පාසල් 1,941 ක උසස් පෙළ විද්‍යා විෂයයන් උගන්වන්නේ නැහැ

පාසල් 1,941 ක උසස් පෙළ විද්‍යා විෂයයන් උගන්වන්නේ නැහැ


පාසල් 1,941 ක උසස් පෙළ විද්‍යා විෂයයන් උගන්වන්නේ නැහැ

(03.05.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ ඉගෙනුම් සිදුකරන පාසල් 2,592 න් 1,941 කම විද්‍යා විෂයයන් ඉගැන්වීම සිදු නොවන බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා. එහි ප්‍රතිශතය සියයට 65.75 ක්.

ඒ අනුව මෙම ගැටළුවට විසඳුම් සෙවීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

මීට අදාළ කරුණු අනාවරණ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යි.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගතව යළි නොපැමිණි මහාචාර්යවරුන්ගෙන් රුපියල් බිලියන 2 කට ආසන්න මුදලක් අයවිය යුතු බවත්, මෙහිදී අනාවරණ වුණා.

ඇතැම් පුද්ගලයන් විසින් විවිධ ආයතනවලින් අනීතික ලෙස ලබාදෙන ආචාර්ය – මහාචාර්ය තනතුරු භාවිත කිරීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට තම කොමිසමට ප්‍රතිපාදන නොමැති බවයි විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එම නිසා අදාළ තත්වය වැළැක්වීමට කෝප් කමිටුව මැදිහත්විය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.

ඒ අනුව මාසයක් (1) තුළ ඊට අදාළ වෙනස්කම් ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉසෙඩ් ලකුණු ක්‍රමවේදයට පරිබාහිරව ප්‍රායෝගික පරීක්ෂණ මගින් විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් අත්හිටුවීමටත් මෙහිදී නිර්දේශ කර තිබෙනවා ෴


“කොහොම හරි උපාධිය ගන්න” – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග

(03.05.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් ඊයේ (02) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණියා.

ඒ, රජරට ඇතුළු විශ්විද්‍යාල රැසක පවතින නේවාසිකාගාර සහ වෙනත් ගැටලු කිහිපයක් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහායි.

එහිදී වෙනත් සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට ගමන් කරමින් සිටි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කොමිෂන් සභා පිවිසුම් මාර්ගයේදී ශිෂ්‍ය නියෝජිතයන්ගේ ගැටලු එම අවස්ථාවේදී ම සවන් දී තිබුණා.

එහිදී ශිෂ්‍ය නියෝජිතයින් සමඟ සංවාදයේ නිරත වෙමින් මහාචාර්යවරයා ඉල්ලා සිටියේ කුමන බාධා මධ්‍යයේ වුවද වසර 03 කින් උපාධිය ලබාගතහොත් තමාට මෙන්ම රටටද විශාල සේවයක් කළ හැකි බවයි ෴


‘මගනැගුමේ’ සමාගම් 4 ක් විසුරුවා හැරේ

(03.05.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)

‘මගනැගුම’ යටතේ පවතින, සමාගම් 4 ක් විසුරුවා හැරීමට කටයුතු කළ බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව, අධිවේගී බස් ප්‍රවාහන සමාගම, ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත කිරීමට නියමිතයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කළා ෴


ශ්‍රී පාද වන්දනා සමය අවසන්

(03.05.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) වෙසක් පුන් පෝය දිනට පසු දිනෙන් (06) නිමාවට පත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පවසනවා.

සිරිත් පරිදි ඉකුත් වසරේ(2022) දෙසැම්බර් පුන් පෝය දින ආරම්භ වී 2023 වෙසක් පුන් පෝය දිනය දක්වා ශ්‍රී පාද වන්දනා සමය පුරා මාස 06 ක කාලයක් පැවතුනා.

පෙර වසරවල දී මෙන්ම මෙවර ද ලක්ෂපාන යුද හමුදා කඳුවුරේ නිලධාරීන් ඇතුළු සෙබළ නිලයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ විශේෂ රන්සිවිගෙයක තැන්පත් කර නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලබන බවත් උන් වහන්සේ පැවසුවා.

ඉන් පසුව සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානයේ සිට එදිනම පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව විශේෂ රිය පෙරහැරකින් ගමන් ආරම්භ කර මාවුස්සාකැලේ, ලක්ෂපාන, කිතුල්ගල, අවිස්සාවේල්ල හරහා එක් පෙරහැරක්ද, නෝර්වූඩ්, බගවන්තලාව හරහා අනෙක් පෙරහැර ද මඟින් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතයි ෴


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන් ගත් රථයක් අනතුරට පත්වේ

(03.05.2023 – 11:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් 6 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වාරියපොල නගරයේ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 09:30 පමණ මෙම රිය අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය අධික වේගයෙන් ධාවනය වීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ධාවනය වූ කුඩා ලොරි රථයේ ගැටී ඇති බව සඳහන්.

ලොරි රථයේ ගමන්ගත් 5 දෙනෙකු සහ මන්ත්‍රීවරයාගේ රියදුරා එම අන්තුරෙන් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ ෴


ගාල්ලේ දී විදේශීය කතකගේ මුදල් පැහැරගැනීමක්

(03.05.2023 – 11:51 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සමනල ක්‍රිඩාංගනය පිටුපස කොටුපවුර ආසන්නයේ රැදි සිටි පිලිපීන ජාතික කාන්තාවකගේ ගමන් බලපත්‍රය හා මුදල් සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (02) පස්වරුවේ කොල්ලකාගෙන පලාගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙම පිලිපින ජාතික කාන්තාව 34 හැවිරිදි වියේ පසුවන අතර, කාන්තාව තම ගමන්මල්ල බිම තබා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටින අවස්ථාවේ දී ඒ අසලින් පුද්ගලයින් 04 දෙනෙකු ගමන් කර තිබෙනවා.

එහිදී එක් (01) පුද්ගලයෙකු විසින් මෙම කාන්තාවගේ ගමන් මල්ල රැගෙන රත්ගම වැල්ල දෙසට දිවගොස් ඇති අතර අනිත් පුද්ගලයින්ද ඒ දෙසටම දිව ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

විදේශිය ජාතික කාන්තාව සතුව තිබූ ගමන් මල්ලේ විදේශ ගමන් බලපත්‍රය, ශ්‍රී ලංකා රුපියල් 90,000/= ක්, අමරිකන් ඩොලර් 100 ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 200 ක් මුදලක්ද තිබී තිබෙනවා.

මේ සම්බන්දව එම කාන්තාව විසින් ගාල්ල මුලස්ථාන පොලිස්ථානයට කරණු ලැබු පැමිණිල්ලකට අනුව ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකල විමර්ශනයේදි , ඉහත සදහන් විදේශ ගමන් බලපත්‍රය හා ගමන් මල්ල ගාල්ල රත්ගම වැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදි සොයා ගත් අතර මුදල් රැගෙන සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලිසියෙන් අප කළ විමසීමක දී සඳහන් කළේ ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු සිදුකරනු ලබන බවයි ෴


සියළුම වාහන ආදායම් බලපත‍්‍ර අන්තර්ජාලයෙන්.. ක‍්‍රමය මෙන්න..

(03.05.2023 – 00:01 +0530 – lankacnews.com)

රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලැබී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක වේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන් ම තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම (eRL) වැඩසටහන යටතේ ලබා දී ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඉ-මේල් ලිපිනය ඔස්සේ ඔබට ලැබේ. ස්ථීර ආදායම් බලපත්‍රය දින කීපයකින් ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ නිවසට ලැබෙනු ඇත.

දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද මෙම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි අතර ‘ලංකා රාජ්‍ය ජාලය’ (Lanka Goverment Network) සහ ‘ලංකා රාජ්‍ය මේඝය’ (Lanka Goverment Cloud) යන යටිතල පහසුකම් පද්ධති මඟින් එය බල ගන්වා තිබේ.

මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් පහසුකම් එක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි. ඒ අනුව දැනටමත් තම වාහනය ලියාපදිංචි කර තිබෙන්නේ කුමන පළාතක වුවත්, ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් එය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

තව ද වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ස්කෑන් කිරීමට පියවර ගැනීම නිසා එම කටයුතු කඩිනමින් නිම කිරීමේ හැකියාව ලැබී ඇත. මේ නිසා කඩදාසි භාවිතය අවම වීමට, වියදම් අවම වීමට සහ හරිත පරිසරය සුරැකීමට ඉවහල් වී ඇත.

දිවයිනේ සමස්ත පළාත් නමය මඟින් නිකුත් කර තිබෙන වාර්ෂික සාමාන්‍ය වාහන ආදායම් බලපත් ගණන මිලියන 5.5 ක් ඉක්මවා ඇති අතර එයින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 10 ක් ඉක්මවා තිබේ.

ICTA


ඩයලොග් සහ එයාර්ටෙල් මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවක්

(03.05.2023 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ඩයලොග් ආසියාටා පී.එල්.සී (ඩයලොග්), ආසිආටා බර්හාඩ් සමූහය (ආසියාටා) සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ සිය අනුබද්ධිත සමාගම්වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට එළඹ තිබෙනවා.

එසේ ඒකාබද්ධ වනු ලබන්නේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම සහ ආසියාටා බර්හාඩ් සමූහය අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි.

යෝජිත ගනුදෙනුවට අනුව එයාර්ටෙල් ලංකා හී සාධාරණ වටිනාකමට අදාළව ඩයලොග් හී කොටස් ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් ලිමිටඩ් වෙත පිරිනැමෙනු ඇති.

ඒ අනුව ගනුදෙනුව සම්පූර්ණ වීමෙන් පසු එයාර්ටෙල් වෙත ඩයලොග්හී නව කොටස් නිකුත් කෙරෙන බව වාර්තා වනවා.

යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව මෙකී පාර්ශ්වයන් අතර සහ අදාළ නියාමන අධිකාරීන් අතර මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බව සඳහන්.

අදාළ නියාමනයන් සහ කොටස් හිමිකාරීත්වයේ අනුමැතීන් ඇතුළත්වන සේ යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අත්සන් තැබීමට නියමිතයි.

ඉදිරියේ දී මෙයට අදාළව තවදුරටත් වර්ධනයක් සිදුවුවහොත් උක්ත පාර්ශ්වයන් එකතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා ෴


විශ්වවිද්‍යාල ඇදුරන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

(03.05.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

කෙසේ වෙතත්, සාකච්ඡාව ලබා දෙනතුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බවයි එම සම්ලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගරත්න සඳහන් කළේ.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එක්වී නැහැ. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින්.

මේ අතර, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර යොමුකිරීමට ලබාදී තිබූ කාලය හෙට (04) මධ්‍යම රාත්‍රීය තෙක් දීර්ඝ කර තිබෙනවා. එය අද (03) දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ ෴


ගෑස් මිල අද (03) සිට පහළට

(03.05.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් නිවේදනයක් මඟින් මේ බව නිකුත් කරනු ලැබුවා.

එහි නව මිල වන්නේ රුපියල් 3,638 කි.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක් රුපියල් 40 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,462 ක්.

එමෙන්ම 2.3kg සිලින්ඩරයක් රුපියල් 19 කින් අඩුකර තිබෙන අතර, එහි නව මිල රුපියල් 681 ක් ෴


අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම ලක්ෂය ඉක්වමයි

(03.05.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය (100,000) ඉක්මවා තිබෙනවා.

ඒ අනුව 1,05,498 ක විදෙස් සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

මේ වසරේ ගතවූ මාස 04 තුළ විදෙස් සංචාරකයින් 440,000 ක් මෙරටට පැමිණ තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *