පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට

පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට


පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට

(26.04.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල උඩහීන්තැන්න ප්‍රදේශයේ දී ඖෂධ අධිමාත්‍රා වීම හේතුවෙන් වයස අවුරුදු 8 ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති මෙම දැරිය සඳහා වෛද්‍යවරයා විසින් ඖෂධ මාත්‍රා දෙකක් (2) ලබා දී තිබෙනවා.

පසුව රෝහල් ඖෂධ නිකුත් කිරීමේ කවුන්ටරයෙන් පැරසිටමෝල් ඖෂධය මෙම දැරිය සඳහා නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරයා විසින් ලබා දුන් මාත්‍රාව වෙනුවට නිකුත් කිරීමේ කවුන්ටරය මඟින් වැඩි මාත්‍රාවක් සටහන් කොට ලබා දී ඇති බවයි හෙලි වී ඇත්තේ.

එම ඖෂධ මාත්‍රාවට අනුව පානය කිරීමෙන් අනතුරුව හටගත් බඩේ අමාරුවක් නිසා දැරිය නැවතත් රෝහල් ගත කර තිබෙන අතර එහිදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් කමිටුවක් පත්කොට තිබෙනවා.

+


මෛත්‍රීගේ අලි ලිපිගොනුව අතුරුදන්

(26.04.2023 – 15:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටි කණ්ඩුල, මංගල සහ කාංචන යන හස්තීන් නීත්‍යානුකූල නොවන අයුරින් භාරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ තිබූ ලිපිගොනු අස්ථානගත වී ඇති බව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (26) දන්වා සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් එහෙත් මුල් ලිපි ගොනුව පරිශීලනය නොකර නිසි ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවට ඔහු ප්‍රකාශ කළ බවයි පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

ප්‍රශ්නගත අලි තුන්දෙනා (3) සම්බන්ධයෙන් වන ගොනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බවත් එය අස්ථානගතවී ඇති බවත් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ප්‍රකාශ ලබාදෙමින් කියා ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙමින් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල් අනුර සිල්වාට ශල්‍යකර්මයක් කර ඇති බව අධිකරණයට දන්වා සිටි පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඔහුට මතකය නැති බවත් කියවීමට නොහැකි බවත් කියමින් ප්‍රකාශ ගැනීමට තවත් කාලයක් ගතවන බවත් අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම, සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න හතරක් (4) සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න හයක් (6) සහිතව ප්‍රශ්නාවලියක් යොමුකළ බවත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර දෙන ලෙසත් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසරද හිමිවුණා ෴


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

(26.04.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙත ජනාධිතිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීම සදහා ජනාධිපති ලේකම්වරයා හරහා යෝජනාවක් ඉදිරිපත් කළ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (26) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ජනාධිපතිවරයා සමග සිදුකිරීමට අපේක්ෂිත සාකච්ඡාව සඳහා අද (26) දිනයේදී ජනාධිපවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බවයි අද (26) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට රජයේ වෛද්‍යවරුන් ගෙන් ඉල්ලීමක් සිදු කරන්නේ නම් තමන් එයට සූදානම් බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලනගේ ප්‍රකාශ කළේ.

ඔහු මේ බව සදහන් කළේ කොළඹ දී අද (26) මාධ්‍ය වෙත අදහස් දක්මින්.

+


නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 600 ක්

(26.04.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කොරියානු රැකියා සඳහා 6,500 ක රැකියා කෝටාවක් මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8,000 ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාවය මතයි.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර අද (26) උදෑසන පැවැති සාකච්ඡාවේදීයි මෙම එකඟතාවය පළ කර තිබෙන්නේ.

රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතයි.

එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් හැකි ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතු බව සඳහන්.

ලබන වසරේ සිට E9 වීසා ඛාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900 ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාවය දක්වා තිබෙනවා.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, ලබන වසරේ (2024) සිට දැනට පවත්වන පරිගණක පදනම්කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවටයි කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ ෴


පාස්කු ප්‍රහාරයට අදාළව ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකුට (2) අධිකරණයෙන් නියෝගක්

(26.04.2023 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකුට (2) සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (26) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සෑම ඉරිදා දිනකම පෙරවරු 9 ත් 12 ත් අතර කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතුයි.

දැනට ඇප මත මුදා හැර සිටින අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆායි සහ මොහොම්මදු මර්ශුක් රිලා යන සැකකරුවන් දෙදෙනෙකුට (2) අදාළව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා ෴


ෂෙල් , ආර්.එම්. පාර්ක්ස් සමාගම් ජුනි මස මෙහෙයුම් කටයුතු අරඹයි

(26.04.2023 – 16:43 +0530 – hirunews.lk/sinhala)

ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් සමාගම් ජූනි මස මුල් සතියේ සිට මෙරටට ඉන්ධන ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම සමාගමවල නිලධාරීන් සමඟ ඊයේ (25) දිනයේ දී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති හමුවක දී ප්‍රකාශ කර ඇත්තේ මැයි මාසයේ දී ඊට අදාළ ගිවිසුම් ගතවීම සිදුකරන බවයි.

එමෙන්ම, ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වී දින 45 ක් තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව සිනොපෙක් ආයතනය ද ප්‍රකාශ කර තිබුණා ෴


රුපියල් ලක්ෂයට අඩු පොලී ආදායමක් ලබන්නන්ගේ රඳවා ගැනීමේ බද්ද යළි ගෙවීම කඩිනම් කෙරේ

(26.04.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයට (100,000) අඩු පොලී ආදායමක් ලබන්නන්ගේ රඳවා ගැනීමේ බදු නැවත ගෙවීම කඩිනම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ලබන සිකුරාදා දිනයේ දී දේශීය ආදායම් පනතට සිදුකරන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (26) කියා සිටියේ ෴


අධිකරණයෙන්, තන්තිරිමලේ පොලීසියට සහ රහස් පොලීසියට දොස්

(26.04.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala)

තන්තිරිමලේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ ටී-56 ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය පොලිසියට සරල කාරණයක් වුවද එම සිද්ධිය අධිකරණයට බරපතල කාරණයක් බව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් අද (26) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රහස් පොලිසියේ නිලධාරීන් අමතමින් ඇය මේ බව කියා සිටියේ තන්තිරිමලේ පොලිසියේ අවි ගබඩාවේ තිබූ ටී-56 ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදීයි.

අතිරේක මහේස්ත්‍රාත්වරිය තවදුරටත් කියා සිටියේ තන්තිරිමලේ පොලිසියේ අවි ගබඩාවේ තිබූ ටී-56 ගිනි අවියක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විල්පත්තුවේ දී සොයා ගෙන තිබීම බරපතල තත්ත්වයක් බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියේ සහ රහස් පොලිසියේ ක්‍රියා කලාපය අධිකරණය හමුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒ, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් තරාතිරම නොබලා වාහාම අත් අඩංගුවට ගන්නා ලෙසටද නියම කරමින්.

මෙහිදී සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් සැකකරු ඇප මත මුදා හැරීම යළි ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන් මැයි මස 05 වන දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


දුම්රියේ ගැටී පාසල් සිසුවියක් මරුට

(26.04.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)

ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ හිත්තැටිය නැගෙනහිර පදිංචිව සිටි සිසුවියක්.

ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා.

මිතුරියන් තිදෙනෙකු (3) සමග දුම්රිය මාර්ගය දිගේ තම මිතුරියකගේ උපන්දින සාදයක් සඳහා යමින් සිටිය දී ඇය මෙම අනතුරට ලක් වූ බවයි වාර්තා වෙන්නේ ෴


පිළිතුරු පත්‍ර බැලීමට වෛද්‍යවරු සූදානම් බව වෛද්‍ය බෙල්ලන කියයි

(26.04.2023 – 17:55 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම මහත් ඛේදවාචකයක් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බවයි එතුමා සඳහන් කරන්නේ.

එමෙන් ම ඔවුන්ට මේ රටෙහි දියුණුව පිළිබඳ හැගීමක් නොමැති බවත් ඒ පිළිබඳ තැකීමක් නොකරන බවත් මෙම සාකච්ඡාවේ දී ඔහු කියා සිටියා.

රජය විසින් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් පිළිතුරු පත්‍ර ඇගයීම සිදු කිරීමට සූදානම් බව ද වෛද්‍යවරයා එහි දී අනාවරණය කළා.

83 ජූලියේ වර්ජකයන් මෙන් මේ සියල්ලන් ම සේවයෙන් නෙරපා දැමිය යුතු බව ද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන‍යේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ඊයේ (25) පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තමන්ට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙන බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වූයේ රජය ගෙන යන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *