ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ

ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ


ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ

(18.04.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කෙරෙන බව එම තීරණයේ සඳහන්.

සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220 ක් පමණ වැය කර තිබෙනවා.

පසුගිය අරගල කාලසීමාව තුළ සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6 ක් වැය කොට තිබෙන බවයි සඳහන් වන්නේ.

එබැවින් මහජන ඒකරාශී වීම් හේතුවෙන් මෙම භූමිය නිතර හානි වන අතර පරිශයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇති නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් මණ්ඩල තීරණයෙහි දැක්වෙන්නේ ෴


මහව නිවසක පුද්ගල මළ සිරුරක්

(18.04.2023 – 11:30 +0530 – hirunews.lk/sinhala)

මහව කෝන්වැව ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (17) දිනයේ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මහව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගෙන තිබෙන අතර මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ ඔහුගේම නිවසේදී ම වන බව පොලිසිය සදහන් කරනවා.

මියගිය මෙම පුද්ගලයා වයස අවුරුදු 37 ක් වූ කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල සිදුවීම වන අවස්ථාවේ ඔහුගේ බිරිද සහ දරුවා නිවසේ නොසිටි බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත දේහය කුරුණෑගල රෝහලේ තැම්පත් කර අති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මහව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි ෴


උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයකට සූදානම්

(18.04.2023 – 11:34 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් අප්‍රේල් (25) වෙනිදා උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව, පුරා විද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම යනාදී හේතූන් කීපයකට විරෝධය පල කිරීම සදහා මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.

උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් දියත් වන දිනයේ දී සියලුම වෙළඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යාම අත්හිටුවන ලෙසත් ඉල්ලා ඇති සංවිධායකයෝ රජයේ සේවකයින්ද මෙම පූර්ණ හර්තාලයට සහය ලබා දිය යුතු බව දැනුම් දී තිබෙනවා.

තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අප්‍රේල් (25) වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එදිනට පාර්ලිමේන්තුවෙහි ද විරෝධතාවයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු සැලසුම් කොට ඇති බවයි වාර්තා වන්නේ ෴


මහකනදරාව සසල ක‍ළ කල්ලංචියේ ඛේදවාචකය

(18.04.2023 – 11:47 +0530 – hirunews.lk/sinhala)

කල්ලංචිය පොලිස් වසමේ මහකනදරාව, දකුණු ඉවුර ප්‍රදේශයේදී ඊයේ (17) දා පස්වරුවේ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව කල්ලංචිය පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 220, මහකනදරාව, දකුණු ඉවුර, රඹෑව ලිපිනයේ පදිංචි ටිකිරි බණ්ඩාරගේ චන්ද්‍රාවතී නැමැති 63 හැවිරිදි කාන්තාවක්.

පොලිසිය විසින් ප්‍රකාශ කරන්නේ මරණකාරියගේ පුතෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව‍යි.

කිසියම් පුද්ගලයකු විසින් මරණකාරියගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදිම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වී නිවසේ මුළු තැන්ගෙය තුළ වැටී සිටි බවද පොලිසිය විසින් පවසා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් කලන්තෙ පොලීසිය විසින් සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (18) දින සිදු කිරීමට නියමිත බවයි.

+


විශ්‍රාමික ගුරුවරයෙකු දුම්රියට පනී

(18.04.2023 – 12:32 +0530 – hirunews.lk/sinhala)

යාපනය හින්දු විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කොට විශ්‍රාම ලැබූ ගුරුවරයෙකු යාපනයේ චුන්නාක්ම් ප්‍රදේශයේ දී ඊයේ (17) දූම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ශිව සුබ්‍රමනියම් ෂර්මා නැමැති වයස අවුරුදු 80 විශ්‍රාමික ගුරුවරයා මෙලෙස දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇති බව සඳහන්.

ඔහු සියදිවි හානි කරගෙන ඇත්තේ මේ දිනවල උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කරන එකම දුම්රිය වූ ‘යාල් රාණී’ කාර්යාල දුම්රියට පැනීමෙන් බවයි අප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරු සඳහන් කරන්නේ.

තවද ඔහු දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනයේ චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි ෴


අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මැයි මාසයෙන් පසු අහෝසියි

(18.04.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මැයි මාසයෙන් පසුව අහෝසි කරන බැවින් මැයි මස 31 වනදාට පෙර එම බස් රථ සාමාන්‍ය බස් රථ ලෙස පරිවර්තනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව එහි හිමිකරුවන්ට දැනුම් දෙනවා.

මේ වන විට අර්ධ සුඛෝපභෝගි බස්රථ 430 ක් පමණ ධාවනයේ යෙදෙන බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴


විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

(18.04.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (17) දිනයේ ලැබී තිබෙනවා.

ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි වාර්තා වෙන්නේ.

තවද ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සංවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත් අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පුර්ණ කිරීමට නියමිත බව අමාත්‍යවරයා තැබූ ට්විටර් පණිවිඩයේ සඳහන් ෴


ලාංකිකයින් යුරෝපයට පනින නව ක්‍රමයක් හෙළි වේ

(18.04.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ලාංකිකයින් යුරෝපා රාජ්‍යන් වෙත පළායාම සඳහා භාවිත කරනු ලබන නවතම ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට ස්ථාපිත කර නොමැති අතර ඒවා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු සිදු කරනු ලබනවා.

මෙය අවස්ථාවක් කරගනිමින් ඉන්දියාව වෙත ගමන්ගන්නා ලාංකිකයින් තැරැව්කරුවන් හරහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස්කරගෙන යුරෝපා රටවල් වෙත පලායාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කළේ.

එලෙස කූඨ ලෙස සකස්කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම තරුණයා ඉන්දියාවේ නවදිල්ලි නුවර තැරැව්කරුවෙකු මගින් මෙම වීසා බලපත්‍රය සකස් කර ගත් බවට හෙළිකර තිබෙනවා.

සැකකරුගේ සොහොයුරියද මෙසේ කූඨ ලේඛණ සකස් කර ව්‍යාජ වීසා ලබාගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් ඇති බවයි ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා ෴


සමුද්‍රීය පරිසර අධිකාරිය, සී.අයි.ඩී.ය ට

(18.04.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්ව මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීමේදී යම් පුද්ගලයෙකු මුදල් ලබාගෙන ඇති බවට පළවන ප්‍රකාශ සහ ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා සමුද්‍රීය පරිසර අධිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකළා.

ඒ එහි සභාපති නීතිඥ අසේල බී. රැකව විසින්.

මේ අතර අද (18) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂද ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම සම්බන්ධයෙන් අදහස් පළකළා ෴


දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

(18.04.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙන බව පොලිසිය පවසනවා ෴


කුකුළු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක්

(18.04.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

බර අනුව බිත්තර අලෙවි කරන්නේ නම් පාරිභෝගිකයින්ට සහන හිමිවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

+


උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්

(18.04.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද කර තරුණයින් පාරට ඇඳ දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණ කරගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (18) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ගුරුවරුන්ගෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් උත්තර පත්‍ර ඇගයීම් ආරම්භ කරන ලෙසයි.

+


මීගොඩ සිදු වූ මාරක රිය අනතුරින් කුඩා දරුවෙක් මරුට

(18.04.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

අද (18) අළුයම මීගොඩ පොලිස් වසමේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හයිලෙවල් පාර ගොඩගම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රීරෝද රථයක් තවත් ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේ දී විරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථ රියැදුරු, පිටුපස අසුනේ පැමිණි මගීන් දෙදෙනෙකු (2) සහ කුඩා දරුවෙකු (1) තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ අතර රෝහලට ඇතුළත් කිරීමේ දී කුඩා දරුවා මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ මාදුලාව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුන හමාරක් (3½) වයසැති පිරිමි දරුවෙක්.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථ රියැදුරුගේ බීමත්කම සහ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රිය අනතුර සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *