අමුතු ක්‍රමයකට ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවෙන් රට පැටවූ ජාවාරමක්

අමුතු ක්‍රමයකට ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවෙන් රට පැටවූ ජාවාරමක්


අමුතු ක්‍රමයකට ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවෙන් රට පැටවූ ජාවාරමක්

(21.04.2023 – 10:59 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකික ළමුන් විදෙස් රටවලට මුදල්ගෙන නීතිවිරෝධී ලෙස යැවීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

එම යුවළ සුක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකාර යුවළ ප්‍රථමයෙන් එරට මව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර සකසා දීම සඳහා ඔවුන් රැගෙන පැමිණෙන ලෙසට පෙළඹවීමක් කර ඇත.

එලෙස පැමිණීමේදී එරට දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත් රැගෙන පැමිණෙන ලෙසද දැනුම්දී තිබේ.

අනතුරුව එම දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර තිබේ.

එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ මෙලෙස අදාළ යුවළ විසින් සාර්ථකව ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවල්වලට විකිණීමේ ජාවාරමක් සිදුකර ඇති බවය.

පසුගිය 12 වනදා ද මෙම යුවළ මෙලෙස දරුවෙකු වංචා සහගත ලෙස යුරෝපය වෙත යැවීම සඳහා උත්සාහ ගත් අවස්ථාවකදී බලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම අනාවරණය සිදුව ඇත.

එහිදී රැගෙන විත් සිටි දරුවාට මැලේ භාෂාව කතා කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳව බලධාරීන්ට සැකසිතී තිබේ.

අනතුරුව එරට බලධාරීන් විසින් මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති යුවළ 26 සහ 37 හැවිරිදි වියේ පසුවන බවට අනාවරණය වී තිබේ.

ඔවුන් මෙලෙස එක් ශ්‍රී ලාංකික දරුවෙකු යුරෝපයට ජාවාරම් කිරීමට සඳහා යුරෝ 30,000 ත් 50,000 ත් අතර මුදලක් ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 10,560,000 ත් 17,600,000 ත් අතර මුදලකි.

එරට ආගමන විගමන බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) සිව් (4) වසරක්

(21.04.2023 – 06:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කූ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසර හතරක් (4) සපිරෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් අද (21) උදෑසන 8 සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව පසුගියදා නිවේදනය කළා.

එමෙන්ම පෙරවරු 08:45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ඊයේ (20) පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පැවැත්වුණු අතර, රාත්‍රි 07:00 ට යැදුම් පාගමනක් කෙරුණා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් (3) ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් (3) ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා.

එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා වූ අතර සමස්ථ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3), සහ බෝම්බකරුවන් අටදෙනා (8) ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්වුණා.

එමෙන්ම තවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පැවැත්වෙන බවද ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

මේ අතර මෙම පා ගමන වැළැක්වීම සඳහා මීගමුව පොලිස් ස්ථානය මගින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් තහනම් නියෝගයක් ඉල්ලා ඇති බවත්, එය අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවටත් පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මීගමුව පොලිස් ස්ථානය මෙවැනි තහනම් නියෝගයක් ලබාගැනීමට අධිකරණය වෙත කරුණු වාර්තා කර නොමැති බවයි.

එහෙත් අද (21) පස්වරුවේ මීගමුව – තෙල්වත්ත මංසන්ධියෙන් ආරම්භ කර මීගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ පා ගමනක් සමඟින් ජන රැළියක් පැවැත්වීමට වෙනත් පාර්ශවයක් විසින් කටයුතු යොදා ඇති බවට මීගමුව පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එමඟින් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ මහජනතාවට තම එදිනෙදා කාර්යයන් ඉටුකරගැනීමට නොහැකිවීම නිසා ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වය වළක්වාගැනීම සඳහා මෙය සුදුසු ක්‍රීඩා පිටියක් හෝ ස්ථානයක් වෙන් කරවා ගෙන සිදුකිරීමට අදාළ ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව යම් අපරාධමය වරදක් සිදුවන්නේ නම් පොලිසියට ඇති බලතල අනුව ක්‍රියාකරන ලෙස අධිකරණය දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

+

++++++++

+


විදුලිබල වෘත්තීය සමිති එක්ව සාකච්ඡාවක්

(21.04.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31 ක නියෝජිතයන් ඊයේ (20) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජිත රජයේ ප්‍රතිපත්තිය, මාර්ග සැලසුම සහ කාල රාමුව පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

තවද එම ක්‍රියාවලියේ දී සිදු කිරීමේදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීම, ජනන සමාගම් සහ බෙදා හැරීමේ සමාගම් ලෙස පරිවර්තනය, මානව සම්පත් කළමනාකරණය, සේවක අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් පිළිබඳව අනුගමනය කරන ක්‍රියාවලිය, අතිරික්ත සේවකයන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාවලිය, කළමනාකරණ ව්‍යුහය සහ සැලසුම සහ යෝජිත ප්‍රතිව්‍යුහගත කාර්යාංශය පිළිබඳව සාකච්ඡා කරනු ලැබ තිබෙනවා.

+


දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට

(21.04.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැණුනා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි.

විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියවරයෙක් වන ඒ.ඒ.එච්. ද සිල්වා, දේශපාලන විශ්ලේෂිකාවක වන ෂෙනාලී ඩී. වඩුගේ සහ සමාජ ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම කෙටුම්පතේ ඇතුලත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

1995 වසරේදී දණ්ඩ නීති සංග්‍රහයට මීට පෙර ගෙන ආ සංශෝධන මගින් කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර එය තව තවත් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

එහෙත්, මෙම පනත් කෙටුම්පත මගින් ඉදිරිපත් කර ඇති සංශෝධන මගින් එම ආරක්ෂණය ඉවත් කර ඇති බවටයි ඔහු චෝදනා කළේ.

මෙම පනත් කෙටුම්පත තුළින් සමලිංගික කටයුතු නීතිවිරෝධී නොවන බව සඳහන් කරමින් වගන්තියක් ඇතුළත් කර තිබෙන බවත්, නවතම සංඛ්‍යා ලේඛණ අනුව මෙරට සමලිංගික හෝ ද්වීලිංගික කටයුතු වල නිරත වන පිරිමි සංඛ්‍යාව 59% ක ඉහළ අගයක් ගන්නා බැවින්, එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි නීතිඥවරයා පෙන්වා දී දුන්නේ.

‍වැඩිහිටි සම ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන සම්බන්ධයක් නීතිවිරෝධී බවට ප්‍රකාශ කළ නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලිංගිකත්වය මත පුද්ගලයන්ට වෙනස් කොට සැලකිය නොහැකි බවයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද සමලිංගික අයිතිය තහවුරු කර ඇති අතර එංගලන්තය ඇතුළු විදේශ රටවල් කිහිපයක්ම ඒ සඳහා ඇති නීතිමය බාධාවන් ඉවත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙහිදී විනිසුරු විජිත් මලල්ගොඩ කියා සිටියේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් අර්ථකථන දීමට අධිකරණයට නොහැකි බවයි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද ? නැද්ද ? යන්න තීරණය කිරීම පමණක් අධිකරණයට කළහැකි බවත් විනිසුරුවරයා එහිදී සඳහන් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සමලිංගික සහ සංක්‍රාන්තික ලිංගික ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් කටයුතු කර ඇති බවයි.

ළමයින්ට ලිංගික හිරිහැර සිදු විය හැකි බවට සහ එච්.අයි.වී. ආසාදිතයින් වර්ධනය විය හැකි බවට පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බවත් ඇය සදහන් කළා ෴


ත්‍රීරෝද රථ නියාමනයට පනත් කෙටුම්පතක්

(21.04.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීරෝද රථ නියාමනයට අදාළ කෙටුම්පතක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රිරෝද රථ නියාමනයට අදාළ පියවරයන් නොගැනීම හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරන් සහ පාරිභෝගිකයන් අපහසුතා රැසකට පත්ව ඇති බවයි ෴


සංකූලතා මතුවූ අක්ෂි රෝහලේ ඖෂධයේ ප්‍රමිතිය සොයයි

(21.04.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි රෝග සඳහා භාවිත කිරීමෙන් පසු සංකූලතා මතු වූ බව කියන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඖෂධයේ සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය වෙත යොමුකර තිබෙනවා.

ඒ, එම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඇසේ සුද ඉවත් කිරීමේදී භාවිත කරන ඖෂධයක් වන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඖෂධය 2021 වසරේ සිට මෙරට භාවිතයට ගනු ලබන බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

කෙසේ වෙතත්, එම ඖෂධය භාවිතයට ගත් රෝගීන් කිහිප දෙනෙකු විවිධ සංකූලතාවන්ට ලක්වීමත් සමඟ එය භාවිතය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා.

එමෙන්ම, ජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර තුළ විෂබීජයක් පැතිරයෑමටද එය හේතු වී ඇති බවටයි සැක පළ වුණේ.

කෙසේ වෙතත්, නිශ්චිතව මෙම තත්ත්වයට අදාළ ඖෂධය හේතු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා භාවිතයට ගත් ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඖෂධයේ සාම්පල රසායනාගාර පරීක්ෂාවකට ලක් කිරීමටයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

ජාතික අක්ෂි රෝහලේ මතු වූ මෙම ගැටළුකාරී තත්ත්වය හමුවේ දිවයින පුරා රෝහල්වල එම ඖෂධය භාවිතය තාවකාලිකව අත්හිටුවීමට වෛද්‍ය සැපයුම් අංශය විසින් පියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *