ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි

(26.04.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බව කියමින් වහාම ක්‍රියාත්මකවන පරිදි වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුගේ ස්ථාන මාරු වීමක් ඊයේ (25) සිදුකර තිබුණා.

එලෙස ස්ථාන මාරුකළ නිලධාරීන් 07 දෙනාගෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වූ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තම ස්ථාන මාරුවීමට සිය විරෝධය පලකරමින් ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ද්වේශ සහගත අනීතික අසාධාරණ ස්ථාන මාරුකිරීම අනුමත නොකරන ලෙසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සඳහන් කර ඇත්තේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පළාතක් භාරව කටයුතු කරන ප්‍රධානියෙක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සේවා අවශ්‍යතා මත බව කියමින්, පොලිස් කොමිසමේ අනුමැතියකින් ද තොරව අනීතික ආකාරයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් විසින් මාරු කිරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ගේ රාජකාරි පෞරුෂයට පමණක් නොව රාජකාරියේ ධාරිතාවට ද බරපතල ප්‍රශ්නයක් වන බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද වැඩි දෙනෙක් පසුවන්නේ දැඩි කලකිරීමකින් බවයි.

තවද මේ ආකාරයෙන්ම සිය ස්ථාන මාරුවීමට විරෝධය පලකරමින් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කරන්නේ එක්තරා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රැක ගැනීම සඳහා ඇමතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ලබා දෙන මෙම ස්ථාන මාරුකීරීම අනිතික සහ බලය අතික්‍රමණය කිරීමක් මෙන්ම වෛරී ද්වේශ සහගත එකක් වන බවයි.

එමෙන්ම ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අමානි ගුණතිලකට ලිඛිතව දන්වා තිබුණේ තමන් අනීතික නියෝග නොපිළිපදින බවයි.

එම ලිපිය පහතින් :


ජයිකා නියෝජිතායතනයෙන් ලංකාවට ආධාරයක්

(26.04.2023 – 12:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට රජයේ රෝහල් වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) රුපියල් බිලියන 1.3 ක ආධාරයක් පිරිනමා තිබෙනවා.

ඊට අදාල හුවමාරු පත්‍ර වලට අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේදි සිදුකෙරුණේ එම අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මෙරට ජපන් තානාපති මිසුකොෂී හිදෙයකි අතරයි.

මේ යටතේ සියලුම පලාත් ආවරණය වන පරිදි රෝහල් 15 ක සායනික අපද්‍රව්‍ය දහන යන්ත්‍ර සවිකිරීම සිදුකෙරෙනු ඇති ෴


මාවම මරාගෙන කන්න හදන්නෙපා – මෛත්‍රීපාල සිරිසේන කාදිනල්ට කියයි

(26.04.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධව තමන්ට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ (25) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදීයී.

ඔහු මෙම අදහස් පළකර සිටියේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා රදගුරුවරයාට පිරිනැමීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී, ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කරනු ලැබූ කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් විසින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත වෙනම ලබා දුන් වාර්තාවේ ඇති කරුණුද හෙළිකරන ලෙස පවසා සිටියා.

තවද, ඔහු පවසන්නේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයාට තමාව බන්ධනාගාරගත ගතකොට එල්ලුම්ගස් යැවීමට බලවත් උවමනාවක් පවතින බවයි.

මෙලෙස නූල් බෝලයක් ලෙස අවුල් වී ඇති අවසන් නොවුනු පරීක්ෂණයක් නිසා තමන්ට චෝදනා එල්ලකරමින් කාදිනල්වරයා සිදු කරගන්නේ බරපතල පාපකර්මයක් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවසන්නේ.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා මුලින්ම භාරදිය යුත්තේ කතෝලික සභාවට නොව පාර්ලිමේන්තුවට බව පවසන ඔහු මෙම චෝදනා තමන්ට කරන මඩ ගැසීමකට එහා ගිය මරණීය තර්ජනයන් ලෙස දකින බවද පවසා සිටියා.

මේ අයුරින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන හට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන චෝදනාව වන්නේ, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්තවාදි ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන්, ඔහු ඇතුළුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය විසින් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන තුන්සිය දහයක (310) වන්දි මුදලක් පෞද්ගලිකව ගෙවන ලෙස ඔවුන්ට නියම කළා.

ඊට අමතරව රුපියල් මිලියනයක (1) වන්දි මුදලක් ගෙවන ලෙස රජයට නියම කෙරුණා.

ඒ අනුව, රුපියල් මිලියන සියයක (100) වන්දි මුදලක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් අධිකරණයෙන් නියම වූ අතර ජනාධිපතිවරයා ලෙස මහජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති කටයුත්ත ඉටු කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසමත්ව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයක්ද ගනු ලැබුවා.

+


පළමු (1) ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම ආරක්ෂිතව සුඩානයෙන් ඉවතට

(26.04.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)

අර්බුදකාරී සුඩානයෙන් පළමු (1) ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම ආරක්ෂිතව ඉවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (26) පවසා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය සබ්රි ප්‍රකාශ කළේ මෙම පිරිස සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ගිය බවයි.

ඒ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩ බලන කොන්සල් ජනරාල් වරයා විසින්.

පසුගිය අප්‍රේල් 15 වනදිනෙන් පසු සුඩාන හමුදා සහ කැරළිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් 400 කට අධික පිරිසක් මියයාමෙන් අනතුරුවයි මෙම ඉවත් කිරීම සිදු කර තිබෙන්නේ.

සුඩාන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා ඊයේ (25) ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සිය පුරවැසියන් සුඩානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

මෙහි දී සුඩානයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳව අමාත්‍යවරයා විසින් සෞදි අරාබි රාජධානියට සිය කෘතඥතාව ද පළ කර තිබෙනවා.


ඉදිරියේ ඇතිවන ආපදා අවදානම් තත්ත්වයන් දැනුම්දීමට ක්‍රමවේදයක්

(26.04.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් ජනතාවට දැනුම්දීම සඳහා නවීන තාක්ෂණික සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීම කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පසුගියදා ඇති වූ භූ චලන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මේ බව කියා සිටියා.

මේ අතර, මේ දිනවල පවතින අධික උණුසුමට මුහුණදීම සඳහා සුදු හෝ ලා පැහැති ඇදුම් පළදින ලෙසයි මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම, අද (26) පස්වරු 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගිඟුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴


ඉන්ධන අලෙවියේ ගිවිසුම් අවසන් වෙයි – තෙල් යළිත් අවුලක ද?

(26.04.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම් අවසන් කිරීම සහ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා Sinopec නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ගිවිසුමේ කොන්දේසි සහ අනෙකුත් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් ඊයේ (25) අමාත්‍යාංශයේ දී අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහි දී මැයි මස මැද වන විට ගිවිසුම් අත්සන් කිරීමටත් අත්සන් කර දින 45 කින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමටත් තීරණය වී තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), ආයෝජන මණ්ඩලය (BOI), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ Ceylon Petroleum Storage Terminals Ltd (CPSTL) යන ආයතනවල නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව අමාත්‍යවරයා සඳහන් කළා ෴


තවත් ඕමාන රැකියා ජාවාරමක් හසුවේ

(26.04.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ රැකියා සඳහා යවන බව පවසමින් සිදුකෙරෙන තවත් කූඨ ජාවාරමක තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට අනාවරණ වුණා.

ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු, කඩුවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වන්නේ.

රැකියා ලබාදෙන බව පවසමින් මොහු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් ලබාගෙන සංචාරක වීසා මත ඔවුන් ඕමානයට රැගෙන ගොස් තිබෙනවා.

එලෙස රැගෙන යන පුද්ගලයින් ජාවාරම්කරු විසින් මාස ගණනාවක් තිස්සේ රඳවාගෙන සිට ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසකයි.

ජාවාරම්කරු මේ වනවිට ඕමානයේ රැදී සිටින අතර, ඊට හසුවී සිටින පිරිස්, තමන්ගේ වීසා කාලය දිගුකර හෝ රැකියා ඉල්ලා සිටි අවස්ථාවේ අදාළ පුද්ගලයා ඔවුන්ට තර්ජනය කර තිබෙනවා.

එමෙන්ම, සැකකරු විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රාවක් ව්‍යාජ ලෙස සකසා කාන්තාවක් ඕමානයට සංචාරක වීසා මත පිටත් කළ අවස්ථාවේ ඇය කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා ෴


පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

(26.04.2023 – 14:52 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන්ගේ සපත්තු සහ බෑග් මිල පහත වැටී තිබෙනවා.

ඒ ඊයේ (25) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එම සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයන් ‍රැසක් සහභාගී වී තිබෙනවා.

මැයි මස 23 වැනිදායින් පසු රුපියල් 500 ත් 1000 ත් අතර මිලකින් එම උපකරණ අඩු කිරීමට එම නිෂ්පාදකයෝ එකගතාවය පළකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහි දී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට පවසා සිටියේ ඩොලරයේ අගය අඩු වී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩු වී තිබෙන නිසා එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *