මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක්

මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක්


මැලේරියාවෙන් මියගිය පුද්ගලයා ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කල බවට හෙළිදරව්වක්

(26.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala)

ටැන්සානියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව මැලේරියාව වැළඳී මියගිය මැණික් ව්‍යාපාරිකයා එම සංචාරයට පෙර රෝගය වැළැක්වීම සඳහා භාවිත කරන ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි හෙළිවී තිබෙනවා.

මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා චම්පා ජයන්තා අලුත්වීර කියා සිටියේ සංකූලතා මතුවනු ඇතැයි බියෙන් ඔහු මෙලෙස ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

පසුගිය (15) වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස මියගොස් තිබුණේ බේරුවල – චීනකොටුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්.

මෙරටින් මැලේරියාව තුරන් කර ඇති නමුත් රෝගය බහුලව පවතින රටවල සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් රෝගය ව්‍යාප්ත වන බව වාර්තාවනවා.

අප්‍රිකානු රටවලට සාමසාධක මෙහෙයුම්වලට එක්වන මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම මැණික් ව්‍යාපාරිකයින් එම අවදානම් කණ්ඩායම්වලට ඇතුළත්.

එබැවින් මැලේරියාව බහුලව පවතින රටවල සංචාරය කිරීමට පෙර නිසි ඖෂධ ලබාගන්නා ලෙසයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා ජයන්තා අලුත්වීර ඉල්ලා සිටියේ.

එමෙන්ම අද (26) සිට මැයි (02) වනදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ වසරේ (2023) මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 49 ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බවයි.

ඒ අනුව ඩෙංගු වැඩි අවදානමක් සහිත සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා ෴


ලෝක ආහාර උද්ධමන දර්ශකයෙන් ලංකාව ඉවතට

(26.04.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් රටවල් 10 ඇතුළත දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස සඳහන් කර ඇත්තේ ලෙබනනයයි.

එහි උද්ධමනය ප්‍රතිශතය 261% ක්. සිම්බාබ්වේ දෙවන ස්ථානයේ පසුවන අතර එහි ප්‍රතිශතයක් ලෙස 128% වනවා.

ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් ද පිළිවෙළින් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසුවනවා.

පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 3 අතරට ඇතුළත්ව තිබුණා.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6% ක් ෴


වැස්ස නිසා කටුනායකට පැමිණි යාන තුනක් (3) මත්තලට

(26.04.2023 – 10:10 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි පැමිණි ගුවන් යානා තුනක් (3) මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවුණා.

ඊයේ (26) වන දින පස්වරුවේ හදිසියේ ඇති වූ අධික වැසි හේතුවෙන් මෙලෙස මත්තල ගුවන්තොටුපළ වෙත හරවා යැවුණේ මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 116 දරණ යානයක්.

එමෙන්ම ‘ගැන් අයිලන්ඩ්’ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 120 දරණ යානයත් ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි එම ගුවන් සේවයට අයත් යූ.එල් 128 දරණ යානයත් මෙලෙස හරවා යැවුණා.

මෙම ගුවන් යානා තුනේම (3) මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට තත්ත්වය යහපත් වූ විට යලි එම ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය මත කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් (2) ද ප්‍රමාද වී ගුවන් ගතවී ඇති බවයි වාර්තා වන්නේ. දකුණු කොරියාවේ ඉන්චියොන් සහ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා දෙකකුයි මෙලෙස ප්‍රමාද වී ඇත්තේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (26) පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි ඇතිවිය හැකියි ෴


රැකියාවට රට යන අම්මලාට වාරණයක්

(26.04.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු දෙක (2) නොඉක්මවූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගතවීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීම සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව පසුගිය වසරේ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

එය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් පසුගිය මාර්තු මස 31 වනදා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

ඊට අනුව වයස අවුරුදු 45 නොඉක්මවූ රැකියා සඳහා විදේශ ගතවන සියලු කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබීමට අදාළ වාර්තාව සම්පූර්ණ කළ යුතු වනවා ෴


අතුරුදන් දරුවෙකු සොයා පොලිස් විමර්ශන

(26.04.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මතට ඇබ්බැහි වූ පියෙකු විසින් රැගෙන ගිය දරුවෙකු සොයා කඩුවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම පියා විසින් මවගේ භාරයේ සිටි දරුවා බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය සිය සැමියාගේ අධික මත් ලෝලීත්වය හේතුවෙන් ඔහුගෙන් වෙන් වී කඩුවෙල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී තිබෙනවා.

දින තුනකට (3) පමණ පෙර දිවා සුරැකුම් මධ්‍යස්ථානයට දරුවා ඇතුළු කළ කාන්තාව රැකියාවට ගොස් නැවත පැමිණීමේ දී දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොමැති බවයි හෙළි වී තිබෙන්නේ.

එහිදී සිය සැමියා විසින් දරුවා රැගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි.


පවතින ආර්ථික තත්ත්වය ගැන ජනපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

(26.04.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (26) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ IMF ගිවිසුම පිලිබඳ පාර්ලිමේන්තුවේ ඇති විවාදයට සහභාගී වෙමින්.

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යලි බිහිවෙමින් සිටින බවත් එය ඉදිරියට ගෙන යාමට මුලු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බව ඔහු එහි දී ප්‍රකාශ කළා.

ජනපතිවරයා එහි දී සඳහන් කරන්නේ ඉතා තරගකාරී සමාජ සාධාරණ වෙළඳ ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට තමන් ක්‍රියා කරමින් සිටින බවයි.

2019 වර්ෂයේ දී බදු කපා හැරීම තුලින් දළ දේශීය නිශ්පාදනයෙන් 4% ක් අහිමි වූ බව පවසන ජනපතිවරයා කොඩිඩ් වසංගතය ආදී වූ ගැටලු තුලින් රුපියල පසුගිය වසරේ (2022) මාස තුනක් (3) ඇතුලට 40% කින් පිරිහී ගිය බවයි.

මෙම පසුබිම තුල තමන් ජනාධිපතිකම බාරගත් බවත්, නොඑසේනම් මේ රට විනාශයට පත් වන බව ඔහු පැවසුවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් සේවක අර්ථ සාධක අරමුදලට සහ බැංකු පද්ධතියට බලපෑමක් නොවන බවද ජනාධිපතිවරයා එහිදි කියා සිටියා.

විදේශිය රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා කියා සිටියේ චීනය සමග වෙනම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි ෴


අනධ්‍යයන සේවකයින්ටත් දුෂ්කර දීමනා ලබාදෙන්නැයි ඉල්ලීමක්

(26.04.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

අනධ්‍යයන සේවකයන් හට දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ලබාදීම සිදුකළ යුතු බවට වන චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කළ යුතු බව පවසමින් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ 2013 වර්ෂයේ සිට අනධ්‍යයන සේවකයින් දුෂ්කර සේවාව සඳහා යොමුකර මේ වනවිට වසර 10 ක කාලය ගෙවී ඇතත්, ඔවුන්ට ලැබිය යුතු දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ගෙවීමක් හෝ ගෙවිය යුතු බවට වන විධානයක් සම්බන්ධ කිසිදු ලිඛිත යොමු කිරීමක් මේ දක්වා සිදුවී නොමැති බවයි.

මේ වනවිට ගුරුවිදුහල්පතිවරුන් සඳහා දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ගෙවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමාලෝචනයක් සිදුකරනු ලබනවා.

එබැවින් අනධ්‍යයන සේවකයින් උදෙසා ද දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ගෙවීම සඳහා වන චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන ලෙසයි අනධ්‍යයන සේවක සංගමය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ෴


බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ සැකකරු කොටුවේ

(26.04.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙක් ලබන (02) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය පසුගිය (24) වැනිදා නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.

සැකකාර තරුණයා අදාළ බාලවයස්කාර 15 හැවිරිදි දැරිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති අතර, පසුව දැරියගේ ඉල්ලීම මත තරුණයා මාතර සිට දිවුලපිටියට ඇයව මුණගැසීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පැමිණි තරුණයා දැරිය හමුවී ඇය පදිංචිව සිටි කිරි අම්මාගේ නිවසට ගොස් දින කිහිපයක්ම එම නිවසේ රැඳී සිට ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව තම දියණිය නාඳුනන තරුණයකු සමඟ ඇයගේ කිරි අම්මාගේ නිවසේ රැඳීසිටින බවට දැරියගේ මවට ලද තොරතුරක් මත, මව විසින් දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

සැකකාර තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ, එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මව භාරයේ පසුවන බවට ද අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු අනාවරණය වුණා.

පොලීස් විමර්ශන වලින් අණාවරණය වී ඇත්තේ, දැරියගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවත්, මව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් දැරිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කිරි අම්මා භාරයේ හැදී වැඩී ඇති බවයි ෴


වාලම්පුරියක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

(26.04.2023 – 11:28 +0530 – hirunews.lk/sinhala)

මිල කළ නොහැකි ‘ට්‍රයිටෙන් වාලම්පුරියක්’ ඉතා සුක්ෂමව අළෙවි කිරීමට තැත් කල පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ විශේෂ වැටලීමක දී අඹේවෙල මාර්ගයේ ගොරකාපතන, බොරගස් ප්‍රදේශයේ දී මෙලෙස සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස එම සැකකරු සන්තකයේ තබාගෙන සිටි ‘ට්‍රයිටෙන් වර්ගයේ වාලම්පුරිය’ ඔහු විසින් රුපියල් කෝටි 05 ක මුදලකට අලෙවි කිරීමටයි සූදානම්ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අළුත්කොළණිය, සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක අයෙක් බව පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුව කැප්පෙටිපොල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *