දම් අමාවෙන් ලොව සැනසෙන වෙසක් පුන් පොහොය අදයි (05)

දම් අමාවෙන් ලොව සැනසෙන වෙසක් පුන් පොහොය අදයි (05)


දම් අමාවෙන් ලොව සැනසෙන වෙසක් පුන් පොහොය අදයි (05)

(05.05.2023 – 06:21 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පුර පසළොස්වක පෝය අදට (05) යෙදී තිබෙනවා.

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන්නේ මහත් හරසරින්.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්.

සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන (8) වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවන් වෙසක් ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනකයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් පිරිනිවන්පාන්නේ ද වෙසක් ‍පෝ දිනකයි.

සකලවාසී ඔබ සියලු දෙනාට ම දම් අමාවෙන් ලොව සැනසෙන පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා.

+++++++++++

හිරු ශාක්‍යසිංහ මංගල්‍යය තිස්සමහාරාම පුදබිමේ දී ඇරඹේ

(05.05.2023 – 09:05 +0530 – hirunews.lk/sinhala)

තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟු‍ල වෙනුවෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, ඓතිහාසික තිස්සමහාරාම පුද බිම කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ 03 වන ලංකාගමනයේදී 500 ක් මහරහතන් වහන්සේලා සමග සමවත් සුවයෙන් වැඩ සිටි ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය – කකුසඳ, කෝණාගම, කාෂ්‍යප මෙන්ම ගෞතම යන සිව් බුදුවරයාණන් වහන්සේලාගේම පාදස්පර්ෂයෙන් අති පාරිශුද්ධත්වයට පත් පිං බිමක්.

තිස්සමහාරාම මහා සෑරදුන් ඉදිකර ඇත්තේ, තථාගතයන් වහන්සේගේ යටිහකු වාම දළදා වහන්සේ සහ ලලාඨ ධාතූන් වහන්සේ නිධන් කිරීමෙන්.

ඒ මහා පිං බිමේ සිට දාන, ශීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන්ම උත්තම මුණිරදුන් පුදන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය පවත්වනු ලබන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

උදෑසන 05:30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් විසින් උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ආරම්භ කළා. පෝදා ධර්ම දේශනය උදෑසන 07:30 ට බලංගොඩ රාධ හිමියන් සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම කළගුණ සැළකීම පිළිබඳ ධර්ම සාකච්ඡාව පෙරවරු 08:30 සිට පෙරවරු 10 දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද ස්වාමීන් වහන්සේ සහ ත්‍රිපිඨකාචාර්ය පූජ්‍ය හසලක සීල විමල හිමියන්ගේ සහභාගීත්වයෙන්.

උදෑසන 11 ට කාව්‍යමය ධර්ම දේශනාව මාපිටියේ සිරි සුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

පස්වරු 03:30 ට පවත්වන ධර්ම සාකච්ඡාව සඳහා ත්‍රිපිඨකාචාර්ය කොත්මලේ කුමාර කස්සප හිමියන් සමඟ ප්‍රවීණ දේශක තිස්ස ජනනායක සහභාගි වනු ඇති.

බොදු බැති දනන්ගේ වන්දනාමානය උදෙසා ඓතිහාසික තිස්සමහාරාම පුදබිමට සම්බුදු පිළිම පූජා කිරීම ද සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින්.

එමෙන්ම අද (05) පස්වරුවේ ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා – සුවඳ මලින් පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි.

ඉන් අනතුරුව තවත් කප් සුවහස් කල්පයකට සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා සිදු කෙරෙන මහා අධිෂ්ඨාන පූජාව පැවැත්වෙනවා.

පසුව පස්වරුවේ ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් විචිත්‍රවත්ව ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ආලෝක පූජාව පවත්වනු ලබනවා.

මේ අතර, හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනා වැඩසටහන ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී හෙට (06) උදෑසන සිට ආරම්භ වනවා.

හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද තිස්සමහාරාම පුදබිමට වැඩමකෙරෙනු ඇති.

දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සලසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඓතිහාසික තිස්සමහාරාම පුද බිම වෙසක් සිරියෙන් අසිරි ගන්වමින් ඒකාලෝක කෙරෙන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ සජීවී රූපාවලිය හිරු ටී.වී. ඔස්සේ දැන් නැරඹීය හැකියි.

මේ, මෙම මාහැඟි පුණ්‍යකර්මයන්ට සම්බන්ධ වීම සඳහා දිවයිනේ නන් දෙසින් තිස්සමහාරාම පුද බිමට සැදැහැවතුන් පැමිණ සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු පසන් නන්දුල ද සිල්වා සඳහන් කළේ.

+++++++++++

රට පුරා වෙසක් සැමරුම්

(05.05.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද (05) දිවයින පුරා වෙහෙර විහාර ස්ථාන ආශ්‍රිතව විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

ඒ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය හා අටමස්ථානයට ද බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටින බවයි අනුරාධපුර හිරු වාර්තාකරු උපාලි ආනන්ද කියා සිටියේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ද, වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ.

මේ අතර වෙසක් සැරසිලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීමේ අපූරු දන්සැලක් ද අද (05) පැවැත්වුණේ බණ්ඩාරවෙල නගරයේ දීයි.

නගරයේ ව්‍යාපාරියෙකු විසින් එය සංවිධාන කර තිබූ අතර වෙසක් කූඩු 30,000 ක්, පාන්පිටි ඇතුලු අමුද්‍රව්‍ය රැසක් එහිදී බෙදා දෙනු ලැබුවා.

මේ අතර, 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

+++++++++

වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 988 කට ජනපති සමාව

(05.05.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහොය දිනය වෙනුවෙන් සිර කරුවන් 988 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව යටතේ අද (05) නිදහස ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

නිදහස ලබන එම පිරිස අතර කාන්තා සිරකාරියන් 6 දෙනෙකු ද වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මතයි මෙම විශේෂ රාජ්‍ය සමාවහිමිව තිබෙන්නේ.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ සිරකාරියන් 06 ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කිරීමට නියමිතයි.

මේ අතර වෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා අද (05) සහ හෙට (06) දින දෙක තුළ අවස්ථාව ලබා දී තිබෙනවා.

සිරකරුවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල් සහ රස කැවිලි එක් (1) අයෙකුට ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද අවස්ථාව ලබා දී ඇති බවයි බන්ධනාගාරයේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

+++++++++++

‘වෙසක් මහා වඩේ දන්සල’

(05.05.2023 – 19:10 +0530 – hirunews.lk/sinhala)

වඩේ විකුණන කුඩා වෙළෙන්දෙකු විසින් දන්සලක් දුන් පුවතක් කුරුණෑගල ප්‍රදේශයන් වාර්තා වෙනවා.

මෙම වෙළෙන්දා තම ‍යතුරු පැදිය භාවිතයෙන් වඩේ විකිණීම තම ව්‍යාපාරය ලෙස සිදු කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද (05) ඔහු තමාට හැකි පමණින් ජනතාවට දන්සලක් දීමට කටයුතු කර තිබුණා.

ඒ වෙනදාට මුදල්වලට විකුණන වඩේ අද (05) දින සියලු දෙනාට නොමිලේ ලබා දෙමින්.

ඔහු තමා යතුරු පැදියේ ඇති කුඩා පෙට්ටියේ ‘වෙසක් මහා දන්සල’ ලෙස ප්‍රදර්ශනය කර එහි පැමිණි සියලු දෙනාටම නොමිලේ වඩේ ලබා දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ එම දන්සල වටා බොහෝ පිරිසක් එක් රැස් වී සිටි බවයි.

මහා පරිමාණයෙන් මුදල් නැති වුවද ඇති හැටියට දන් දුන් මේ පුද්ගලයා එතනට පැමිණ සිටි සියල්ලන්ගේම ගෞරවයට පත් වී තිබුණා.

+++++++++++

කොළඹ වෙසක් කළාප අවසන් වනතුරු පොලිසිය සීරුවෙන්

(05.05.2023 – 19:52 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාවල අද විවිධ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වුණා.

එසේම වෙසක් තොරණ, පහන් කූඩු, දන්සැල් මෙන්ම භක්ති ගීත වැඩසටහන් සහ වෙසක් කලාප ද සංවිධාන කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, අද (05) දිනයේදී කොළඹ නගරය සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සැල් 7160 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා ෴

+++++++++++

ලොකුම තොරණ පානදුරෙන්

(05.05.2023 – 22:49 +0530 – hirunews.lk/sinhala)

පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදිකළ මෙරට විශාලතම තොරණ පානදුර – හොරණ ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙවර මෙම තොරණ ඉදිව ඇත්තේ 65 වන වරට බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මෙම තොරණින් ‘දේවධර්ම ජාතක කථා වස්තුව’ නිරූපණය වන බවයි වාර්තා වන්නේ.

පානදුර විශාලතම තොරණ උස අඩි 65 කින්ද පලල අඩි 55 ක් වන අතර විදුලි බුබුළු 80,000 ක් සමන්විත වනවා.

මෙය මැයි 05 සිට 12 වැනිදා දක්වා ප්‍රදර්ශනය කරන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *