‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි

‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි


‘ලෝ බැල්ලි’ වස දී බල්ලෙකු මරයි

(26.04.2023 – 18:13 +0530 – hirunews.lk/sinhala)

= සුනඛයෙකුට වස දුන් නීතිඥවරියෙකු ඇප මත මුදා හැරේ =

කිරිවත්තුඩුව, තලගලවත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකුගේ නිවසේ, සුරතලයට ඇති කළ සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරිය ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමනායක හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අත්අඩංගුවට ගත් නීතිඥවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසටයි.

ඉකුත් 12 වැනිදා සැකකාර නීතිඥවරිය මෝටර් රථයෙන් පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස අසලට පැමිණ කිසියම් ද්‍රව්‍යයක් ඔහුගේ වත්ත ඇතුළට විසි කරන අයුරු සහ සුනඛයා විසින් එය ආහාරයට ගන්නා අයුරු නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබුණා.

ඉන් අනතුරුවයි අදාළ නීතිඥවරයා විසින් පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත්තේ.

+


පාසල් දරුවන්ට දිවා ආහාර වේල ලබා නොදෙන බව අධ්‍යාපන ඇමති පිළිගනී

(26.04.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර හැර සෙසු සියලු පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයීම, සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් නතර වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට දේශීය නිෂ්පාදකයින් එකඟත්වය පළ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව, මිල පහත හෙලීමේ ප්‍රතිශතය එළැඹෙන මස 23 වැනිදා නිල වශයෙන් දැනුම්දීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දේශීය පාසල් පාවහන් සහ බෑග් නිෂ්පාදකයින්ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීයි ෴


භූ කම්පන ඇති වීමේ අවධානම ඉහළට

(26.04.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකාවට දකුණු ප්‍රදේශයෙන් කිළෝමීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ. අජිත්ප්‍රේම පවසනවා.

මෙලෙස නව භූ තල මායිමක් නිර්මාණය වුවහොත් භූ කම්පන ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ යනු ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අනුමාන කරනවා.

ශ්‍රී ලංකාව යනු ස්වාභාවික වශයෙන් වාසනාවන්ත රටක් බවත් දරුණු තත්ත්වයේ භූ කම්පන ඇති වීමේ අවධානම තවම‍ත් අවම තත්ත්වයක පවතින බවත් එතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙම වසර ඇතුළත පමණක් මේ වන විට භූ කම්පන 9 ක් වාර්තා වී ඇති බවත් එයින් බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරය තුළ සිදුව ඇති බවත් අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මාස 4 ක් තුළ භූ කම්පන 9 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවයි.

+


රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නව උපකුලපති තේරීම කල් යයි

(26.04.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පස්වන (5) උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නොසැලකිල්ල හේතුවෙන් කල් දමා තිබෙනවා.

විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා එම දැන්වීම නිසියාකාරව සකස් කිරීමට අපොහොසත් වීම නිසාත් අයැදුම්කරුවන්ට බලපෑ දෝෂ සහිත තේරීම් ක්‍රියාවලියක් නිසාත් මෙම සම්මුඛ පරීක්ෂාණය කල් දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහය ඇතිව නව තේරීම් ක්‍රියාවලියක් මත පදනම්ව සම්මුඛ පරීක්ෂණය මෙම මස 28 නැවත පැවැත්වීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නව ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හිතවත් කෙනකු පත් කර ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට සහ තම වැරදි වසන් කිරීමට බවට සැක මතුව තිබෙන බවයි වැඩිදුර විස්තර විමසීමේ දී හෙළි වූයේ.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය එකතැන පල්වෙමින් පවතින අතර දුර්වල සිසුන් බඳවා ගැනීම සහ සමහර වැඩසටහන් සඳහා ප්‍රමාණවත් සහභාගීත්වයක් නොමැති වීමත් ගැටලුවක්ව පවතිනවා.

අලුතින් ආරම්භ කරන ලද සිව්වන (4) වසර වැඩසටහන්වල ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් නොමැති අතර සමහර වැඩසටහන්වල සිටින්නේ එක් (1) සිසුවෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ ශිෂ්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් ද අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනා එල්ල වී තිබෙනවා ෴


ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් කනගාටුවෙන්

(26.04.2023 – 18:18 +0530 – sinhala.adaderana.lk)

ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.

එසේම අමෙරිකාව වසර 75 ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

+

+

+


පැහැරගත් තරුණයා පොලිස් මාර්ග බාධකයේදී බේරාගනී

(26.04.2023 – 22:27 +0530 – sinhala.adaderana.lk)

පැහැරගෙන යමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් නිලධාරීන් පිරිසක් සමත්ව ඇති පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ මීගහතැන්න දියපත්තුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් අදාළ තරුණයාගේ නිවස වෙත පැමිණ ඔහුව පැහැරගෙන ගොස් තිබුණේ ඊයේ (25) මධ්‍යම රාත්‍රියේදීය.

පසුව සැකකරුවන් සහ සැකකාරිය පැහැරගත් තරුණයාත් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අලුයම් කාලයේ මතුගම නගර මධ්‍යයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් නිලධාරීන් එම රථය නවත්වා ඇත.

එහිදී තරුණයා විසින් තමන් පැහැරගෙන යන බවට පවසමින් කෑ ගැසීමත් සමඟ පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත.

මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව සැකකාරිය සහ සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීගහතැන්න පොලීසිය වෙත භාරදී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සෙසු සැකකරුවන් පිරිස දෙහිවල, කිරුළපන සහ කොළඹ පදිංචිකරුවන් බවද හෙළිවී තිබේ.

මතුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ගෑස් පිපිරුවේ බන්දුල අනුමැතියෙන්ද? – ගෑස් පුපුරපු හේතුව හෙළිවෙයි – නාගානන්ද සියල්ල හෙළිකරයි (27.04.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *