‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම්

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම්


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම්

(13.04.2023 – dinamina.lk)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර : නෞකා හිමිකරුට – මෙහෙයුම්කරුට – ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට – නඩු පැවරීමට සූදානම් – සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ 26 වැනි වගන්තිය ප්‍රකාරව අපරාධ නීතිය යටතේ නෞකා හිමිකරුට හෝ මෙහෙයුම්කරුට හෝ ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ට නඩු පැවරීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දී තිබෙන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුව දැනටමත් අපරාධ නීතිය යටතේ (නඩු අංක CH/41/18/2022) අධිකරණයේ නඩු පවරා ඇත.

මෙම නෞකා අනතුර හේතුවෙන් පරිසරයට සිදු වූ හානි තක්සේරු කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා අනකුත් රාජ්‍ය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කළ අතර එලෙස පත් කරන ලද විද්වත් කමිටුව මඟින් පරිසර හානි ගණනය කර, දෙවැනි පරිසර හානි තක්සේරු වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුව වෙත 2023 ජනවාරි 13 වැනි දින භාරදීමට කටයුතු කැර ඇත. මෙම නෞකා අනතුර මගින් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම පිණිස ඔස්ට්‍රේලියානු නීති සමාගමක සහාය ලබා ගෙන ඇත. තවද නීතිපති දෙපාර්තමේන්තුව කැබිනට් මණ්ඩලය වෙත අැමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම නඩුව සිංගප්පූරුව තුළදී පැවරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මූල්‍ය සමාගමක් දැනටමත් පත් කර ඇත.

මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති නීතිඥ අසේල බී. රැකව මහතාගේ ඉල්ලීම මත අධිකරණ ඇමැතිවරයා නීතිපතිවරයා ප්‍රමුඛව සැදුම්ලත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි මඩුල්ලක්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය සහ මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්ද, නිපුණතාවය ඇති වෙනත් නීතිඥවරුන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් 2023.04.06 වැනි දින අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වන ලදී. එකි සාකච්ඡාවේදී පහත ඉදිරි ක්‍රියාමාර්ග නිතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කරන ලදී.

සිංගප්පූරු අධිකරණයේදී නඩු පැවරීම සඳහා අධිකරණ බලය ඇති බවට ඕස්ට්‍රේලියානු නීති සමාගම උපදෙස් ලබා දී ඇති බවට එම සාකච්ඡාවේදී නීතිපතිවරයා ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රශ්නගත නැවේ අයිතිකරු ඇතුළුව ප්‍රධාන පාර්ශ්වයන් සියල්ලම සිංගප්පූරුව තුළ ස්වකීය ව්‍යාපාර කටයුතු කරගෙන යන බවට නීතිපතිවරයා ප්‍රකාශ කරන ලදී. එසේම යම් දිනක ලබා ගන්නා නඩු තීන්දුවක් නැව් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටි සිංගප්පූරු රාජ්‍ය තුළ හෝ නැව් සමාගමේ රක්ෂණ සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටි එක්සත් රාජධානියේදී ක්‍රියාත්මක කිරීම පහසු බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී.

තවද ශ්‍රී ලංකාවට වඩා සිංගප්පූරු රාජ්‍ය ජාත්‍යන්තර වශයෙන් වැඩි පිළිගැනීමක් ඇති නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් පවතින බැවින් එකි රාජ්‍යයේ ඇති නව නීති ක්‍රම උපයෝගී කර ගනිමින් මෙම නඩුව සාර්ථකව මෙහෙයවීමට වැඩි අවකාශයක් ඇති බවට ඕස්ට්‍රේලියානු නිති සමාගමෙන් උපදෙස් ලැබී ඇති බවද නීතිපතිවරයා ප්‍රකාශ කරල ලදී. තවද නැව් සමාගම එක්සත් රාජධානියේ අධිකරණයකින් ලබාගෙන ඇති වන්දි සීමා කිරීමේ නඩුකරය පවුම් මිලියන දහ නවයක උපරිම වන්දියක් වශයෙන් තීරණය කරමින් නියෝගයක් ලබා ගෙන ඇති බවත් ප්‍රථමයෙන් කළ යුත්තේ එකී නඩු කටයුත්තට සහභාගි වෙමින් එකී තීන්දුව වෙනස් කැර ගැනීම සඳහා කටයුතු කිරීම බවත් නීතිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. මේ වන විට අධිකාරිය ඉදිරිපත් කර ඇති පාරිසරික හානි තක්සේරු වාර්තාව පදනම් කර ගනිමින් එකී වාර්තා දත්ත උපයෝගී කැර ගනිමින් විදේශ ආයතන වලින්ද වාර්තා ලබා ගැනීමට නිතිපති දෙපාර්තමේන්තුව දැනටමත් කටයුතු කරගෙන යන බව තව දුරටත් ප්‍රකාශ කරන ලදී. තවද මෙම නඩු කටයුත්ත ආරම්භ වීමට ප්‍රථමයෙන් මෙම පරිසර හානි සම්බන්ධයෙන් හිමිකම් පෑමක් අදාළ සමාගම වෙත යොමු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බව මෙහිදී තවදුරටත් සඳහන් කරන ලදී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉහත සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවත් එකී සිද්ධියට අදාළව සියලු තාක්ෂණික තොරතුරු හා වාර්තාවන් ලබා දෙමින් මෙම නඩු කටයුත්ත පවරා පවත්වාගෙන යෑම වෙනුවෙන් හැකි සෑම කාර්යයක්ම ඉටුකරන බවටද එකී සාකච්ඡාවේදී එකඟ වන ලදී ෴

++++++++++

X- press pearl වන්දිය ගසාකෑම ගැන තව හෙලිදරවු රැසක්…

(14.04.2023 – 00:02 +0530 – lankacnews.com)

X- press pearl නෞකා අනතුරේ වන්දිය ගසාකෑමට උවමනා නිසා තමන් අදාළ කමිටුවලට එක් කර නොගන්නා බව නීතිඥ ආචාර්ය ඩෑන් මාලිග ගුණසේකර මහතා සඳහන් කරයි.

නාවුක නීති ක්‍ෂෙත්‍රයට අදාළව ආචාර්ය උපාධියක් සහිත මෙරට සිටින එකම පුද්ගලයා තමන් බව ද ඔහු කියා සිටී.

මෙම නඩුව ලංකාවේ නැතිව සිංගප්පූරුවේ පවරන්න හදන්නේ නඩුව පරදවා ලංකාවට වන්දි නැති කිරීම සදහා බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙය පසුපස සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් එම ක්‍රියාවලිය ගිය ආකාරය මුල සිටම සැක සහිත බව ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

++++++++++

++++++++++

Xpress-Perl වන්දිය වෙනුවට ඩොලර් මිලියන 250 ක අල්ලසක් අරන්.. මුදල් බ්‍රිතාන්‍ය බැංකුවක..

(13.04.2023 – 10:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා මුහුදු සීමාව දී 2021 ජූනී මාසයේදී ගිනිගෙන මුහුදුබත් වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු වන්දිය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදී කිසියම් පාර්ශවයක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගෙන ඇති බව තමන්ට තොරතුරු දැන ගන්නට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම මුදල් බ්‍රිතාන්‍යයේ ඇති බැංකු ගිණුමකට බැර වී ඇති බවද ඇමතිවරයා සඳහන් කරන්නේ ‘දි අයිලන්ඩ්’ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම තොරතුරු සම්බන්ධයෙන් සොයා බලන ලෙස අකරණ අමාත්‍යවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

එම මුහුදු අනතුර හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සඳහා මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් සිටී ෴

++++++++++

USD 250 mn bribery allegation jolts Justice Minister

(13.04.2023 – island.lk)

++++++++++

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දුන් අල්ලස ගැන සොයන්නැයි නියෝග

(14.04.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව වන්දි අයකර ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට අදාළව, අල්ලස් ලබාදී ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලන්ඩනයේ බැංකු ගිණුමක් වෙත නෞකාවේ රක්ෂණ සමාගම විසින් බැරකර ඇති බවටයි අමාත්‍යවරයා වෙත තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව එම තොරතුරෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස තමන් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදුන් බව අධිකරණ අමාත්‍යවරයා අප කළ විමසීමකදී සඳහන් කළා.

+

මේ අතර, ත්‍රිකුණාමලය – වෙරළ කලාපයට තෙල්, තාර වැනි අපද්‍රව්‍ය කුඩා කැබලි වශයෙන් ගොඩ ගැසීම සම්බන්ධයෙන් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම වෙරළ කලාපයට පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව මෙම අපද්‍රව්‍ය කොටස් නෞකාවකින් දින කිහිපයකට පෙර ඉවත දමන ලද බවට සැක කෙරෙන බැවින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත නැංගුරම් ලා තිබූ දකුණු කොරියානු නෞකාවක් පරීක්ෂාවට ලක් කළ බවයි සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, නෞකාවකින් ඒවා බැහැර කර ඇති බවට කිසිදු තොරතුරක් නිරීක්ෂනය වී නොමැති අතර, නෞකාවේ ටැංකි තුළින් සහ එම වෙරළ කලාපයේ ගොඩ ගසා තිබූ අපද්‍රව්‍යවල නියැදි ලබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යොමු කිරීමට පියවර ගත් බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා ෴


https://www.youtube.com/watch?v=BhImBYkItZ8


ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ඇරඹෙයි

(14.04.2023 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමඟ අද (14) ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල තුළින් ශ්‍රී ලංකාවේ ණය තිරසාර භාවය කඩිනමින් ළඟාකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම රටවල් තුන (3) විසින් මේ වනවිට පැවැත්වෙන, ඒකාබද්ධ මාධ්‍ය හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වඩාත් සාර්ථකව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම ලක් රජයේ අපේක්ෂාව බවයි.

මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සඳහන් කළේ ශ්‍රී ලංකාව, ණය හිමි රටවල් සමඟ ඉතා සමීපව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

එමඟින් වඩාත් ඉක්මණින් ණය තිරසාර භාවය ළඟාකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ඇය ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණය හිමි රටවල් මෙලෙස එකම වේදිකාවකට රැගෙන ඒමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.

එමෙන්ම ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ඒකාබද්ධව අද ආරම්භ කළ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙල පොදු වේදිකාවක් බවත්, ඊට ඕනෑම ණය හිමි රටකට එක්විය හැකි බවත් ජපාන මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මෙරටට ලැබීමෙන් පසු මාර්තු 20 වැනිදා සිට මේ දක්වා භාණ්ඩාගාර බිල්පත්වලින් රුපියල් බිලියන 495 කට ආසන්න ප්‍රමාණයක් ණය වශයෙන් රජය ලබාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මෙලෙස භාණ්ඩාගාර බිල්පත් යොදා ගනිමින් ණය ලබා ගැනීම හේතුවෙන් මෙරට සමස්ත මූල්‍ය පද්ධතිය අර්බුදයකට ලක්විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

(14.04.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මන්නාරම මාර්ගයේ මන්නාරම – නාගපටුවාන් ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

එහිදී මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (13) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි මන්නාරම – මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යයි

(14.04.2023 – 12:28 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, දකුණ, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක උෂ්ණත්වය මේ දිනවල දැඩි ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
පවසනවා.

ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ දිනවල ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන්වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම කාලගුණ වෙනසට බලපා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *