රුපියල් කෝටි 3900 ක වෛද්‍ය උපකරණ ප්‍රතික්ෂේප කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රුපියල් කෝටි 3900 ක වෛද්‍ය උපකරණ ප්‍රතික්ෂේප කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන


රුපියල් කෝටි 3900 ක වෛද්‍ය උපකරණ ප්‍රතික්ෂේප කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

(28.04.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයෙන් මෙරටට ලබා දීමට ගිය රුපියල් කෝටි 3900 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ බලධාරීන්ගේ නොසැළකිලිමත් බව නිසා අහිමි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසනවා.

එංගලන්තය විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය ‘සිල්වියා ලංකා පදනමේ’ ඉල්ලීමකට අනුව ලබා දීමට තිබූ බවයි වාර්තා වන්නේ.

නමුත් මේ සඳහා බලධාරීන් උනන්දු නොවීම නිසා එම වෛද්‍ය ආධාර වෙනත් රටවල් වෙත බෙදා දී තිබෙන බවයි වැඩිදුර තොරතුරු විමසීමේ දී අනාවරණය වූයේ.

මේ පිළිබඳ සිදු කළ සොයා බැලීමක දී රජයේ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ මෙවන් අදහසක් :

“දැන් මාස හතක් (7) පුරාවට අලුත් සෞඛ්‍ය ඇමති කෙනෙක් හෙට පත් වෙනවා අනිදදා පත් වෙයි කියමින් මෙකේ ඉන්න අවුරුදු 60 පැනපු අකාර්යක්ෂම නිළධාරීන් ඒක හයියක් කරන් හිටියා. ඒ ගොල්ලෝ බලන් හිටියා අලුත් ඇමතිවරයා එනකල්. ඒ නිසා දැන් ඉන්න ඇමතිවරයා එක්ක වැඩ නොකර හිටියා. අදාළ නිළධාරීන් මේ ආධාර දෙන්න ආවම අලුත් ඇමති පත්වෙනකල් ඉන්න ඔය ආධාර දෙන්න කියලා ඔවුන් හරවා යවලා තියෙනවා. මේකට හේතුව අමාත්‍යංශයේ ඉන්න වෛද්‍ය පරිපලකයෝ බහුතරයක් 60 ට වඩා වැඩි නිසා වර්තමාන ඇමතිවරයා ඒකට අකමැති වීම. නමුත් එන්න ඉන්නවයි කියන කෙනාගෙන් ඔවුන්ට ගැටලුවක් නෑ. ඒ ඇමතිවරයා ආවම ඔය ආධාර ගන්න තමා එයාලා හිතන් හිටියේ. මේක පිටිපස්සේ අතිරේක ලේකම්වරයෙක් ඇතුළු උසස් නිලධාරීන් ඉන්නවා” ෴


වැල්ලවාය පාසලක දෙමාපියන්ගේ විරෝධතාවක්

(28.04.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් හඳපානාගල ඇතාදුටුවැව විදුහලේ ගුරු හිඟයට පිළියම් ඉල්ලා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් අද (28) විරෝධතාවක නිරත වුණා.

වැල්ලවාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත් වූ බවයි වාර්තා වෙන්නේ.

පාසලේ ප්‍රමාණවත් තරමේ ගුරුවරුන් නොමැති වීම නිසා තම දරුවන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වී ඇති බවයි දෙමාපියන් මෙහි දී සඳහන්කර සිටියේ ෴


කැලණියේ යුක්තිය උදෙසා විරෝධතා පාගමනක්

(28.04.2023 – 16:25 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී අද (28) පස්වරුවේ දී මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබෙනවා.

නවක වධය සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවේ පසුවන කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම පාගමන පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම මහපොළ ශිෂ්‍යාධාර, ආපනශාලා ඇතුළු අධ්‍යයන සුභසාධන ගැටලු විසදන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කල් යයි

(28.04.2023 – 16:41 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හදිසියේ ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (28) රැස්වූ පාර්ලිමේන්තුවේ දීයි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ අදහස් විමසා සශෝධනයක් සිදු කළ යුතු බවත්, ඉන් අනතුරුව එය ඉදිරිපත් කරන බවත් ඔහු එහි දී ප්‍රකාශ කළා ෴


කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ උප සභාපති ඝාතනය වෙයි

(28.04.2023 – 17:45 +0530 – hirunews.lk/sinhala)

කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මෘත දේහය වනාතවිල්ලුව ඔහුට අයත් අක්කර සියයක (100) පමණ පොල්වත්තක තිබී අද (28) පස්වරුවේ හමුවී ඇති බව පොලිසිය පවසනවා.

මඩුවක් අසල තිබී මෘත ශරීරය හමුවන විටත් දෑත් පිටුපසට තබා බැඳ තිබී ඇති අතර, එම පොල්වත්තෙහි සේවය කළ මුරකරු සහ ඔහුගේ බිරිඳ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

පොලිසිය මෙය ඝාතනයක් විය හැකි බවට සැක කරන අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්කමයි ෴


රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(28.04.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

නිවසේ වැහි පීලි සවි කිරීමට පැමිණ එම නිවසේ තිබූ රුපියල් තුන්ලක්ෂ හතළිස් දාහක් (3,40,000) වටිනා රත්තරන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි විසිතුන් (23) හැවිරිදි පුද්ගලයෙක්.

නිවසේ හිමිකරු තම නිවස තුළ වූ අල්මාරිය කිසියම් අයෙක් විසින් විවෘත කර තිබෙන බව දැක අනතුරුව පරික්ෂා කිරීමේ දී මෙම රන් භාණ්ඩ අස්ථානගත වීම දැක තිබෙනවා .

ඒ සම්බන්ධයෙන් රක්වාන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වාර්තා වෙන්නේ ෴


IMF ගිවිසුම සම්මත වෙයි

(28.04.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට හිමිවී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම පිළිබඳ සැකසුම ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම පාර්ලිමේන්තුවේ දී අද (28) සම්මත වුනා. ඒ වැඩි ඡන්ද 95 කින්. ගිවිසුමට පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 120 ක් සහ විපක්ෂව ඡන්ද 25 ක්.

සමගි ජන බලවේගය මෙම ගිවිසුම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභා ගර්භයෙන් ඉවත්ව ගියා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම ඡන්ද විමසීම සඳහා සහභාගී නොවූ අතර සභාවේ සිටි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ගිවිසුමට පක්ෂව සිය ඡන්දය භාවිත කළ අතර අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාද යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

ගිවිසුමට විපක්ෂව ඡන්දය ප්‍රකාශකළ අය අතර ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාව සමඟ එක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අයත්.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. ෆවුසි ගිවිසුමට පක්ෂව සිය ඡන්දය භාවිතා කිරීම මෙහිදී විශේෂ සිදුවීමක් වුණා ෴


අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(28.04.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

තල් ගසක් කැපූ පුද්ගලයෙකුගෙන් රුපියල් පහළොස් දාහක් (15,000) බලෙන් ලබාගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු (2) ලබන (10)වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා සිවිල් ඇඳුමින් සැරසී මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා (2) ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වී තිබෙනවා.

එම අවස්ථාවේ මෙම පුද්ගලයා චේන්සෝවක ආධාරයකින් ගස ඉරමින් සිට තිබෙනවා.

පුද්ගලයා නිදහස් කිරීමට නම් රුපියල් තිස් දාහක (30,000) මුදලක් අවශ්‍ය බව පොලිස් නිලධාරීන් විසින් පවසා ඇති අතර එම මුදල ලබා දීමට තල් ගස කැපූ පුද්ගලයා අපොහොසත් වී තිබෙන බව සඳහන්.

පසුව එම නිලධාරීන් පුද්ගලයාගෙන් රුපියල් පහළොස් දහසක් (15,000) බලෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴


අනුරපුර රෝහලට ඇතුළත් කළ තරුණයෙකු රෝහල තුළදී ඝාතනය කෙරේ

(28.04.2023 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තරුණයෙකු රෝහල තුළදී, පහරදුන් පුද්ගලයන් පැමිණ යළි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි අයෙක්.

ඊයේ (27) පස්වරුවේ ඔහු රෝහල්ගතව ඇත්තේ පුද්ගලයින් කිහිපදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබීම හේතුවෙන්.

අද (28) උදෑසන 05 ට පමණ තියුණු ආයුධයක් සඟවාගෙන රෝහල තුළට ඇතුළු වූ පහරදීමට සම්බන්ධ අයෙකු අදාළ තරුණයා මෙලෙස ඝාතනය කර තිබුණා ෴


මරදානේ පරිභෝහජනයට නුසුදුසු තෙල් අලෙවිකළ ගබඩාවක් හසුවේ

(28.04.2023 – 20:59 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු තෙල් සහ ආහාර කල්තබා ගැනීමට භාවිත කරන කල් ඉකුත් වූ කෘතීම රසකාරක තොගයක් ගබඩා කර තිබූ ගබඩාවක් වැටළීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අද (28) පස්වරුවේදී සමත් වුණා.

අදාළ ගබඩාවේ හිමිකරු මෙම ජාවාරම කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවයි එහි දී හෙළි වී ඇත්තේ.

අවස්ථා කිහිපයක දී භාවිතකරන ලද තෙල් වර්ග මිශ්‍ර කර වෙළඳුන්ට සහ සබන් නිෂ්පාදන ආයතනවලට අලෙවිකරන බවට ලද තෙරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ දී මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

එහි තිබී කේක් සෑදීමට යොදාගන්නා කෘතීම රස කාරක මෙන් ම ආහාර කල්තබා ගැනීම සඳහා යොදාගන්නා කල් ඉකුත් වූ රස කාරක විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට වැටලීම් නිලධාරීන් සමත් වී තිබෙනවා.

+


පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවෙන් ඉල්ලීමක්

(28.04.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය බොහෝ ද්‍රව්‍යන් හා ඖෂධ හිඟයක් මේ වනවිට ඇතිව තිබෙනවා.

එවැනි පසුබිමක ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සත්කාරය සඳහා ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.

මෙම සත්කාරයට ඔබටත් දායක විය හැකිනම් පහත දුරකථන අංකයන් ඔස්සේ ඔබට සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

071 805 0581 (ලේකම්) / 071 806 5326 (භාණ්ඩාගාරික) / 091 223 5655 (කාර්යාලය)

රෝගීන්ට අවශ්‍ය ද්‍රව්‍යන් හා ඖෂධ ලැයිස්තුවක් එම රෝහල මඟින් ඉදිරිපත්කොට ඇති අතර එම ලැයිස්තුව පහතින් දැක්වෙනවා :


අප්‍රේල් උද්ධමනය පහළට

(28.04.2023 – 23:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මාර්තු මාසයේ සටහන් වූ සියයට 50.3 ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී සියයට 35.3 ක් දක්වා අඩුවී තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 30.6 ක් දක්වා අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


පුද්ගලයෙකුට පහරදී ඝාතනය කෙරේ

(28.04.2023 – 23:28 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් සියඹලාවත්ත ප්‍රදේශයේ දී නිවසක් තුළ අද (28) පුද්ගලයෙකු පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක පසු වූ පුද්ගලයෙක්.

ඔහු තම නිවසේ නිදමින් සිටි අවස්ථාවක අලුයම් කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙක් නිවසට ඇතුළත් වී නිවැසියන්ට පහර දී රන් පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා රුපියල් 50,000 ක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම අවස්ථාවේ නිවසේ රැදී සිට ඇත්තේ මිය ගිය පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ ඥාති පුද්ගලයෙක් වන අතර පහරදීම් නිසා පුද්ගලයා එම ස්ථානයේදී ම මියගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලීසිය විසින් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *