වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ – 2 ක් මරුට 4 ක් රෝහලට

වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ – 2 ක් මරුට 4 ක් රෝහලට


වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ – 2 ක් මරුට 4 ක් රෝහලට

(03.05.2023 – 17:35 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු (4) තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලිසිය සඳහන් කරනවා.

අද (03) දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ 8039 දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබිය දී වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයේ ගැටි තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ත්‍රිරෝද රථයේ මව සහ එකම පවුලේ දරුවන් 3 දෙනෙකු සහ තවත් ඥාති අයෙකු (1) ගමන් කර තිබෙනවා.

යුද හමුදාවේ සේවය කරන නිවාඩු ලබා පැමිණ සිටි වයස 32 ක් වන අයකු විසින් ත්‍රීරෝද රථය පදවා ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවසනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ වයස 9 දරුවෙකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දරුවන් දෙදෙනෙකු (2), මව සහ තවත් ඥාතියෙකු (1) ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට යවා ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පිරිස වැලිගම පැලෑන මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

+

+


ව්‍යාජ වීසා බලපත්‍රයක් භාවිතා කරමින් විදෙස් ගත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(03.05.2023 – 18:15 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වූ පුද්ගලයෙකුව ඩුබායි ගුවන්තොටුපොළෙන් යළි ශ්‍රී ලංකාවට හරවා එවා තිබෙනවා.

පසුව ඔහුව කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කර ඇති අතර එහිදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව වූ බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස ශ්‍රී ලංකාවට හරවා එවා ඇත්තේ දළුවකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට සහාය දුන් ගුවන් තොටුපල නිලධාරීන් සොයා කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


ලාෆ් ගෑස් මිල සංශෝධනය වෙන්නේ නෑ

(03.05.2023 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම අද (03) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක් වූ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම ආයතනය තවදුරටත් සඳහන් කළේ.

ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම අභියෝගය මාධ්‍යයේ වුවද ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට ගෑස් සැපයුම අඛණ්ඩව පත්වාගනෙ යන බවත් එම නිවේදනයේ සඳහන්.

+


ව්‍යාජ රන් කාසි විකිණීමට තැත් කළ පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

(03.05.2023 – 18:37 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ලබාගත් බව කියමින් ව්‍යාජ රන් කාසි විකිණීමට තැත් කළ චීවරධාරියෙකු ඇතුළු තිදෙනකු (3) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 25 කට මෙම ව්‍යාජ රන් කාසි අලෙවි කිරීමට සූදානම්ව සිටිය දීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එමෙන්ම සැකකාර චීවරධාරියා සතුව තිබි ව්‍යාජ රන් කාසි 52 ක් පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබෙනව‍ා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (03) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දාහතරකට (14) රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා ෴


ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන්න – ජනපති

(03.05.2023 – 18:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් ආයතන සහ ජනතාවගේ සහාය ඇතිව ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරයාට සහ ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළිත් හිස ඔසවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න පැවසුවේ පවතින වර්ෂාවත් සමඟ යළිත් ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක්ද මතුව ඇති බවයි ෴


ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ජාතික රෝහලේ දස (10) දෙනෙකුගේ DNA පරීක්ෂාවකට නියෝග

(03.05.2023 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ අදාළ රෝහල් කාර්යමණ්ඩලයේ 10 දෙනාගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවන ලෙසටයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල ආගන්තුක ජෛව සාම්පල දෙකක් (2) ඇතුළත් බවට අනාවරණය වුණා.

ඒ අනුවයි ඒවා කාගේදැයි සැසදීම සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවිය යුතු බවටයි අධිකරණයට දැනුම් දුන්නේ.

මීට පෙර ද දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබුණා ෴


තානාපතිනිට ටොක්ක අනිනකොට ඌයිය වෙන්නේ ටිංටිංට, ෆොන්සේකට, චම්පිකට – අන්න ජුලි චන්ග්ගේ ‘¤ පුත්තු’ ටික – විමල් වීරවංශ (01.05.2023)

+


අවශ්‍ය වුනොත් හපාකන්නත් අපිට පුලුවන් – ගම්මන්පිල (02.05.2023)

+


නැවේ අල්ලස අළලා අපහස කළ අයට නඩු – එංගලන්තේ බැංකුවෙන් මංජු නිශ්ශංක පරීක්ෂණයක් ඉල්ලයි (03.05.2023)

+


ජාතික ජන බලවේගයේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

(03.05.2023 – 20:49 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළා.

මෙම පෙත්සම අද (03) කැඳවනු ලැබුවේ සිව්පුද්ගල (4) විනිසුරු මඬුල්ලක් ඉදිරියේ යී.

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

මේ අතර 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්වී ඇති රාජ්‍ය සේවකයින් තමන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වී සිටි ඡන්ද කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය , අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවක නිරතවී සිටින්නේ නම් ඔවුන්ට නැවත සේවයට වාර්තා කිරීමට හැකි වන පරිදි ඔවුන්ව එම ඡන්ද කොට්ඨාසයෙන් පිටතට ස්ථාන මාරු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවී තිබෙනවා.

+


බන්ධනාගාරවලටත් වෙසක් කලාප

(03.05.2023 – 20:50 +0530 – hirunews.lk/sinhala)

2023 මැයි මස 05 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් ‘අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු’ යන තේමාව මුල් කර ගනිමින් බන්ධනාගාර ආයතනයන් හී රාජකාරී නියුතු නිළධාරීන් හා බන්ධනාගාරගත නේවාසිකයින් හට වෙසක් අසිරිය සැමරීම සඳහා වෙසක් වැඩසටහන් රාශියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, බන්ධනාගාරගත නේවාසිකයිනගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා වෙසක් පොහෝ දින (මැයි 05) සිල් සමාදන් වීම, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, ධර්ම දේශණා, බොධිපුජා හා බැති ගී ප්‍රසංග ආදි වැඩසටහන් රාශියක් දිවයිනේ සියලූම බන්ධනාගාර ආයතනයන් තුළ ක්‍රීයාත්මක කිරීමට නියමිතයි.

මෙවර වෙසක් දිනය නිමිත්තෙන් කොළඹ බන්ධනාගාර ආයතනයන් හී සංවිධානයෙන් මැයි මස 05, 06 හා 07 තෙදින තුළ බැති ගී ප්‍රසංග, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය හා වෙසක් පොහෝ දින (මැයි 05) සවස 07:00 සිට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් සංවිධානය කරනු ලබන බත් දන්සල හා බන්ධනාගාර මූලස්ථාන නිළධාරීන් විසින් සංවිධානය කරන බෙලිමල් දන්සල බන්ධනාගාර වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන මහජනයා හට ලබා දෙන බවයි වාර්තා වන්නේ.

දිවයිනේ අනෙකුත් සෑම බන්ධනාගාර අයතනයන්හිදීම වෙසක් දිනයට සමගාමීව පිංකම්, දන්සැල්, බැති ගී ප්‍රසංග, වෙසක් පහන්කූඩූ හා වෙසක් සැරසිලි ප්‍රදර්ශන කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් නිලධාරීන්ට පහර දෙයි

(03.05.2023 – 21:58 +0530 – hirunews.lk/sinhala)

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සැකකරුගේ පිහි පහරට ලක් වූ පොලිස් නිලධාරීන් තිදෙනකු (3) බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගෙවල් බිඳුම් හතලිහකට (40) සහ අත්බෝම්බ ළඟ තබා ගැනීම සම්බන්ධව මෙන්ම බන්ධනාගාරයෙන් පැන යාමේ චෝදනාවකට ලක්වී සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස පහර කෑමට ලක් වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදු කළ විශේෂ මෙහෙයුමේ දී මෙලෙස පොලිස් නිලධාරීන්ට පහර එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වූ මෙම ගැටුමේ දී සැකකරුගේ ද පාදයක් බිඳී ඔහුද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *