“සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!” : රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්

“සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!” : රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්


“සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!” : රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්

(06.06.2026 – hirunews.lk)

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මරණය දක්වා වූ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

සලේ වෙත ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස සලකන බවටත්, ඔහුට දරාගත නොහැකි බවටත් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතීඥ උදය ගම්මන්පිල මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියා.

+++

සුරේෂ් සලේ මාරාන්තික උපවාසක් අරඹයි – ඊයේ (05) රෑ බත් හැන්දයි රාබු හොදියි කන්න දීලා (06.06.2026)

+++

සලේ නිරුවත් කළ සිදුවීමේ වාර්තා එළියට | පාස්කු ප්‍රහාරයට ගෝඨාභය හසුවෙයිද? බේරෙයිද? (06.06.2026)

+


බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි : හොර සීල් තොගයක් මාට්ටු

(06.06.2026 – hirunews.lk)

ව්‍යාජ ලිපි ලේඛන ජාතික හැඳුනුම්පත් හා වාහන අංක තහඩු සැකසූ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු (3) මුදල් සමග ඊයේ (05) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

බොරැල්ල එන්.එම්. පෙරේරා මාවතේ නිවසක් කුලියට ලබාගෙන කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 600 ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත්ව ඇති මුල් ගොනු 2 ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 4 ක්, ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් විද්‍යුත් උපකරණ, ටයිප් රයිටර්, මෝටර් රථයක්, යතුරුපැදියක් සමග රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම නිල මුද්‍රා අතර රජයේ ප්‍රධාන පෙලේ දෙපාර්තමේන්තුවල නිල මුද්‍රා, සාමාදාන විනිශ්චකාර, නොතාරිස්, නීතීඥ හා විවිධ තනතුරු දරන්නන්ගේ නිල මුද්‍රා තිබූ බව පොලිසිය පවසන්නේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී සිටි සැකකරුවන් දෙදෙනකු (2) සහ ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54, 55 හා 59 අතර පසුවන බොරැල්ල දික්වැල්ල සහ හොරණ පදිංචිකරුවන් බවයි සඳහන්.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න : පස්දෙනෙකුගේ (5) මරණ පරීක්ෂණ අවසන්

(06.06.2026 – hirunews.lk)

විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය 13 දෙනාගෙන් පස්දෙනෙකුගේ (5) මරණ පරීක්ෂණ මේ වන විට සිදුකර තිබෙනවා.

එමෙන්ම, මියගිය තවත් දෙදෙනෙකුගේ (2) පවුල්වල ඥාතීන් ඉදිරිපත්ව ඇති බැවින් ඔවුන්ගේ ද මරණ පරීක්ෂණ අද සිදුකරන බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මරණ පරීක්ෂණ සිදුකරන ලද මළ සිරුරු දෙකක් (2) ඔවුන්ගේ ඥාතීන් විසින් අවසන් කටයුතු සිදුකිරීම සඳහා රැගෙන ගොස් ඇති අතර එලෙස භාර නොගත් මරණ පරීක්ෂණ අවසන් කරන ලද සිරුරුවල අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් හොරණ මූලික රෝහලේ වසර 4 ක පමණ කාලයක සිට මළ සිරුරු තැන්පත් කිරීමට අවශ්‍ය ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඥාතීන් විසින් භාරනොගන්නා මළ සිරුරු කළුතර, නාගොඩ රෝහල වෙත මාරු කර යැවීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය තුන්වැනිදා (03) වැඩිහිටි නිවාසයේ ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

+++

‘බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ’ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා : NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ

(06.06.2026 – hirunews.lk)

පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ ‘සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ’ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගියා.

තවත් 6 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

2026 පෙබරවාරි 06 දිනැති ලිපියක් මඟින් ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය (NSPD) වෙත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් යොමු කර ඇති වාර්තාවකින් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම මහා ඛේදවාචකය සිදුවීමට පෙර මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෙම නිවාසය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අතිශය බරපතල තත්ත්වයන් රැසක් අනාවරණය වී තිබුණා.

ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් වාර්තා කර තිබූ විමර්ශන වාර්තාවට අනුව, උපරිම ධාරිතාව 15 දෙනෙකු සඳහා පමණක් වුවද, මෙම නිවාසය තුළ කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු ඇතුළුව නේවාසිකයින් 48 දෙනෙකු අධික තදබදයක් යටතේ රඳවා තබා තිබෙනවා.

එහිදී එකම ඇඳෙහි නේවාසිකයින් දෙදෙනෙකු (2) බැගින් නිදාගෙන ඇති අතර, ඇතැම් අයට ඇඳන් පවා නොමැතිව බිම නිදා ගැනීමට සිදුව තිබූ බවයි හෙළිව ඇත්තේ.

​එමෙන්ම, මෙම නිවාසය තුළ දරුණු ලෙස දුර්ගන්ධයක් හැමීම, අපිරිසිදු වටපිටාව, නේවාසිකයින් ගණනට සාපේක්ෂව වැසිකිලි සහ නානකාමර පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම එහි සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ පාලනාධිකාරිය කිසිදු සැලකිල්ලක් නොදැක්වීම ද මෙම විමර්ශනයේදී අනාවරණයවී තිබෙනවා.

නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් මානසික රෝගී නේවාසිකයින් ඉන් පැන යාමේ දැඩි අවදානමක් පැවති අතර, වඩාත්ම සැකකටයුතු කරුණ වූයේ මෙම ගින්න හට ගැනීමට පෙර ද ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම නිවාසය තුළ අබිරහස් මරණ කිහිපයක්ම සිදුවී තිබීමයි.

​කිසිදු රාජ්‍ය නියාමනයක් හෝ විධිමත් පරීක්ෂාවකින් තොරව පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත පමණක් පවත්වාගෙන ගිය මෙම රැකවරණ නිවාසයේ සිදුවූ දරුණු නොසැලකිලිමත්කම හේතුවෙන් අසරණ මිනිස් ජීවිත 13 ක් අහිමි වූ අතරම 2024 මාර්තු 10 වැනිදා මෙම නිවාසයේ කාන්තාවක් අනාරක්ෂිත වලකට වැටි මියයාමේ සිද්ධියක් ‘හිරු ප්‍රවෘත්ති විකාශය’ තුලින් ද වාර්තා කර තිබෙනවා.

අදාල වාර්තාවේ සඳහන් කරුණු සියල්ල පහතින් :

  1. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 649 බටගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවත්වාගෙන යනු ලබන ‘මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල’ නිවාසය, මානසික රෝගීන් සඳහා නේවාසික රැකවරණය සලසන නිවාසයක් ලෙස ක්‍රියාත්මක වේ. කළුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරුපිට ආබාධික නිවාසයට අනුබද්ධව ‘එක්සත් සරණ සේවා පදනම’ මගින් පවත්වාගෙන යන මෙය, 2024 නොවැම්බර් මස ආරම්භ කළ එකකි.
  2. ආරම්භයේ දී, මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වුණු මෙම නිවාසය, මේ වන විට මානසික රෝගී පිරිමි පුද්ගලයන්ට ද රැකවරණය සැලසීම සිදු කරයි. මෙම නිවාසය සම්බන්ධයෙන් සිදු කරන ලද නිරීක්ෂණ අනුව, භාරකරුවන් සිටින, මුදල් ගෙවීම සිදු කරන පුද්ගලයන් ද, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙන් ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු කරන භාරකරුවන් නොමැති රෝගීන් ද මෙහි නේවාසිකව සිටියි. ඒ අනුව, මේ වනවිට කාන්තා නේවාසිකයන් 28 දෙනෙකු සහ පිරිමි නේවාසිකයන් 20 දෙනෙකු මෙහි රැඳී සිටියි. දහවල් කාලයේ දී මෙම නේවාසිකාගාර පරිශ්‍රයේ ම අවට ගත කරනු ලබන පිරිමි නේවාසිකයන්, රාත්‍රී කාලයේ දී එම වසමේ ම කුළී පදනම මත ලබාගත් වෙනත් නිවසක් වෙතට යොමු කරනු ලැබේ.
  3. මෙම නේවාසිකාගාරයේ උපරිම ධාරිතාව නේවාසිකයන් 15 දෙනෙකු සඳහා පමණක් වන අතර, එකම ඇඳ නේවාසිකයන් දෙදෙනෙකුට (2) වෙන්වන අවස්ථා මෙන්ම ඇඳක් නොමැතිව සිටින නේවාසිකයන් ද නිවාසය තුළ නිරීක්ෂණය වේ. එසේම, නිවාසය ඇතුළත දැඩි දුර්ගන්ධයක් මෙන්ම අපිරිසිදු බවක්ද නිරීක්ෂණය වේ. නේවාසිකයන් ගණනට සාපේක්ෂව පවතින වැසිකිළි සහ නානකාමර ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවන බව පෙනී යන අතර, නේවාසිකාගාරයේ සෞඛ්‍යාරක්ෂිතභාවය පවත්වාගෙන යාමට ද ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බව ද නිරීක්ෂණය වේ. නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොවීම හේතුවෙන් නේවාසිකයන් නිවාසයෙන් පැනයාම් ද වාර්තා වන අතර මානසික රෝගී පුද්ගලයන් බැවින් එය අවට සමාජ සුරක්ෂිතභාවයට ද බලපෑම් ඇති කරනු ලැබේ. එසේම, නිවාසය තුළ කෙටි කාල සීමාවක් ඇතුළත මරණ කිහිපයක් ම සිදු වී ඇති බවට ද වාර්තා වී ඇත.
  4. කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන සමාජ සුභසාධනය පදනම් කරගත් ආයතනයක් වන බැවින්, මෙම නිවාසය වසම් භාර නිලධාරීන්, සමාජ ස්වා නිලධාරි සහ වනිතා සංවර්ධන නිලධාරි මඟින් මෙන්ම මා විසින් ද වරින් වර අධික්ෂණය සිදු කරන ලදී. එම සෑම අධීක්ෂණ අවස්ථාවක දී ම, ධාරිතාව ඉක්මවා නේවාසිකයන් ඇතුළත් කර නොගන්නා ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිසරය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත් නේවාසිකයන්ට ප්‍රමාණවත් පහසුකම් සලසන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබූව ද, එම උපදෙස් අනුව කෙටි කාලයක් කටයුතු කර, නැවත සුපුරුදු ගැටළුකාරි පිළිවෙලට පවත්වාගෙන යාම මෙම නිවාසයේ සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇත.
  5. ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පොලිසිය මෙන්ම ගම්වාසීන්ගෙන් ද, අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යනු ලබන මෙම නේවාසිකාගාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි මත විවිධ අවස්ථාවල දී, නිවාසයේ පාලන අධිකාරිය කැඳවා, සාකච්ජා කර අවශ්‍ය උපදෙස් ලිඛිතව ලබා දීම ද සිදු කර ඇතත්, සුරක්ෂිත ලෙස මෙම නේවාසිකාගාරය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත්ව ඇත.
  6. මානසික සෞඛ්‍ය විද්‍යායතනය, විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙන්ම පෞද්ගලික භාරකරුවන් මඟින් යොමු කරනු ලබන මානසික රෝගීන් කිසිදු නියාමනයකින් හා විධිමත් අධීක්ෂණයකින් තොරව භාර ගනිමින්, පෞද්ගලික පදනමෙන් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය මඟින් ඉදිරියේදී මෙම කොට්ඨාසය තුළ විවිධ සමාජ ගැටළු රාශියක් උද්ගතවීමේ හැකියාවක් පවතින අතර, මෙම ගැටළු නිරන්තර අධීක්ෂණය කිරීමේ හැකියාවක් මෙම කාර්යාලයට නොමැති බැවින්, මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි.

+++

‘සෙනෙහසේ කැදැල්ල’ කුලියට දුන්නෙ නීතිඥවරියක්, සැමියා හිරේ! ආන්දෝලනාත්මක වීඩියෝ එළියට (06.06.2026)

+


ජර්මන් ජාතිකයෙකුට වංචා කළ සංචාරක මඟපෙන්වන්නෙකු අත්අඩංගුවට

(06.06.2026 – 15:17 +0530 – sinhala.adaderana.lk)

ජර්මන් ජාතිකයෙකුගෙන් යුරෝ 91,860 ක (රු. කෝටි 2.5 කට අධික) මුදලක් වංචා කළ අයෙකු බෙන්තරදී අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජර්මන් ජාතිකයා විසින් මෙරට සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ලබා දුන් මුදලක් සැකකරු විසින් මෙලෙස වංචා කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙක්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *