ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක්


ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක්

(29.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුවී තිබෙනවා.

මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් 26 දක්වා ගතවු මාස හතරකට (4) ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19 ක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ බව අනාවරණය වුනේ පසුගිය දා (27) පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමට සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි විසින් සිදු කළ ප්‍රකාශයක දීයි.

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුල පමණක් මී උණ රෝගින් 224 වාර්තා වී ඇති අතර එම කාලය තුළ සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව 19 ක් බවයි එහිදි වෛද්‍යවරයා පවසා තිබෙනවා.

මෙම මරණ අතර අවුරුදු 13 ක පාසල් සිසුවියක්ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වන්නේ කරන්දෙණිය, බද්දේගම, ඉමදුව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල, හබරාදුව යන යකොට්ඨාසවල බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

2015 වසරේ සිට මේ වනවිට ලංකාවේ වැඩිම මි උණ මරණ වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්.

එක් මීයෙකුගෙන් වසරකට පැටව් දෙදහසක් (2000) පමණ බෝවන බවට අනාවරණය වී ඇති අතර ලංකාවේ මී උණ වැළදෙන්නේ මී මුත්‍රාවලින් වුවත් මී හරකාගෙන් සහ බල්ලාගෙන්ද බෝවිමට හැකියාව පවතින බවට අනාවරණය වී ඇති බවත් වෛද්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ නිසා මී ගහනය පාලනය කිරීමට වහාම පියවර යුතු බවත් වැඩිදුරටත් පවසන ලද තොරතුරු වල සඳහන්.

බොහෝවිට මෙම රෝගය වැළඳීම සිදුවන්නේ දිනපතා කුඹුරු වැඩ සිදු කරන පුද්ගලයින්ට පමණි.

නමුත් අද වන විට කුඹුරු ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් වල නිරතවනන් හටද මෙම රෝගය වැළඳීමේ අවධානම ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

පාදවල සුලු හෝ තුවාලයක් තිබේ නම් කුඹුරු ආශ්‍රිත ක්‍රියාකාරකම් නොකරන ලෙසත් මී මුත්‍රාවල බැක්ටිරියාවක් මගින් මෙය සීඝ්‍ර වශයෙන් බෝ වීමේ අවධානම ඇති බවත් ඔහු කියා සිටියා.

උණ ඇඟපත වේදනාව හිස කැක්කුම ආදි රෝග ලක්ෂණ තිබේනම් වහාම සුදුසකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීම වැදගත් බව මෙම රැස්වීමේ දී සාකච්ඡා කළ කරුණු අතර සඳහන් ෴


ශ්‍රී ලංකා කේටරින් සමාගම වෙත බළපත්‍රයක්

(29.04.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ තුළ සහ ඒවායේ ගුවන් මෙහෙයුම්වල නිරත ගුවන් සමාගම් වෙත විශ්වසනීයව සහ සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන සහ ඒ ආශ්‍රිත සේවා සැපයීම වෙනුවෙන් සහ අවශ්‍ය ප්‍රමිතීන් සපුරා තිබීම හේතුවෙන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකා කේටරින් සමාගම වෙත බලපත්‍රයක් ලබා දී තිබෙනවා.

ඒ සදහා අදාළ සේවා සැපයුම් බලපත්‍රය වන (Catering Service Providers Licence) ලැබී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමුවරටයි.

ඊයේ (28) දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ශ්‍රවණාගාරයක පැවති උත්සවයක දී මෙම පිරිනැමීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බලපත්‍රය පිරිනැමීමේ දී ශ්‍රී ලංකා කේටරින් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය, එහි වැඩපිළිවෙළ, භෞතික සම්පත්, නිසි පුහුණුව සුදුසුකම් සහ අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය, ගුවන් යානා මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග, වෙනත් සේවා සැපයීම සදහා පවතින තාක්ෂණික සහ භෞතික හැකියාව වැනි කරුණු කෙරෙහි දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්. විතානගේ විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල වීරසේකර වෙතයි මෙමම් බලපත්‍ර ප්‍රදානය සිදු කර ඇත්තේ ෴


අමාත්‍යාංශ 3 කට අනුකාරක සභා ත්‍රිත්වයක්

(29.04.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනුකාරක සභා තුනක් (3) පිහිටුවීම පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර, එහි දීයි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව වැවිලි කර්මාන්ත – කර්මාන්ත සහ තාක්ෂණය, වරාය – නාවික හා ගුවන් සේවා, වෙළඳ – වාණිජ හා ආහාර සුරක්ෂිතතාව යන අමාත්‍යාංශ සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීමටයි තීරණය වී ඇත්තේ ෴


ඉතිහාසය අධ්‍යයනය කිරීමට නව ආයතනයක්

(29.04.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ජනාධිපති මෙම අදහස් පළ ‍කළේ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (27) පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමින්.

ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශකර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදුව තිබෙනවා ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ පගාව ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

(29.04.2023 – 10:58 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය 25 වන දා ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීමට සඳහා ලබාගත් අල්ලසක් පිළිබ්ඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

ඒ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීමට සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගත් බවටයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

තවද ඔහු එහිදී ලිපිනයන් සහ ගිණුම් අංක සහිතව හෙළිදරව්වක් ද සිදු කරනු ලැබුවා.

එහි දී ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමටයි රජයේ අවධානය යොමු වී තිබෙන්නේ.

සිද්ධියේ සුලමුල නිවැරදිව හෙළි කරගැනීම සඳහා එවැනි පාර්ලිමේන්තු විශේෂ තේරීම කාරක සභාවක් පත් කරන ලෙස අධිකරණ ඇමතිවරයාත්, නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවකුත් කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි යොමු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ ෴


‘කුඩු අංජු’ ප්‍රංශයේ දී අත්අඩංගුවට

(29.04.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි සැඟව සිටින බවට තොරතුරු වාර්තාවුණු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘අමල් චමින්ද සිල්වා’ හෙවත් ‘රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු’ ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘කුඩු අංජු’ගේ බිරිඳ ප්‍රංශ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි දින දෙකකට (2) පෙර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වෙනත් කාන්තාවක් සමඟ ‘කුඩු අංජු’ සිටින බවට සඳහන් කරමිනුයි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ.

‘කුඩු අංජු’ වෙනත් කාන්තාවක් සමඟ සිටින බවට තොරතුරු දැනගැනීමත් සමඟ නීත්‍යානුකූල බිරිඳ එම ස්ථානයට ගිය පසු ඇතිවූ අරාවුලක් මෙම පැමිණිල්ලට මුල්වී ඇති අතර, තමන්ට ‘කුඩු අංජු’ පහරදුන් බවටද නීත්‍යානුකූල බිරිඳ එම පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසිය මොහුට එරෙහිව රතු නිවේදනයක්ද නිකුත් කර ඇති අතර, ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් ‘කුඩු අංජු’ මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනය ඇතුලු තවත් ඝාතන කිහිපයක් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

‘කුඩු අංජු’ ඩුබායි රාජ්‍යයේද කළක් සිට ඇති අතර, ඔහු ප්‍රංශය සහ ඩුබායි අතර නිතර සංචාරය කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ‘රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා’ හෙවත් ‘ඇල්ටො ධර්මෙ’ ඩුබායි හි සැඟව සිටින බවටද මේ වනවිට තොරතුරු වාර්තාවනවා.

ඔහු එහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවටයි පොලිසිය සඳහන් කළේ ෴


පානදුර මුහුදේ අඩි හතක (7) කිඹුලෙක්

(29.04.2023 – 11:29 +0530 – hirunews.lk/sinhala)

පානදුර මුහුදු වෙරළට අඩි හතකට (7) ආසන්න දිගකින් යුත් කිඹුළෙක් ඊයේ(28) පස්වරුවේ පැමිණි බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා.

කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට සවස 05:30 ට පමණ පැමිණ සිටීන බව දුටූ ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර තිබෙන අතර, වෙරළ ආරක්ෂක නිළධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 – 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ රාත්‍රිය වන තුර සැරිසරා ඇතැයි සඳහන්.

කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර අද (29) දින ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බව වාර්තා වෙනවා.

කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරන තුරු මුහුදේ දියනෑමේ දී සහ සිරි නැරඹීමට පැමිණිමේ දී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කතරගම මැණික් ගඟේ කිඹුල් ගහණය වැඩිවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් කියා සිටියේ මැණික් ගඟේ දිය නෑමේදී අවධානයෙන් පසුවිය යුතු බවයි.

+


ආනන්තරිය පාපකර්මයක් : පුතෙකුගේ පහර දීමෙන් මවක් මරුට

(29.04.2023 – 11:40 +0530 – hirunews.lk/sinhala)

පොල්ලකින් පහර දී මව ඝාතනය කළ පුතෙකු කුරුණෑගල නාරම්මල පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පිටවල හේන හාල්වැල්ල ප්‍රදේශයේ පදිංචි අනූ පස් (95) හැවිරිදි මවක්.

පහර දුන් පුද්ගලයා වයස අවුරුදු 53 ක් වන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නාරම්මල පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


වඩාත්ම පීඩාවට පත් රටවල් අතුරින් දෙවැනි (2) ස්ථානය ශ්‍රී ලංකාවට

(29.04.2023 – 12:15 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු පහට (5) අඩු අඩු බර දරුවන් අතින් දකුණු ආසියා කලාපයේ වඩාත්ම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංගමයේ (MCPA) සභාපති වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙනවා.

ඒ 2022 දී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුවයි.

මෙවැනි පසුබිමක් තුළ පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් ද කරුණු කිහිපයක් හේතුවෙන් අඩාල වී ඇති බවට පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් වී ඇති බව ඔහු කණස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *