතුර පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා හඳුනන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙම මැරයින් වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවත්, වැලිමඩ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු තමන් සමග විරසකව සිටින බවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා පොලිසියට පවසා ඇත. මෙම පුද්ගලයින් දෙදෙනා (2) කුලී මැරයින් යොදවා තමන්ව පැහැර ගන්නට ඇති බවත් පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා පොලිසියට පවසා තිබේ.


හොර පාරෙන් විදේශ රැකියා දුන් පුද්ගලයින්ට නීතිමය පියවර

(05.05.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් රැසකට මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා.

එම ජාවාරම්වලට සම්බන්ධ ජාවාරමිකරුවන් පිරිසක් නීතිය හමුවට පැමිණ වීමට පියවර ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් සඳහන් කරන්නේ.

වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා.

අසත්‍ය තොරතුරු ලබා දී මුදල් වංචාකිරීම්, සාවද්‍ය ලේඛන සකසා රැකියා සඳහා නුසුදුසු අය විදේශ ගත කිරීමට තැත්කිරීම්, ගමන් බලපත්‍ර වීසා පත් වංචනික ආකාරයෙන් වෙනස් කිරීම් සිදුකරමින් ජාවාරම්කරුවත් එම නීති තිවිරෝධී කටයුතුවල නිරත වී ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ෴


පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට පහර දුන් පිරිස රිමාන්ඩ්

(05.05.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

නාරම්මලදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ගොවිපලේ හිමිකරු ඇතුලු හතරදෙනා (4) රිමාන්ඩ්.

නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොලක වැටලීමක් අතරතුරදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ගොවිපලේ හිමිකරු ඇතුලු හතරදෙනෙකු (4) ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (05) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නාරම්මල ප්‍රදේශයේ සත්ව ගොවිපොලක් තුළ බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් පිරිසක් ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව තිබුණා.

ඊයේ (04) දිනයේම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, අද (05) උදෑසන අදාළ ගොවිපොලේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව සඳහන් ෴


විදුලිබල මණ්ඩලයේ වෙනස ගැන ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡාවක්

(05.05.2023 – 17:25 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුලු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (04) මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එම අවස්ථාවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු පිරිසක් එක්ව සිටි බව සඳහන්.

ඒ අනුව විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය මෙන්ම ඊට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවට හඳුනාගැනීම් සහ ක්‍රියාත්මක කිරීම් සඳහා විශේෂ ඒකකයක් බලශක්ති අමාත්‍යාංශය තුළ පිහිටු වීමටද එහිදී අවධානය යොමුවුණා ෴


කෝරෝනා වැළදී දෙදෙනෙක් මරුට

(05.05.2023 – 18:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළදීමෙන් තවත් මරණ දෙකක් (2) ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කළා.

මෙසේ කොරෝනා වැළදීමෙන් මිය ගොස් ඇත්තේ කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්බාර්ටවුන් ප්‍රදේශයේ වයස අවුරුදු 81 පිරිමි තැනැත්තෙකු බවයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක සඳහන් කළේ.

මේ පිළිබඳ අදහස් දැක් වූ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ ප්‍රකාශ කළේ කිනිගම ප්‍රදේශයේ වයස්ගත කාන්තාව කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන නොමැති බවයි.

මේ වෙසක් මාසය තුළ කොරෝනා ව්‍යාප්තිය වර්ධනය විය හැකි බැවින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


ගංඟාවල ජල තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක්

(05.05.2023 – 18:21 +0530 – hirunews.lk/sinhala)

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පැවසුවේ මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බවයි.

කෙසේවෙතත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.

අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවල දී තරමක් ඉහළ මට්ටමක පවතිනවා.

කෙසේවෙතත් ඉදිරි පැය 24 ක කාලය තුළ කිසිදු ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් ඉදිරි වැසි සහිත තත්ත්වය නිසා ජල මට්ටම් ඉහළ ගොස් ඇති ගංඟා පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද වාර්මාර්ග දෙපාර්තමේන්තුව අවධාරනය කළා.

අධික වර්ෂාවක් ඇතිවුවහොත් ඇතැම් ගංඟා ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාව නොසලකාහැරිය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන ගංඟා ආශ්‍රිත අතු ගංඟා දෙපස සිටින ජනතාවද ගංඟා හරහා ගමන් කරන පිරිස ද විමසිල්ලෙන් පසුවිය යුතුයි.

ප්‍රධාන වාරිමාර්ග ජලාශවල මේ වනවිට 67% ක ජල ධාරිතාවයක් පවතිනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාන්ඔය ජලාශය මේ වනවිට වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


නිවසක් බිඳ රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනේ

(05.05.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් (1,50,00,000) පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කබර සුරේශ්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් (3).

සැකකරුවන් සතුව තිබී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 06 කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අතර පිටකොටුවේ ‘බබා’ නමැති කාන්තාව ද වන බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනා (2) ගෙන් සහ සැකකාරිය (1) ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක් (2), මුදු දෙකක් (2), පෙන්ඩන් දෙකක් (2) හා උණු කරන ලද කැරට් 22 යි ග්‍රෑම් 22 ක රන් ගුලියක්, කැරට් 18 යි ග්‍රෑම් 15 ක රන් ගුලියක්, ස්ටර්ලිං පවුම් 50 හේ මුදල් නෝට්ටු 17 ක්, 100 ඩොලර් නෝට්ටු 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිසිය විසින් කිරුළපන සහ කොළඹ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කිරුළපන ප්‍රදේශයේ පදිංචි ‘කබර සුරේෂ්’ නමැත්තා සොරකම් ගණනාවකට සම්බන්ධව වසර 10 ක් සිරගතව සිට ඉකුත් අගෝස්තු මස 22 වනදා ඇප මත පැමිණ ඇති අතර දෙසැම්බර් 10 වනදා කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ දේපළ සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

දෙසැම්බර් 15 වනදා සැකකරු හෙරොයින් මත්කුඩු සමග වත්තලදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණත් ව්‍යාජ නමක් ලබාදීම හේතුවෙන් පෙර වැරදි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක (7) රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 42 ක්, 46 ක් හා 53 ක් අතර පසුවන්නන් ෴


ආදිවාසී ගම්මානයේ සූදු පිටියක් වටලයි

(05.05.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහොය දිනයේ දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ නිවසක මුදලට සුදු ක්‍රීඩාවේ නිරතව සිටි ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනම්පිටිය පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දලුකාන ගම්මානයේ ම පදිංචි අවුරුදු 28 ත් 45 ත් අතර වයස්වල පසුවන්නන් බවයි.

දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මෙම සුදු පිටිය වැටලීමේ දී තවත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයත් පිරිසක් පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

රජයෙන් ලැබෙන සහල් ආධාර අලෙවි කර මෙම ආදිවාසී කාන්තාවන් සුදු ක්‍රීඩාවේ නිරතව ඇති බවයි මූලික විමර්ෂණ වල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සමග ත්‍රී රෝද රථයක් ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට (06) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පළා ගිය සැකකරුවත් අත්අඩංගුවට ගැනීමට සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා ෴


පොලිස් පරික්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

(05.05.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික පොලිස් පරික්ෂකවරයෙකු විසින් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයේ ගණිකා නිවාසයක් කුරුණෑගල පොලිසිය විසින් වටලනු ලැබුවා.

එහිදි කාන්තාවන් හයදෙනෙකු (6) සහ එම ස්ථානය පවත්වා ගෙන ගිය තිදෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයින් කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලීසිය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *