ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට

ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට


ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට

(26.04.2023 – 21:26 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකළ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට අනුයුක්තකර තිබෙනවා.

ඔහුව එලෙස පොලිස් මූලස්ථානයට අනුයුක්තකර ඇත්තේ, අජිත් රෝහණ සිය ස්ථාන මාරුවට එරෙහිව පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති ලිපියකට අදාළ පරීක්ෂණ පවත්වන තුරුයි.

එම ලිපියෙන් දක්වා ඇත්තේ, තමන් නැගෙනහිර පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

අමාත්‍යවරයා විසින් මේ සියල්ල සිදු කරනු ලබන්නේ, තමන් ඇතුළු පිරිස පීඩාවට පත්කර එක් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කිරීම සඳහා බව ද ඔහු මෙම ලිපියේ සඳහන්කර තිබෙනවා.

+


කොහුවල සහ ගැටඹේ මංසන්දිවලට ගුවන් පාලම්

(26.04.2023 – 22:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේ මංසන්දියේ ගුවන් පාලම්වල ඉදිරි කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර අමාත්‍යංශ කාර්යාලයේ දී පැවැත්වුණා.

මේ සඳහා හංගේරියානු රජය ණය ආධාර යටතේ යුරෝ මිලියන 52 ක මුදලක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳව මෙහි දී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වූ බව සඳහන්.

ඒ අනුව පවතින තත්වයෙහි ප්‍රමුඛතාවය පිළිබඳව සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදිකිරීම අවසන් කිරීමටත් එහි දෙවන අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද කඩිනමින් අවසන් කිරීමටත් මෙහි දී එකඟතාවය පළ කර තිබෙනවා ෴


මැලේරියාවෙන් මිය ගිය පුද්ගලයා ඖෂධ ගෙන නොමැති බවට අනාවරණයක්

(26.04.2023 – 23:38 +0530 – hirunews.lk/sinhala)

මැලේරියාව වැළඳීමෙන් පසුගිය (15) වනදා කොළඹ පෞද්ගලික රෝහලේ දී මියගිය මැණික් ව්‍යාපාරිකයා ටැන්සානියාවේ සංචාරයකට පෙර මැලේරියාව වැළැක්වීම සඳහා කිසිදු ඖෂධයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

එමෙන් ම මෙම පුද්ගලයා සත් වතාවක් ටැන්සානියාවට ගොස් ඇතත් නිසි ලියාපදිංචියක් හෝ සිදුකර නොමැති බව සඳහන්.

සෞඛ්‍ය අංශ පවසන්නේ අප්‍රිකානු රටවලට සාමසාධක මෙහෙයුම්වලට එක්වන මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන් ම මැණික් ව්‍යාපාරිකයින්ද මැලේරියා රෝගය වැළඳීමේ අවදානම් කාණ්ඩවලට අයත්වන බවයි.

ඒ අනුව මැලේරියාව පවතින රටවල සංචාරය කිරීමට පෙර නිසි ඖෂධ ලබාගැනීම වැදගත් බවයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චම්පා ජයන්තා අලුත්වීර පවසන්නේ.

+


අම්බලන්ගොඩ මනුෂ්‍ය ඝාතනයක්

(27.04.2023 – 06:40 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ පොලිස් වසමේ හිරේවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු රෝහට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වස අවුරුදු 42 ක පුද්ගලයෙක් වන අතර ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) හිරේවත්ත වෙරළ ආසන්නයේ ස්ථානයක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් එම පුද්ගලයින් දෙදෙනා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් එහි සිටි එක් අයෙකුට පිහියෙන් ඇන ඇති බවයි මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙන්නේ.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


කරන්නාගොඩට ඇමරිකාව තහනම්

(27.04.2023 – 06:54 +0530 – hirunews.lk/sinhala)

හිටපු නාවික හමුදාපතිවරයාට එක්සත් ජනපදයට ඇතුල් වීම වලකාලමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ සඳහායි.

ඔහු නාවික හමුදාපතිවරයාව සිටිය දී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංශණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2023 රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තියට අනුව, එක්සත් ජනපදය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

+

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ඇමරිකාවට ඇතුළුවීමට නුසුදුස්සෙකු ලෙස නම් කිරීම ගත් තීරණය ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රී ප්‍රකාශ කරනවා.

ඔහු අද(27) මේ බව ලංකාවේ ඇමරිකානු තානපතිනියට දැනුම් දී තිබෙනවා ෴

++++++++

රුසියානු තානාපතිගෙන් ඇමරිකාවට අප්‍රසාදය

(27.04.2023 – 22:54 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති සහ වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් තිබූ නිවේදනය පිළිබඳ මෙරට රුසියානු තානාපති ලෙවාන් එස් සිගාරියන් අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය ස්ථාවරය හෙළිකරනු ලැබුවා.

කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ඔහු සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

ඔහු සදහන් කළේ මෙම තීරණය පිළිගත නොහැකි එකක් බවයි.

එමෙන් ම ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ ‘ඔබ ජීවත්වන්නේ වීදුරුවලින් සෑදු නිවසකනම් එහි සිට ගල් ගහන්න එපා’ යනුවෙනුයි.

එමෙන් ම ඇමරිකානු තීරණය පිළිබඳ මෙරට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රී ද සිය කණගාටුව පළ කරමින් මෙරට එක්සත් ජනපද තානාපති ජූලි චංග් දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

+


ආයුධ ලඟ තබාගත් අයෙක් පොලීසියට හසු වේ

(27.04.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala)

පිටිගල, හොරංගොල්ල ප්‍රදේශයේ දී ඊයේ (26) පස්වරුවේ පිස්තෝලයක් සහ පතොරම් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජයවර්ධනපුර විශේෂ කාර්‍ය බලකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිශ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක්, පතොරම් ගැබක් සහ පතොරම් 13 ක් හමු වී තිබෙනවා.

මෙම සැකකරු පසුගිය වසරේ සැප්තැම්බර් මස තුන් වන දින (03) නියාගම ප්‍රදේශයේ දී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන්ද ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු වයස අවුරුදු 35 ක් වන හොරංගල්ල, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත් අඩංගුවට ගත් සැකකරු අද (27) දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පිටිගල පොලිසිය විසින් ඉදිරිපත්කිරීමට නියමිතයි ෴


සියලු නායකයන්ට ලණු දුන්නේ පී.බී. ජයසුන්දර – ඇමති බන්දුල

(27.04.2023 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු දේශපාලන නායකයන්ට ආර්ථික ලණු දුන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව සිටි පී.බී. ජයසුන්දර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම අර්බුදය සඳහා පාර්ලිමේන්තුවත් ප්‍රධාන වගඋත්තරකරුවකු බවයි. අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු වෙනුවට එදිනෙදා සරල දේවල් පිළිබඳව පාර්ලිමේන්තුව අවධානය යොමුකරන බවද ඇමතිවරයා චෝදනා කළා.

මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පී.බී. ජයසුන්දර ‘ආර්ථික ඝාතකයෙකු’ බවට කළ චෝදනාව එවක ආන්දෝලනයට හේතු වුනා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *