අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව එක් (1) දිනයයි

අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව එක් (1) දිනයයි


අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව එක් (1) දිනයයි

(13.04.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දිනයක් (1) පමණයි.

අලුත් අවුරුදු උදාව හෙට (14) අපරභාග 02:59 ට සිදුවනවා.

එදින පූර්ව භාග 08:35 සිට අපරභාග 09:23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, ආහාර පිසීමේ නැකත උදා වන්නේ අපරභාග 03:29 ටයි.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 05:05 ට යෙදී තිබෙනවා.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වනදා ඉරිදා පූර්ව භාග 09:41 ට ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වනදා සඳුදා පූර්ව භාග 06:28 ට ද සිදුකළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ ෴

+++++++++++

ගිනිකෙළි අලෙවිය ඉහළ යයි

(13.04.2023 – 07:14 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දී ගිනිකෙලි අලෙවිය ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ නසංගමය පවසනවා.

එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිකලට නොලැබීම හේතුවෙන් නිෂ්පාදනය 20% කින් පමණ පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත්, පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි මිල ගණන් ඉතා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් සහ අලෙවිකරුවන් ප්‍රකාශ කළා.

එමෙන්ම උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව දෛනිකව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩිසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5500 ක් නිකුත් කර බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

++++++++++++

අද (13) සිට දින 03 ක් රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

(13.04.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සිට දින 03 ක් රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් (1) අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා රසකැවිලි අවශ්‍ය පරිදි රැගෙනවිත් භාරදීමට අවස්ථාව පවතිනවා.

මීට අමතරව, සියලුම බන්ධනාගාර තුළ රැඳවියන් සඳහා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++

‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය’ හෙට (14)

(13.04.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටීවී, ඔබට තිළිණ කරන ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය’ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා මේ වනවිට (13) සියලු‍ කටයුතු සූදානම්.

ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු කලාකරුවන් රැසක් පිරිවරා තුන් හෙලයේ අවුරුදු මංගල්‍යය පැවැත්වෙන්නේ, බොල්ගොඩ ‘වයිට් ලෝටස්’ පරිශ්‍රයේදීයි.

ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු කලාකරුවන් 400 කට අධික පිරිසක් මෙවර සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු මංගල්‍යයට එක් වන්නේ අවුරුදු සිරිය තව තවත් ඔප්නංවමින්.

සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු මංගල්‍යය අතරතුර බොල්ගොඩ ‘වයට් ලෝටස්’ පරිශ්‍රයේ සිට මෙවරත් අලු‍ත් අවුරුදු නැකැත් චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ඉටු කිරීමටත් සියලු‍ කටයුතු සූදානම්.

++++++++++++

රටම අලුත් අවුරුදු උදාව පිළිගැනීමට සැරසෙයි

(13.04.2023 – 19:31 +0530 – hirunews.lk/sinhala)

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට ශ්‍රී ලාංකීය ජනතාව මේ වන විට (13) දැඩි උද්‍යෝගයකින් පසුවනවා.

අලුත් අවුරුද්දේ උදාව සිදුවන්නේ හෙට (14) අපරභාග 02:59 ටයි. හෙට (14) පූර්ව භාග 08:35 සිට අපරභාග 09:23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, එම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ. ආහාර පිසීමේ නැකත උදා වන්නේ හෙට (14) අපරභාග 03:29 ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරි බතක් ද, තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියල කර ගැනීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 05:05 ට යෙදී තිබෙනවා.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර ආහාර අනුභව කරන ලෙස අවුරුදු චාරිත්‍රවල සඳහන්.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වනදා ඉරිදා පූර්ව භාග 09:41 ටද, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වනදා සඳුදා පූර්ව භාග 06:28 ට ද සිදුකළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

++++++++++++

උත්සව සමයේ වැඩියෙන් දෙන ඉන්ධන

(13.04.2023 – 21:26 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ ඉන්ධන අලෙවිය 80% කටත් වඩා ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

උත්සව සමය වෙනුවෙන් පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව දෛනිකව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 4650 ක් සහ ඩිසල් මෙට්‍රික් ටොන් 5500 බැගින් සියලු පළාත් අවරණය වන පරිදි බෙදාහරින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

+


මුද්‍රණ සේවකයින්ට මිලියන 54 ක් ගෙවා නැහැ

(13.04.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ජන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කළ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 54 ක මුදලක් මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වනවා.

එම මුද්‍රණ කටයුතුවලට සම්බන්ධ වූ රජයේ මුද්‍රණාලයේ සේවකයන් 200 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් එම දීමනා නොමැතිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශ්‍ය රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ගෙන් විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීම හේතුවෙන් ජන්ද විමසීමට අදාළ සෙසු මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කිරීමට රජයේ මුද්‍රණාලය පසුගියදා තීරණය කළ අතර, පළාත් පාලන ඡන්ද විමසීමද දෙවන වරටත් කල් දැමුණා ෴


රිළවුන් චීනයට ලබාදීම ගැන අධ්‍යයනයට විශේෂ කමිටුවක්

(13.04.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා අමාත්‍යාංශ 04 ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා.

වනජීවි, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විතයි.

මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයන් පිරිසකගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණා.

ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතු වූ අතර, පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ෴


ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක්

(13.04.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාරවිල පොලිසිය සඳහන් කළේ, හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය ඊයේ (12) රාත්‍රියේ එල්ල වී ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් හදුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴


පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පුල්මුඩේ දි අත්අඩංගුවට

(13.04.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුල්මුඩේ – කෝකිලායි කලපු වෙරළ තීරයේ සිදු කළ වැටලීමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 29 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු ලඟ තිබී ඩෙටනේටර් 14 ක්, වෝටර් ජෙල් කූරු 4 ක්, අඩි 15 දිගැති සේවා නූලක් ද පොලිස් භාරයට ගෙන තිබුණා ෴


මහබැංකුවේ මුදල් අස්ථානගත වීම ගැන අදත් ප්‍රකාශ ගනියි

(13.04.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුවේ සුරක්ෂිතාගාරයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් (13) විශේෂ ප්‍රකාශ 5 ක් සටහන් කරගෙන තිබෙනවා.

එමෙන්ම, කොටුව පොලීසිය මගින් සිදුකෙරෙන මෙම සිද්ධියේ පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහබැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගත වූවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි උසස් නිලධාරින් කිහිපදෙනෙකු පෙරේදා (11) දිනයේ කොටුව පොලීසිය පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

විමර්ශන මෙහෙයවන නිලධාරියෙකු සදහන් කළේ මෙම ලක්ෂ පනහේ (50) මුදල කිසිවෙකු විසින් සොරා ගත්තේ ද යන්න පිළිබඳව මෙන්ම ගිණුම් ගත කිරීමේ දී අඩුපාඩුවක් සිදුවූයේ ද යන්න පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.

මේ අතර, මහබැංකුව විසින් සිද්ධිය පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ඊයේ (12) දිනය වනවිට ආරම්භ කළා ෴


වැලිගම දී මිතුරන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජිවිතක්ෂයට

(13.04.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – කොලේදණ්ඩ ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් (1) තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) රාත්‍රීයේ මෙම පිරිස මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හට ගෙන තිබුණා.

එහිදී පහරදීමක් ද සිදුව ඇති අතර, පහරකෑමට ලක් වූ මෙම 25 හැවිරිදි තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර රැකියා ප්‍රවර්ධනය ගැන විශේෂ සාකච්ඡාවක්

(13.04.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර රැකියා ප්‍රවර්ධනය සඳහා විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකර තිබෙනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේ දී දෙරට අතර කෘෂිකර්ම, සංචාරක, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන මෙන්ම ධීවර ක්ෂේත්‍ර කෙරෙහි රැකියා ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *