මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක්

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක්


මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විනිසුරුගෙන් නියෝගයක්

(27.04.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සඳහන් කරන්නේ 2020 වසරේ නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ විරෝධතාවත් සමඟ ඇති වු සිදුවීම ඇතැම් පුද්ගලයින් යට ගැසීමට උත්සහ දරන බවයි.

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙස හා කොරෝනා ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනුයි රැදවියන් එම විරෝධතාවයේ නිරත වූයේ.

නමුත් අදාළ විරෝධතාවය සිදු වූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කළ අතර එහි දී බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම අද (27) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් කියා සිටියේ, මෙම සිද්ධිය යටගැසීම සඳහා ඇතැම් පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වූ බවයි.

+

+


ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්ති වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා – නීතීඥ සංගමය

(27.04.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ අදාළ පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත් කළ නීති විශාරද කමිටුව මේ බව දැනුම් දී ඇති බවයි.

පසුගිය මාර්තු 22 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජ්‍යෙෂ්ඨ නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කළා.

එම කමිටුව කළ අධ්‍යයනයේදී අනාවරණ වී ඇත්තේ, පනත් කෙටුම්පතේ 3, 4, 10, 11, 13, 14, 15, 16, 28, 30, 31, 36, 82, 83, 84, 85 සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්මවලට පටහැනි බවයි.

එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සමාගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය සහ සෙසු සියලු පාර්ශ්ව වෙත කරුණු දැක්වීමට නියමිත බවයි.

ඒ අනුව පනත් කෙටුම්පතට සංශෝධන සිදුකරන ලෙසට ඉල්ලා සිටින බවද එහි සඳහන්

එසේ නොමැතිව මෙම පනත් කෙටුම්පත ඒ ආකාරයෙන් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අදාළ අවස්ථාවන්හි දී ගන්නා බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴


එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය ඔක්තෝම්බරයේ

(27.04.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය’ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) දින පැවැත්වුනා.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ RAK ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

‘පශ්චාත් වසංගත ලෝකයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම’ තේමාව වන අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලය එක්ව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගල්ෆ් තීරය සහ මැදපෙරදිග ආර්ථික සන්දර්භයන් තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ගල්ෆ් තීරයේ සහ මැදපෙරදිග රටවල සමාගම් හා ශ්‍රී ලාංකික සමාගම් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනය මඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකා අපනයන අභිමුඛ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම මෙහි තවත් අරමුණක් ෴


ආයුර්වේද වෛද්‍යවරියවරියක් ඝාතනය කරයි

(27.04.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කළුතර උතුර කැලිඩෝ පාර ප්‍රදේශයේදී ආයුර්වේද වෛද්‍යවරියක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 60 හැවිරිදි දෙදරු මවක් වන අදාළ වෛද්‍යවරිය අද (27) අලුයම නිවස පිටුපස කැපුම් තුවාල සහිතව වැටී සිටියදී ඇගේ දියණිය විසින් දැක රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බවයි.

ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන මන්නා පිහියද නිවස ආසන්නයේ තිබී සොයාගෙන ඇති අතර එය මියගිය කාන්තාව මුළුතැන්ගෙයි මාළු කැපීම සඳහා භාවිතයට ගත් පිහියක් බවටද අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියට අදාළව සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ ෴


ඌරුබොක්කේ එකම පවුලේ හතරකට (4) ප්‍රහාරයක්

(27.04.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

මාතර – ඌරුබොක්ක, බෙන්ගමුව පුහුල්හේන ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ මැර කණ්ඩායමක් එහි සිටි මව, පියා ඇතුළු දරුවන් දෙදෙනාට (2) තියුණු ආයුධකයින් පහරදී පළාගොස් තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ඌරුබොක්ක, හීගොඩ ප්‍රාදේශීය රෝහලටයි.

එහිදී 51 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහරෝහලට මාරුකර යැවුණා.

පහරදීම සඳහා පැමිණි පුද්ගලයින් මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති අතර ඔවුන් හදුනාගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


කුසේදීම දරුවෙකු විකුණූ මවක් ඇතුළු පහක් (5) අත්අඩංගුවට

(27.04.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් තම එක් (1) දිනක් වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයේ යුවලකට විකුණා තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා සාදා ගැනීමට දුන් යුවලගෙන් නැවත මව ගොස් දරුවා ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එහි දී දරුවා සාදා ගැනීමට ගත් නව යුවල විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ මව විසින් නව යුවලට එරෙහිව පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දමා තිබෙනවා.

එහි දී අදාළ යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ දරුවාගේ පියා බිරිය ගැබිණියක් වී මාසයකින් (1) පමණ හැර යෑම නිසා දරුවාව හදා ගැනීමට නොහැකිව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිය දැනුවත් කර මෙම යුවළකට දරුවා ලබාදුන් බවයි.

දරුවා පිළිසිඳගෙන මාස පහක (5) පමණ කාලයක සිට සායනවලට යාමට හා අනිකුත් පරික්ෂණ කටයුතු ඇතුළු සියලුම වියදම් දරුවා මිලදී ගත් යුවළ දරා ඇති බවටත් දරු ප්‍රසුතිය සඳහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ බිළිඳා විකිණුවේ යැයි කියන මව ඇතුළු ව සැකකරුවන් පස්දෙනක් (5) අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලිසිය සඳහන් කරනවා ෴


දෙදරු (2) මවට සැමියාගෙන් ප්‍රහාරයක්

(27.04.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ස්වාමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දුන් පුවතක් ගම්පොළ මරියවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ගම්පොල කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක්.

සිය දරුවන් දෙදෙනා (2) අද (27) අලුයම පාසලවෙත රැගෙනයමින් සිටි අවස්ථාවේදී ඇය මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

මොවුන් දෙදනා (2) අතර පවතින ආරවුලක් අධිකරණය දක්වා යෑම හා එහි දී බි‍රිඳට වන්දි ලබා දීමට සිදුවීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම පිහි ඇනුම සිදු වී අති බව සඳහන්.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


කුකුළු මස් සහ බිත්තර ගැන නව තීන්දුවක්

(27.04.2023 – 16:11 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික ජනතාවට කුකුළු මස් සහ බිත්තර සාධාරණ මිලකට ලබාගත හැකි පරිදි පශු සම්පත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු ක්‍රමානුකූලව විසදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා.

බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් සමඟ ඊයේ (26) පැවති සාකච්ඡාවක දී ඔවුන් මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන් ම සත්ත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු ආශ්‍රිත නිශ්පාදන සහ ඒවායෙහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි ද මෙම සාකාච්ඡාවේ දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූ බව අදාළ නිවේදනයේ සඳහන් වෙනවා.

වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ ෴


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(27.04.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව සඳහන්.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

+


ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 10 ක ජල කප්පාදුවක්

(27.04.2023 – 16:39 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (29) පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එදින උදෑසන 11 සිට රාත්‍රි 09 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවලටයි.

එසේ ම නාවල, කොස්වත්ත, සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත අතුරු මාර්ගවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටවන බවටයි වාර්තා වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *